පහ­සු­කම් නවී­නයි ආත්මය ම්ලේච්ඡයි | දිනමිණ

පහ­සු­කම් නවී­නයි ආත්මය ම්ලේච්ඡයි

“විශ්වවිද්‍යාල අර්බුද නම් කවදාවත් ඉවර වෙන්නේ නෑ නේද ටොම්සන් මහත්තයා..?” කියා ඇම්බන් මහත්තයා ඇසුවේ උදේ රූපවාහිනියෙන් කියවන පුවත්පත් විස්තර අහන ගමන්ය.

“ඔව්... ඉතින් ඒවා එක අතකට දේශපාලන ආහාර නේ... අනික් අතින් හැම අවුරුද්දකම අලුතින් ළමයි කණ්ඩායමක් එනවානේ... එතකොට ඒ ගොල්ලෝ හිතන්නේ අපි තමයි අර්බුදවල බැටන් එක ඉස්සරහට අරන් යන්නේ... අපි තමයි වීරයෝ කියලා... ඉතින් කොහොමද අර්බුද ඉවර වෙන්නේ...” කියා ටොම්සන් මහත්තයා කීවේය.

“ඒකත් එහෙම තමයි.. මං දැක්කා ඔය විශ්වවිද්‍යාල ඉස්සරහ ලොකු පෝස්ටර් ගහලා තියෙනවා... සයිටම් ඉවරයි... නිදහස් අධ්‍යාපන රැක ගන්න ඉදිරියට යමු... කියලා... ඇත්තට ටොම්සන් මහත්තයා සයිටම් ඉවරද?” කියා ඇසුවේ පැත්තකින් සිටි ඇම්බන් මහත්තයාය.

“මොන පිස්සුද ඇම්බන් මහත්තයා... සයිටම් කියන්නේ ආයතනයක් නේ... ඒකේ තව උපාධි පාඨමාලා කීයක් තියෙනවද? ඒවා ඔක්කොම තාමත් තියෙනවා... ඒ විතරක් නෙවෙයි. ඒවාට විරුද්ධව හ්ම් කියලා සද්දයක් නෑ... විරෝධය තිබුණේ ඔය දොස්තර උපාධියට නේ...ඒකත් මේ දොස්තර මහත්තුරුන්ගේ වරප්‍රසාද රැක ගන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ උසි ගන්නලා කරපු අරගලයක් මිසක් ඇත්තටම නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කරපු අරගලයක් නෙවෙයි නේ... අඩුම ගණනේ අපි හිතමු ඔය දොස්තරලාගේ දරුවෝ යන්නේ මොන ඉස්කෝලවලටද කියලා... ඉන්ටර්නැෂනල්... ඉතින් නිදහස් අධ්‍යාපනය ගැන කුමන කතාද?”

“අනික මේ දවස්වල ඔය ටවුන් හෝල් එක පැත්තේ විශ්වවිද්‍යාල අරගල කීපයක්ම තිබුණා නේද? ඔය නවකවදය දීපු ශිෂ්‍යයන්ගේ ශිෂ්‍යභාවය ඉල්ලලා කරන අරගලත් මේකට ඇතුළත් නේ... එතකොට ඇත්තටම ශිෂ්‍යයන්ගේ අයිතිවාසිකම්ද මේ ඉල්ලන්නේ ටොම්සන් මහත්තයා... හරි නම් මේ තරම් කියද්දිත් අහිංසක දරුවන්ට නවකවදය දෙන උන් ගෙදරම අරින එක තමයි හරි... එහෙම නැතිනම් අඩු ගණනේ අවුරුද්දක්වත් පුනරුත්ථාපන කඳවුරකට දාලා හදලා ගන්න ඕනෑ... මේක හරි සාහසික වැඩක් නේ...” කියා උන්නැහේ කීවේය.

“සාහසික කියන්නේ උන්නැහේ... දැන් අර ඊයේ පෙරේදා පත්තරේ තිබුණේ ජ්‍යෙෂ්ඨ උත්තම හාමුදුරුවරු කීපනමක් නවක භික්ෂුවකගේ සිවුරු ගලවලා වද දීලා... උන්නාන්සේ යන්න ගිහිල්ලා ආයේ විශ්වවිද්‍යාලේ එන්නේ නෑ කියලා... මේක ඇත්තටම බලාපුවාම නවීන පහසුකම් විඳින ම්ලේච්ඡයන්ගේ රටක් බවට පත් වෙලා මට හිතෙන හැටියට... කොච්චර නවීන පහසුකම් භුක්ති වින්දත් ඇතුළේ ඉන්න ම්ලේච්ඡයා නැති වෙලා නෑ... මොකක්ද ලැබෙන වින්දනේ මේ අලුතින් එන දරුවෙකුට හරි භික්ෂුන් වහන්සේ නමකට හරි මේ විදිහට වද හිංසා කරලා... නන්නාඳුනන කෙනෙක් අඳුනා ගන්න මේ නවීන ලෝකේ නැද්ද මීට වඩා මානව හිතවාදී ක්‍රම.... ” කියා ටොම්සන් මහත්තයා පිළිතුරු දුන්නේය.

“මට නම් මතක් වෙන්නේ ඒක නෙවෙයි ටොම්සන් මහත්තයා... අර නායක හාමුදුරු නමක් ආදර කතාවක් රූපවාහිනියෙන් බලන ගමන් නින්ද ගිහිල්ලා.... ඒ අස්සේ හොරු පැනලා... සල්ලිත් අරන්,... චූඩා මාණික්‍යයත් කඩා දාලා ගිහින්... අර නච්ච ගීත වාදිත විසූක දස්සන කියන ඒවා අද මේ පන්සල් ඇතුළෙම නේ... අඩු ගණනේ මහ නායක උන්නාන්සේලාවත් මේවා ගැන කතාවක් නෑ... ” කියා උන්නැහේ කීවේය.

“ ඔන්නම් අපි ඔය නායක හාමුදුරුවරුන්ගෙන් අහලා බලමු... හැබැයි එක්කෝ උන්නාන්සේලාත් දේශපාලන කතාබහක... එහෙම නැතිනම් ඔය රූපවාහිනී නාට්‍යයක් බලනවා වෙන්නත් පුළුවන්... නාට්‍ය නෙවෙයි අන්තර්ජාලයෙන් චිත්‍රපටිත් බලන්න පුළුවන් නේ... ” කියා ටොම්සන් මහත්තයා සිනහසුණේය.

“ මට නම් හිතෙන්නේ මේක මහ අබුද්දස්ස කාලයක්... සංගායනාවක් තියන්න කාලය ඇවිත් වාගේ මට නම් හිතෙන්නේ... දැන් අපි හිතමු අර හාමුදුරුවන්ට නවකවද දීපු ජ්‍යෙෂ්ඨ උත්තම හාමුදුරුවරු තුන් දෙනාට කරන්න ඕනෑ මොකක්ද කියලා... හරි නම් ඔය මහ නායකවරු කරන්න ඕනෑ... උන්නාන්සේලාගේ විනය ගැන පරීක්ෂණයක් කරලා මොකක් හරි බරපතළ තීරණයක් ගන්න එක. ඒවාට කිසිම සද්දයක් නෑ නේ.... ” ඇම්බන් මහත්තයා කීවේය.

“ එහෙම තමයි... ආගම ධර්මය විතරක් නෙවෙයි... හැම පැත්තකින්ම සාරධර්ම පිිරිහිලා... හැමෝම ඉබාගාතේ යන ගානයි.... දැන් බලන්න පත්තරවල ගුවන් විදුලියේ රූපවාහිනියේ රස කර කර විකුණන්නේ මොනවාද කියලා... අපරාධ, අපචාර, දූෂණ. මේවානේ... ඒ අස්සේ මාධ්‍ය කලාව බාප්පලාට ගිහිල්ලා... මේවා ඔක්කොම බිස්නස්... සාමාන්‍ය ජනයා මනස අන්ධ මන්ද කරලා... සාක්කුව සූරා ගන්න වැඩ.... ” උන්නැහේ කීවේ මහත් සන්තාපයෙනි.

“ ඒ වුණාට උන්නැහේ දන්නවාද? ඔය මාධ්‍ය ආයතනවලත් බොහොමයක් ඉහළ තනතුරුවල උපාධිධාරීන් ඉන්නවානේ... ඒ ගොල්ලෝ ඔය විශ්වවිද්‍යාලවලින්ම එළියට ආපු අය තමයි... එහෙම ඇවිල්ලා අද තමන්ට ලැබෙන සල්ලි වෙනුවෙන් ආත්මයම පාවා දෙනවා... ඉතින් කොහොමද උන්නැහේ රටක් හැදෙන්නේ... තමන්ට අභිමානයක් නැති ජාතියක් බිහි වෙච්චි කොට...” කියා ටොම්සන් මහත්තයා එතැනින් නැඟිට එළියට ගියේය.

බන්දුල පී දයා­රත්න


නව අදහස දක්වන්න

Or log in with...