ආර්ථික දියුණුව සංවර්ධනය නොවේ | දිනමිණ

ආර්ථික දියුණුව සංවර්ධනය නොවේ

රටකට අත්‍යවශ්‍ය වන්නේ හුදු ආර්ථික සංවර්ධනයක් නොව තිරසාර ආර්ථික සංවර්ධනයක් බව ලෝකයේ බෝහෝ ආර්ථික සංවිධාන තම අධ්‍යනයන් තුළින් පෙන්වා දී තිබේ. විවිධ දෘෂ්ටිකෝණයන්ගෙන් බැලිය හැකි, පුළුල් විෂය පරාසයක් පවතින ආර්ථික සංවර්ධන සංකල්පය පිළිබඳව කොළඔ විශ්ව විද්‍යාලයේ , මූල්‍ය හා කළමණාකරණ පීඨයේ මහාචාර්ය , එච්. ඩී කරුණාරත්න මහතා සමඟ සිදු කළ  සාකච්ජාවක් මෙසේ ය.

 

රටක ආර්ථික සංවර්ධනය යනුවෙන් හදුන්වන්නේ කුමක් ද?

ආර්ථික සංවර්ධනය යනු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ ක්‍රියාවලියයි. ඕනෑම සමාජයක අද පවතින තත්ත්වයට වඩා උසස් සමාජ ආර්ථික මට්ටමකට ළඟා වීමට, අපේක්ෂා පවතියි. මිනිසුන්ගේ ජීවන තත්ත්වය, විවිධ දෘෂ්ටිකෝණයන්ගෙන් බැලිය හැකි පුළුල් සංකල්පයක් වන අතර ආරම්භයේ දී සංවර්ධනය , යන්නට ආර්ථික සංවර්ධනය ලෙස වටහා ගැනෙනි. ඒ අනුව මිනිසාගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා සම්පත් නිෂ්පාදනය වැඩි වේගයකින් වර්ධනය කළ යුතු බවත් , එය ඒක පුද්ගල මූර්ත ආදායමේ වැඩි වීමකින් මැනිය හැකි බව විශ්වාස කරන ලදී.

යහපත් ආර්ථික වර්ධන වේගයක ලක්ෂණ මොනවා ද?

පසු කාලයේ දී හොඳ ආර්ථික වර්ධන ‍වේගයක ලක්ෂණ වශයෙන් , කරුණු 03 ක් හඳුනා ගන්නා ලදී.

1- ඉහළ ( 50% ) වැඩි ඒක පුද්ගල මූර්ත ආදායමේ වර්ධනයක් පැවතීම.

2- දීර්ඝ කාලයක් ( වසර 10 කට වඩා ) එම වර්ධනය පවත්වා ගෙන යාම.

3- රට තුළින් ලබා ගන්නා සම්පත් , නිෂ්පාදන ක්‍රියාවලියට වැඩි වශයෙන් භාවිතා කිරීමෙන් මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් වන බවට තර්ක ගොඩනැගී ඇත.

මීට අමතරව ආර්ථික දෘෂ්ටිකෝණයෙන් බලන විට සමාජයක යටිතල පහසුකම් දියුණු වීම, ආදායම් විෂමතා අවම වීම, සේවා වියුක්ති අනුපාතය පහළ මට්ටමක පැවතීම,වැනි දර්ශකවලින් මිනිසුන්ගේ ජීවන තත්ත්වයේ ප්‍රගමනය බැලිය යුතු බවට තර්ක ඉදිරිපත් විය.

පසු කාලයේ දී මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා ඉහත දැක්වූ ආර්ථික මිනුම් වලට අමතරව, සමාජීය, දේශපාලන, සංස්කෘතික, පෞරුෂ වැනි කරුණු ද සංවර්ධනය මැනීම සඳහා ඇතුළත් විය යුතු බවට විවිධ පැහැදිලි කර දෙන ලදී.

සමාජීය වශයෙන් සළකන කළ , උපත් අනුපාතය අඩු වීම, මරණ අනුපාතය අඩු වීම, ළදරු අනුපාතය අඩු වීම, ‍රෝගීන් ප්‍රමාණයට සිටින වෛද්‍යවරු සංඛ්‍යාව , ගුරු සිසු අනුපාතය, පාසැල්වලට ප්‍රාථමික, ද්වීතියික, හා තෘතීයික මට්ටම් සඳහා ඇතුළත් වන අයගේ ප්‍රතිශතය ඉහළ යාම, සාක්ෂරතා අනුපාතය ඉහළ යාම, වැනි කරුණු තුළින් මිනිසාගේ ජීවන තත්ත්වයේ ඉහළ යාමත් මැනිය හැකි බව පෙන්වා දෙන ලදී.

මෙම අංශයෙන් ලබන කළ ශ්‍රී ලංකා‍ව පිළිබඳව , ලෝකයේ වැඩි අවධාණය යොමු වන අතර, 1960- 1970 දශකවලදී ශ්‍රී ලංකාව, හොඳ සමාජ සංවර්ධන මට්ටමක් පවතින රටක් ලෙස බොහෝ ජාත්‍යන්තර සංවිධාන පවා සළකන ලදී.

දේශපාලන වශයෙන් සළකන විට , ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීම, නියමිත කාලවලදී මැතිවරණ පැවැත්වීම, දේශපාලන ඝාතන සංඛ්‍යාව අඩු වීම, දේශපාලන සිරකරුවන් සංඛ්‍යාව අඩු වීම, මානව හිමිකම් සංඛ්‍යාව සුරැකීම, යහපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම , වැනි කරුණු සමාජයක ජිවන් වන මිනිසුන්ගේ ජීවන තත්ත්වයේ ප්‍රගමනයට හේතු වන බැවින් සංවර්ධන, මැනීම සඳහා ඒවා අත්‍යවශ්‍ය බවට , තර්ක ඉදිරිපත් වී ඇත.

සමාජයක මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා කළ යුතු වෙනස්කම් මොනවා ද?

සමාජයක මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා කළ යුතු වෙනස්කම් ඇති කළ යුතු වේ. නොඑසේ නම් ස්වභාවික වෙනස්කම් සිදු වේ. එහිදී මිනිසුන්ගේ සිතුම් පැතුම්, සිරිත් විරිත්, ආහාර , ඇඳුම් පැළදුම්, භාෂාවන්, ජාලගත වීම් වැනි දෑ සැළකිල්ලට ගෙන සංස්කෘතිකමය පරිණාමනයන් සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය බවට තර්ක ඉදිරිපත් වී ඇත.

ඇමරිකාව ඇතුළු බටහිර ලෝකය , ආර්ථිකමය, වශයෙන් ශක්තිමත් බැවින් ඔවුන්ගේ සංස්කෘතිකමය කරුණු සීග්‍රයෙන් සංවර්ධනය වෙමින් නැගී එන ආසියානු, අප්‍රිකානු හා ලතින් ඇමරිකානු රටවල් කෙරෙහි දැඩි බලපෑමක් කරන බව විශ්වාස කරයි. සංස්කෘතික අපගමනයන් සෑම විටම මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම කෙරෙහි බල නොපාන බැවින් , නැගී එන රටවල දේශීය සංස්කෘතීන්ගේ හොඳ ලක්ෂණ රැක ගනිමින් , බටහිර රටවල හොඳ ලක්ෂණ යොදා ගැනීම , සංවර්ධනය කෙරෙහි සිදු විය යුතු බවට තර්ක කරයි.

රටක මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් වන විට ඔවුන් තුළ පවතින අභිප්‍රේරණය සහ පෞරුෂත්වය ඉහළ යා යුතු බවට තර්ක කෙරෙයි. මේ අනුව සංවර්ධනය යන්නට මිනිසාගේ ජීවන තත්ත්වය උසස් කිරීම කෙරෙහි බලපාන විවිධ පැතිකඩයන් , අන්තර්ගත වන බව විශ්වාස කරයි.

සංවර්ධනය හා තිරසාර සංවර්ධනය අතර වෙනස කුමක් ද?

සංවර්ධනය සහ තිරසාර සංවර්ධනය අතර, වෙනස්කමක් පවතී. තිරසාර සංවර්ධනයේ දී ලෝකයේ පවතින සම්පත් , අනාගතයේ දී ජීවත්වන මිනිසුන්ට ඉතිරි කරමින් , රටක දැනට වෙසෙන මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම පිළිබඳව සොයා බැලේ. වර්තමාන පරම්පරාව ආර්ථිකයක පවතින , බොහෝ සම්පත් අධිවේගයකින් පරි‍බෝජනය කිරීම නිසා පරිසරයට විශාල වශයෙන් හානි වී , දැනට පවතින සම්පත් අනාගත පරමිපරාවට ඉතිරි නොවී යා හැකි ය. එසේ ම මිනිසාගේ සීග්‍රඝාමී බලපෑම හේතුවෙන් , පරිසරය දක්වන ප්‍රතිචාර ලෙස, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, වැසි, කාලයට නොලැබීම, දීර්ඝ කාලීන නියඟයන් ඇති වීම , ගංවතුර ඇති වීම, ලැව් ගිනි ඇති වීම, වැනි ස්වභාවික විපත් ඉහළ යා හැකි ය. එසේ ම වැඩි වන ජනගහනයට සහ ඔවුන්ගේ වැඩි වන ආදායමට , අවශ්‍ය වන භාණ්ඩ හා සේවා තොගය, සීග්‍රයෙන් වැඩි කිරීමට යාමේ දී , ජලය, ගොඩබිම මෙන් ම වායුගෝලය ද , අපවිත්‍ර වේ. ඒවායේ ලක්ෂණ ඉතා කෙටි කාලයකින් වෙනස් වේ. එම නිසා මිනිසාගේ පැවැත්මට විශාල තර්ජනයක් ඇති විය හැකියි. තිරසාර සංවර්ධනයක් උදෙසා මිනිසා විසින් ඔහුගේ ආර්ථිකමය අභිමථතාර්තයන් අත්කර ගැනීමට , ලෝකයේ පවතින සම්පත් අධිවේගයෙන් උපයෝගී කර ගැනීම නිසා පරිසරයට හානි ඇති වේ. ඒවායේ වටිනාකම, පරිසර ආර්ථික විද්‍යාවේ , තාක්ෂණික විචල්‍යන් භාවිතා කරමින් මැනිය හැකි වේ. එම නිසා ආර්ථික වර්ධනයේ මිනිසා එය ලබා ගැනීම සඳහා පරිසරයට කරනු ලබන හානිය ( ගණනය කොට ) ඉවත් කළ යුතු වේ. ඒ මඟින් වර්තමානයේ පවතින සම්පත් අනාගතයට රැස් කර තබමින් , වර්තමානයේ දියුණු වීමක් සිදු වීම තිරසාර සංවර්ධනය ලෙස හදුන්වනු ලැබේ. එය මැනීම සඳහා හරිත ජාතික නිෂ්පාදිතය ( ජාතික නිෂ්පාදිතය + / - , එය ලබා ගැනීමේ දී පරිසරයට සිදු වන හානිය ගණන් බැලීම ) අදාළ කර ගත හැකි ය.

මදාරා මුදලිගේ 


නව අදහස දක්වන්න

Or log in with...