වාහන ආන­ය­න­ක­රු­වන්ගේ සංග­ම­යෙන් බල­ධා­රීන්ගේ කඩි­නම් අව­ධා­න­යට | දිනමිණ

වාහන ආන­ය­න­ක­රු­වන්ගේ සංග­ම­යෙන් බල­ධා­රීන්ගේ කඩි­නම් අව­ධා­න­යට

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය (VIASL) වාහන ආනයනය සම්බන්ධව පවතින ගැටලු රැසක් වෙත බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමුවිය යුතු බව පසුගිය දා අවධාරණය කළේය.

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සහ විධායක කමිටු සාමාජිකයන් පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී සිය කර්මාන්තයට අනර්ථදායක කරුණු රැසක් පිළිබඳ මෙලෙස දැනුවත් කළේය.

බදු අඩු කිරීම සඳහා අලුත්ම වාහන මිලදී ගනිමින් ඒවා ලියාපදිංචි කිරීමට වාහන ආනයනකරුවන් කටයුතු කරන බවට නැඟෙන චෝදනාවලට ද ඔවුහු මෙහිදී පිළිතුරු ලබා දුන්හ.

මේ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරමින් වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දුන්නේ 2017 නොවැම්බර් 09 දිනැති අංක 2044/32 දරන අති විශේෂ ගැසට් නිවේදනයට අනුව වාහනයක බදු පදනම් වන්නේ එහි එන්ජින් ධාරිතාව මත බවය. අලුත්ම වාහන ලියාපදිංචිය සහ ලියාපදිංචිය ඉවත් කිරීම සිදු වන්නේ අදාළ රටේ අපනයන නියාමනයන්ට අනුකූලව බව ද මේ කරුණ වැඩිදුරටත් පැහැදිලි කරමින් ඔවුහු පෙන්වා දුන්හ.

වාහනයේ තක්සේරුව මත ආනයන බදු ගණනය කිරීමේදී සිදුවන වැරදි වළක්වා ගැනීමේ සහ ඕනෑම ආදායම් කාන්දුවක් නතර කිරීමේ අරමුණින් යුතුව මුදල් අමාත්‍යංශය විසින් එන්ජින් ධාරිතාව මත බදු පැනවීමට තීරණය කළ බව ද ඔවුහු පෙන්වා දුන්හ.

ක්ෂය චක්‍රය අහෝසි කිරීමත් සමඟ වසර තුනක් දක්වා වාහන ආනයනයේ නිරත ආනයනකරුවන්ට ද අලුත්ම වාහනවලට අදාළ බදු ගෙවීමට සිදුවීම සමාන්තර ආනයනකරුවන් මුහුණදෙන බලපතළ ගැටලුවක් බවත් ඒ පිළිබඳ බලධාරීන් කඩිනමින් සිය ප්‍රමුඛතාව ලබාදෙමින් පියවර ගත යුතු බව ද ඔවුහු පවසති.

සමාන්තර ආනයනකරුවන් දේශීය මොඩල ආනයනයකරන බැවින් එලෙස ආනයනය කෙරෙන වාහනවල ප්‍රමිතිය ඉතා ඉහළය. ඔවුන් සතුව විවිධ අමතර විකල්ප රැසක් ද පවතින අතර එම වාහන විමෝචන ප්‍රමිතීන් මෙන්ම ආරක්‍ෂිත ප්‍රමිතීන්වලින් ද පොහොසත්ය. සියලුම නිෂ්පාදකයන් ඔවුන්ගේ දේශීය පාරිභෝගිකයන් සඳහා උසස්ම ප්‍රමිතියෙන් යුතු මොඩල ඉදිරිපත් කරන බැවින් නියෝජිතයකුගෙන් මිලදී ගැනීමේදී මෙන් නොව සමාන්තර ආනයනකරුවකුගෙන් මිලදී ගැනීමේදී ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් හට වඩාත් වැඩි අගයක් හිමිවේ.

වාහන ආනයන කර්මාන්තයේ ප්‍රධානතම සාධකය වන සමාන්තර ආනයනකරුවන්ට සහයෝගය ලබාදීම සඳහා ඵලදායී ක්‍රියාමාර්ග අනුගමනය කිරීමේ අවශ්‍යතාව මතුවී ඇත. නිරන්තරයෙන් සිදුවන බදු ප්‍රතිපත්ති වෙනස්වීම් හේතුවෙන් පාරිභෝගික අපහසුතා සහ ප්‍රමාදයන් නිසා සමාන්තර ආනයනකරුවන් හට ඉතා අභියෝගාත්මක පරිසරයක සිය ව්‍යාපාර කටයුතු සිදුකර ගැනීමට සිදුවී ඇත. ව්‍යාපාරික ක්‍රියාවලිය තුළ සිදුවන මේ අවහිරතාවලින් අත්මිදීම සඳහා මේ ආනයනකරුවන්ට සහයෝගය ලබාදීම සමස්ත කර්මාන්තයේම උන්නතියට බෙහෙවින් වැදගත් වේ.


නව අදහස දක්වන්න

Or log in with...