වර්ජනය! | දිනමිණ

වර්ජනය!

අපේ වෛද්‍යවරුන්ගේ අගය හා වටිනාකම පිළිබඳ කියන්නට වචන නැති තරම්ය. ශ්‍රී ලංකාව දියුණු රටවල් සමඟ වෛද්‍ය වෘත්තිය සමඟ සසඳා බැලුවහොත් අපට ඇත්තේ වෛද්‍ය හිඟයකි. සාමාන්‍ය තත්ත්වයට අනුව ගතහොත් පුද්ගලයන් එක්දහස් අටසිය ගණනකට එක වෛද්‍යවරයකු සිටින බව වාර්තා වී ඇත. එය කිසිසේත්ම හොඳ තත්ත්වයක් නොවේ. පවතින ක්‍රමයට අනුව ශ්‍රී ලංකාවේ පෞද්ගලික වෛද්‍ය පීඨ නැත. තිබූ එකම පෞද්ගලික වෛද්‍ය පීඨය වන මාලඹේ වෛද්‍ය පීඨයෙන් උපාධි ලැබ වෛද්‍ය සේවයට එක්වූ තැනැත්තකු ගැන අප දන්නේ නැත. පෞද්ගලික වෛද්‍ය පීඨ රටට අවශ්‍ය වෙතත් එය පවත්වාගෙන යෑමට වෛද්‍යවරුන්ම ඉඩ දෙන්නේ නැත.

තත්ත්වය මෙසේ තිබියදී අද සිට වෛද්‍ය වැඩ වර්ජනයක් පැවැත්වීමට නියමිත ය. එය විශේෂ හේතු මත නවතී ද නැතහොත් ඉදිරියට පත්වාගෙන යන්නේ ද යන්න ගැන කිසිදු සහතිකයක් අපට දිය නොහැකි ය. වෛද්‍ය වැඩ වර්ජනය දොස්තරලාගේ වර්ජනයක් ලෙස සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත වී තිබේ. මෙය අතිශය සංවේදී අවස්ථාවෙකි.

කුමන ක්ෂේත්‍රයක පුද්ගලයන් හෝ වෘත්තිකයන් හෝ වර්ජනය කළ ද එහි ප්‍රතිවිපාක එකවර දැනෙන්නේ නැත. එහෙත් දොස්තරලා වැඩ වර්ජනය කළහොත් එය ඉතා සංවේදී ලෙස ඒ මොහොතේම ජනතාවට දැනෙන්නට පටන් ගනී.

වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමය මෙවර වැඩ වර්ජනය සංවිධාන කර ඇත්තේ හුදු වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් නොවේ. ඔව්හු රටේ ප්‍රධාන ආර්ථික ගැටලු කිහිපයක් අරබයා රජයට සිය වි‍රෝධතාව දැක්වීම සඳහා මේ වර්ජනය භාවිත කරන්නේ යැයි කීම ඉතා නිවැරැදිය. එහි එක් ප්‍රධාන සාධකයක් බවට පත්වී ඇත්තේ සිංගප්පූරු - ශ්‍රී ලංකා ආර්ථික ගිවිසුම යැයි කියන්නට පුළුවන. මේ ගිවිසුම මඟින් විදේශීය වෛද්‍යවරුන් ශ්‍රී ලංකාවේ තරගකාරී සේවයට යොදාගත හැකි බවට තර්කයක් ද ඉදිරිපත් වී ඇත. ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කරන අතර වෛද්‍යවරු ඊට එරෙහිව පාරට බැසීමට සූදානම් වී සිටිති.

වෛද්‍යවරුන් දන්නා ආර්ථිකයක් නැති බව ඇතමකුගේ අදහස ය. එය සියයට - සියයක් පිළිගත හැකි මතයක් නොවේ. වෛද්‍යවරුන් යනු බුද්ධිමතුන් යන්න පිළිගත් සාධකයකි. එසේ නම්; වෛද්‍ය සංගමය රටේ ආර්ථිකය, දේශපාලනය, ලෝක ආර්ථිකයේ හැසිරීම ආදිය ගැන මීට වඩා පුළුල් ලෙස සිය නිරීක්ෂණ යොමුකළ යුතු යැයි අපට සිතේ. සිංගප්පූරුව සමඟ ආර්ථික ගිවිසුම් ඇතිකරගෙන ඇත්තේ ශ්‍රී ලංකාව පමණක් නොවේ. අපගේ නිරීක්ෂණවලට අනුව සිංගප්පූරුව සමඟ රටවල් තිස් ගණනක් ආර්ථික ගිවිසුම් අස්සන් කර තිබේ. ඒ කිසිදු ගිවිසුමක් අ‍හෝසි වී නැත. සිංගප්පූරුව යනු ආර්ථික වශයෙන් දියුණු රාජ්‍යයෙකි. ඔවුන්ගේ ලෝක ආර්ථික සම්බන්ධතා ඉතා පුළුල් ය.

අපේ රට ආර්ථික වශයෙන් වේගවත් ගමනකට තල්ලු කිරීමට නම්; පසුබිම් සාධක ගණනාවක් සම්පූර්ණ කර ගත යුතු ය. එක; අපේ ආර්ථිකය ලෝකයට විවෘත කළ යුතු ය. දෙක; ලෝකයේ දියුණු රටවල් සමඟ ආර්ථික ගිවිසුම්වලට යා යුතු ය. තුන; අපේ අපනයන කර්මාන්ත දියුණු කළ යුතුය. හතර; රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විවෘත හා නිදහස් අදහසක් ජනතාවට තිබිය යුතු ය. මේ එකක්වත් දැනට සම්පූර්ණ වී නැති බව පෙනෙයි. සිංගප්පූරු ශ්‍රී ලංකා ආර්ථික ගිවිසුමට විරෝධයක් පැන නැඟී ඇත්තේ ද ඒ හේතුව නිසා යැයි කියන්නට පුළුවන. ආර්ථික විශේෂඥයන්ගේ මතයට අනුව ඉහත ගිවිසුම සැබෑ ලෙසින් ම රටට හිතකර ය. අනෙක් අතින් ලාභදායක ය. එබඳු ගිවිසුමක් අහෝසි කිරීම සඳහා උද්ඝෝෂණය කරන්නේ නම්; එය යුක්තිසහගත කාරණයක් සේ සැලැකිය නො හැකි ය.

වෛද්‍ය වැඩ වර්ජනයක් යනු රට කැලඹීමට පත්වන ප්‍රධාන අවස්ථාවක් ලෙස සැලැකිය හැකි ය. ශ්‍රී ලංකාව යනු නිදහස් සෞඛ්‍ය සේවාවක් පවතින රටකි. ඕනෑම දරුණු රෝගයකට පමණක් නොව; හදිසි අවස්ථාවකදී නොමිලේ ප්‍රතිකාර ලබාදීම සඳහා රජය ඉදිරිපත් වී සිටී. හෘද රෝගයේ සිට සාමාන්‍ය හදිසි අනතුරක් දක්වා තත්ත්වය පාලනය කිරීමටත් රෝගීනට අවශ්‍ය ප්‍රතිකාර උපරිම ලෙස ලබාදීමටත් රජය බැඳී සිටී. එම ප්‍රතිපත්තිය අදටත් විනාශ වී නැත. ඇතැම් සංවිධාන විවිධ මඩ ප්‍රචාර ගෙන ගියද වන්නි හත්පත්තුවේ පිරිස් මේ ගැන දක්වන ප්‍රතිචාරය ඉතා වැදගත් යැයි කිව හැකිය.

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති වැරැදි යැයි අප හඬ නඟන්නේ නැත. ඔවුනට සටන් කිරීමේ අයිතියක් ඇත. එය කිසිවකුටත් වෙනස් කළ නො හැකිය. ඒ අනුව වෛද්‍යවරුන් තමන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටුකළ යුතු ය. අවශේෂ කරුණු සම්බන්ධ තීරණය රජයට ගත හැකි ය.

වෛද්‍යවරුන් බුද්ධිමතුන් ලෙස සලකන බැවින් ඔවුන් රටේ ජනතාවගේ තත්ත්වය, ජනතාව මුහුණ දී සිටින ගැටලු ආදිය ගැන ද කල්පනා කරන්නේ නම් වැදගත් ය. මේ වැඩ වර්ජනය පසුපස එබඳු යුක්තිසහගත විමර්ශනයක් ඇති බව පෙනෙන්නට නැත. රටේ දේශපාලන ආරවුල් ගණනාවක් ඇති බව පෙනී යයි. මේ ආරවුල් තවදුරටත් පුළුල් කරන අන්දමට වෛද්‍යවරුන් හැසිරෙන්නේ නම්; එය අනුමත කළ නොහැකි කාරණයෙකි. අතීතයේ බටහිර වෛද්‍යවරුන් අපේ ගම්වල සිටියේ නැත. එදා සිටියේ ගමේ වෙද මහතා ය. ගමේ වෙද මහතා හැඳින්වූයේ දෙවියා ලෙස ය. ඒ දෙවියාගේ නාමය අද දොස්තරලා වෙනුවට භාවිත කළ හැකි ද?

 

නව අදහස දක්වන්න