අපරාධ රැල්ලේ ඇත්ත නැත්ත | දිනමිණ

අපරාධ රැල්ලේ ඇත්ත නැත්ත

අපරාධ රැල්ලක් ගැන කරන අනතුරු ඇඟවීම සාවාද්‍ය -ව්‍යාජ පුවත් මත පදනම් වූ සැලසුම් සහගත ක්‍රියාවක් බව සමාජ විද්‍යාඥයන් අවධාරණය කරනවා. ඔවුන් පොලිස් නිල සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් පෙන්වා දෙන්නේ ඇතැම් මාධ්‍ය සහ දේශපාලනඥයන් තහවුරු කිරීමට තැත් කරන ආකාරයේ අපරාධ රැල්ලක් පසුගිය තෙවසර තුළ සිදු නොවූ බවයි

‘නිවැරැදි තොරතුරු නොලබන ජාතියක් ඉක්මනින් හෝ පමාවී හෝ කාගේ හෝ වහලුන් බවට පත් වනු ඇතැයි’ ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා. මේ ප්‍රකාශය මගින් අවධාරණය වෙන්නේ ඕනෑම රටක ප්‍රජාතන්ත්‍රවාදයේ ජීවගුණය රැක ගැනීමට නම් එහි ජනතාව රට තුළ සිදුවන දේ ගැන සත්‍ය තොරතුරු දැන ගෙන සිටිය යුතු බවයි. එවැනි සත්‍ය තොරතුරු නොලබන සමාජයක් වේගයෙන් තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහිමිකර ගනිමින් අධිකාරී පාලනයක් වෙත ගමන් කරන බවයි දේශපාලන ඉතිහාසය තුළ තහවුරු වූ අදහස වන්නේ. මේ කියමන සනාථ වන ආකාරයේ සිදුවීම් පෙළක් මේ වන විට අඛණ්ඩව අපේ රට තුළත් සිදු වෙමින් තිබෙනවා. අවස්ථාවාදී හා අන්තවාදී දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ඉතාමත් සංවිධානාත්මකව ව්‍යාජ තොරතුරු සමාජගත කිරීම මේ වන විට රට තුළ දැකිය හැකි පැහැදැලි ප්‍රවණතාවක් බවට පත්ව තිබෙනවා. යළි බලය අල්ලා ගැනීමට කැසකවන දේශපාලන කල්ලි සහ ඔවුන් මත යැපෙන මාධ්‍ය කල්ලි විසින් දියත්කර ඇති මේ අදිසි මෙහෙයුම ගැන වඩාත් වැඩි අවධානයක් යොමු කිරීමට බල කරන තත්ත්වයක් මේ වන විට උදාවී තිබෙනවා. වත්මන් රජයට සහ රජයට සම්බන්ධ පාර්ශ්වයන් ඉලක්ක කර අඛණ්ඩව මුදා හරින මේ ව්‍යාජ පුවත්වලට පිළිතුරු සැපයීම සඳහා රජයට දැඩි වෙහෙසක් දැරීමට සිදුව තිබෙනවා. එහෙත් ව්‍යාජ පුවත් සඳහා ලැබෙන ප්‍රමුඛතාව හෝ අවධානය මේ ව්‍යාජ පුවත් නිවැරැදි කිරීම් සඳහා නොලැබෙන තත්ත්වයක් තුළ රජයේ ප්‍රයත්නය අඩාල වෙලා තිබෙනවා. මෙය රජයේ පැවැත්මට සේම සමස්ත සමාජයේ පැවැත්මට ද දැඩි අනතුරක් ඇති කරන්නක් බවට පත්ව තිබෙනවා. රට බෙදීම, රණවිරු දඩයම, විදුලි පුටුව, පොදු දේපොළ විකිණීම වැනි දීර්ඝ කාලයක් අඛණ්ඩව නඩත්තු කළ ව්‍යාජ පුවත් රැල්ලට පසුගිය කාලයේ දී ‘අපරාධ රැල්ලක්’ ද එක් කිරීමට ආණ්ඩු විරෝධී කල්ලි මේ වන විට සමත්ව තිබෙනවා. විශේෂයෙන් මනුෂ්‍ය ඝාතන, හෙරෝයින් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතය වර්ධනය වීමක් ගැන ඔවුන් දැඩි සමාජ භීතියක් නිර්මාණය කරමින් සිටිනවා. මෙමගින් පොදුවේ අපේක්ෂා කරන්නේ වත්මන් ආණ්ඩුව යටතේ රට, ජාතිය පමණක් නොව පොදුජන ජීවිතය පවා දැඩි අනාරක්ෂිතභාවයකට ලක්වී ඇති බව ජනතාවට අවධාරණය කිරීම බව අපට වටහා ගත හැකියි.

එහෙත් අපරාධ රැල්ලක් ගැන කරන අනතුරු ඇඟයීම සම්පූර්ණයෙන්ම සාවාද්‍ය /ව්‍යාජ පුවත් මත පදනම් වූ සැලසුම් සහගත ක්‍රියාවක් බව සමාජ විද්‍යාඥයන් අවධාරණය කරනවා. ඔවුන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිල සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් අවධාරණය කරන්නේ ඇතැම් මාධ්‍ය හා දේශපාලනඥයන් විසින් තහවුරු කිරීමට තැත් කරන ආකාරයේ අපරාධ රැල්ලක් (වර්ධනය වීමක්) පසුගිය තෙවසර තුළ සිදු නොවූ බවයි. සත්‍ය වශයෙන්ම සිදුව ඇත්තේ අපරාධවල සංඛ්‍යාත්මක හා ගුණාත්මක වර්ධනය ශීඝ්‍රයෙන් පහළ යාම බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන සමාජ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ අපරාධමය සිදුවීම් කිහිපයක් එක ළඟ වාර්තා වීම මත පමණක් ‘අපරාධ රැල්ලක්’ ගැන ඉඟි පළ කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවයි. ඒ සඳහා දීර්ඝ කාලයක් පුරා වාර්තා වූ සිදුවීම් පිළිබඳ විද්‍යාත්මක විශ්ලේෂණයක් සිදුවිය යුතු බව ඔවුන් සඳහන් කරනවා. එහි දී ඔවුන් අවධාරණයෙන් සඳහන් කරන්නේ රටේ අපරාධ වර්ධනය වන්නේද ? අඩු වන්නේ ද යන්න ගැන විශ්වාසනීය අදහසක් ලබාගත හැකි වන්නේ හුදු මාධ්‍ය වාර්තා මත පදනම් වීමෙන් නොව නිල දත්ත විශ්ලේෂණය කිරීමෙන් පමණක් බවයි.

ඇත්ත සඟවා බොරුවට ආවැඩීම

ශ්‍රී ලංකාවේ අපරාධ පිළිබඳ විශ්වාසනීය හා නිල තොරතුරු ලබා ගත හැකි ප්‍රමුඛ මූලාශ්‍රයක් වන්නේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියයි. https//www.police.lk එමෙන්ම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ‘සංඛ්‍යාන නිබන්ධනය’ මගින් ද (අධිකරණ හා අපරාධ) ශ්‍රී ලංකාවේ සිදු වූ අපරාධ පිළිබඳ විශ්වාසනීය දත්ත ලබාගත හැකියි. ශ්‍රී ලංකා පොලිසිය අපරාධ පිළිබඳ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීමේ දී කාණ්ඩ 26ක් යටතේ ඉතාම අංග සම්පූර්ණ දත්ත ඉදිරිපත් කරනවා. මේවා සියුම්ව විමසීම මගින් රට තුළ සිදුවන සියලුම ආකාරයේ අපරාධ පිළිබඳ පැහැදිලි අදහසක් ලබා ගැනීමට අවස්ථාව හිමි වෙනවා. එහෙත් ‘අපරාධ රැල්ලක්’ ගැන සමාජ භීතියක් නිර්මාණය කරමින් සිටින ජනමාධ්‍ය හෝ දේශපාලනඥයන් කිසිදු අවස්ථාවක මේ නිල සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීමක් කරන ආකාරයක් අපට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට අපට නිතර නිතර දකින්නට ලැබෙන්නේ වාචාල හා අක්‍රමණශීලී ප්‍රකාශ පමණයි.

මහින්ද - ගෝඨා යුගයේ අපරාධ මෙහි දී ආංශික විමසුමකට යාමට පෙර සමස්ත විග්‍රහයකට යොමු වී අපරාධ සම්බන්ධ පොදු චිත්‍රය පැහැදිලි කරගත යුතුයි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වන්නේ 2005 වර්ෂයේදීයි. ඒ සමඟ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධුරයට පත් වෙනවා. මේ සමයේ දී රට තුළ දැඩි යුද වාතාවරණයක් පැවැති තත්ත්වයක් තුළ රට තුළ සිදුව ඇති සමස්ත අපරාධ සංඛ්‍යාව 59, 391ක් බව වාර්තා වෙනවා. 2006 දී මේ අගය 61, 996ක් ද, 2007 දී 56, 454, 2008 දී 60, 870ක් හා 2009 දී 57, 340ක් ලෙස වාර්තා වෙනවා. යුද්ධය අවසන් වූ පසු උදාවන යුගය තුළත් අපරාධමය සිදුවීම්වල සුවිශේෂ වෙනසක් අපට දැකිය නොහැකියි. ඒ අනුව 2010 දී 57, 560ක්, 2011 දී 54, 367ක්, 2012 දී 57, 162ක්, 2013 දී 55, 349ක්, 2014 දී 50, 962ක් ලෙස වාර්තා වෙනවා.

මහින්ද - ගෝඨාභය යුගය 2015 ජනවාරි 08 පැවැති ජනාධිපතිවරණය සමඟ නිමාවට පත්වන විට මෛත්‍රී-රනිල් යහපාලන ආණ්ඩුවේ පාලන සමය ආරම්භ වෙනවා. එහි දී ආණ්ඩු වෙනස සඳහා රාජපක්ෂ යුගයේ පැවැති නීතියේ ආධිපත්‍ය පිරිහීම, අපරාධකාරී පරිසරය සේම අපරාධකරුවන් ආරක්ෂා කරන රාජපක්ෂ පිළිවෙත ද සමාජය හමුවේ දැඩි විවේචනයට භාජනය වූ බව අප කිසිසේත් අමතක නොකළ යුතුයි.

2005 ජනවාරී 08 වැනිදායින් පසු ආරම්භ වන වත්මන් ආණ්ඩුවේ පාලනය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපරාධ සම්බන්ධ වාර්තා ඉතාම පැහැදිලි ලෙස ශීඝ්‍ර අඩුවීමක් වාර්තා කරන ආකාරයක් අපට නිරීක්ෂණය කළ හැකියි.

මෛත්‍රී-රනිල් යුගය

මහින්ද - ගෝඨාභය යුගයේ අවසාන වර්ෂය වූ 2014 වසරේ වාර්තා වූ සමස්ත අපරාධ ප්‍රමාණය වූ 50, 962ක අගය 2015 දී 40, 188 දක්වා ශීඝ්‍රයෙන් පහත වැටීමක් වාර්තා කරනවා. මෙය සංඛ්‍යාත්මකව ගතහොත් 10, 774ක අඩුවීමක්. සියයට 25ක පමණ අඩුවීමක්. 2016 වසරේ සමස්ත අපරාධ සංඛ්‍යාව වාර්තා වෙන්නේ 36, 937ක් වශයෙනුයි. එය පසුගිය 2017 වර්ෂයේ 35, 978ක් බව ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවිය සඳහන් කරනවා. ඉහතින් සඳහන් කළේ 2005 - 2014 මහින්ද - ගෝඨාභය යුගයේ සහ 2015 -17 මෛත්‍රී - රනිල් යුගයේ රට තුළ සිදු වූ සමස්ත අපරාධ පිළිබඳ පොදු විග්‍රහයක්. එහි දී ඉතාම පැහැදිලිව මහින්ද - ගෝඨාභය වෙතින් බලය ගිහිලී ගිය 2015 වසරින් පසු අපරාධවල ශීඝ්‍ර අඩුවීමක් පැහැදිලිව දැකගත හැකියි. මේ තත්ත්වය වඩාත් සරලව පැහැදිලි කළහොත් 2014 වසරට සාපේක්ෂව (50, 962) 2017 දී (35, 978) අපරාධ 14, 984ක අඩුවක් වාර්තා වෙනවා. මෙය ආසන්න වශයෙන් සියයට 28ක පමණ අපරාධ අඩුවීමක් බවයි පැහැදිලිව පෙනී යන්නේ. මේ වත්මන් පාලනය තුළ සමාජ අනාරක්ෂිත කරන අපරාධ රැල්ලක් ඇතැයි රාජපක්ෂ කල්ලිය මවමින් සිටින භීතියේ ව්‍යාජත්වය වඩාත් පැහැදිලිව සනාථ කරන නිල සංඛ්‍යා ලේඛනවල තත්ත්වයයි.

සංඛ්‍යාත්මකව මෙසේ නම් ජුන්ටා මාධ්‍ය හා කල්ලිය විසින් අඳින බියකරු චිත්‍රය කුමක් දැයි අපට වටහා ගත හැකියි.

මනුෂ්‍ය ඝාතන

ඉහතින් සඳහන් කළ රටේ අපරාධ සම්බන්ධ පොදු චිත්‍රය කොටස් කරමින් සිදුකරන විග්‍රහයක දී පවා වත්මන් මෛත්‍රී-රනිල් පාලනය තුළ මහින්ද-ගෝඨා රෙජිම පාලනයට වඩා සමාජය කොතරම් සුරක්ෂිත ද යන්න පහසුවෙන් හඳුනා ගත හැකියි. මේ සඳහා සමාජය වඩාත් සංවේදී මනුෂ්‍ය ඝාතන

පිළිබඳ විමසා බැලීමක් කළ හැකියි. මහින්ද - ගෝඨාභය රාජපක්ෂ පාලන යුගයේ දෙවන අදියර ආරම්භ වූ 2010 දී පොලිසියට වාර්තා වූ සමස්ත මිනී මැරුම් සංඛ්‍යාව Homicide 745ක් වූ අතර 2011 දී එය 707ක්, 2013 දී 586ක් වූ අතර 2014 දී 548ක් බව වාර්තා වුණා. මහින්ද - ගෝඨාභය යුගය අවසන් වූ 2015 දී මනුෂ්‍ය ඝාතන සිදුවීම් වාර්තා වෙන්නේ 476ක් වශයෙනුයි. 2016 දී එය 502 දක්වාත් 2017 දී 452 දක්වාත් අඩුවී තිබෙනවා. මෙය මහින්ද - ගෝඨාභය යුගය හා සාපේක්ෂව විමසන්නේ නම් 2014ට සාපේක්ෂව 2017 දී මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව වූ 548 සිට 2017 දී 452 දක්වා 96කින් අඩුවී තිබෙනවා. එය ද සියයට 25කට ආසන්න අඩුවීමක් වශයෙන් සැලකිය හැකියි. මේ තත්ත්වය අවශ්‍ය නම් මංකොල්ලකෑම් පිළිබඳ අංශය යටතේ ද පුළුල්ව විමසා බැලිය හැකියි. මහින්ද - ගෝඨා යුගයේ දෙවැනි යාමය ආරම්භ වූ 2010 දී වාර්තා වූ මංකොල්ලකෑම් සංඛ්‍යාව 6521යි. 2011 දී 6304ක් ද, 2013 දී 4743ක් ද, 2014 දී 4235ක් ද වාර්තා වුණා. මහින්ද-ගෝඨාභය යුගය නිමා වූ 2015 දී එය 4017ක් ද, 2016 දී 3455ක් ද වූ අතර පසුගිය 2017දී වාර්තා වුණේ 3366ක් වශයෙනුයි. මේ අනුව මහින්ද - ගෝඨා යුගයට සාපේක්ෂව රට තුළ සිදු වූ සොරකම් ප්‍රමාණයේ දී පැහැදිලි අඩුවක් දැකිය හැකියි. එය 2014ට සාපේක්ෂව 869ක අඩුවීමක්. ඉහත සඳහන් සංඛ්‍යා ලේඛන විමසීමේ දී අපට ඉතාම පැහැදිලිව පෙනී යන කරුණ වන්නේ මහින්ද රාජපක්ෂ - ගෝඨාභය රාජපක්ෂ ඒකාධිපති යුගයට සාපේක්ෂව වත්මන් යහපාලන ආණ්ඩුව යටතේ සියලුම ආකාරයේ අපරාධ සියයට 25කට ආසන්න අගයකින් විශාල ලෙස අඩුවී තිබෙන බවයි.

තත්ත්වය මේ ආකාරයේ නම් ජුන්ටා මාධ්‍ය හා කල්ලි රට තුළ අපරාධ රැල්ලක් වර්ධනය වෙමින් තිබෙන බවත්, මේ අපරාධ රැල්ලෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා හිට්ලර් පන්නයේ පාලනයක් අවශ්‍ය බවත් දිගින් දිගටම අවධාරණය කරමින් ජනතාව නොමඟ යවන්නේ කුමන අරමුණකින් දැයි ජනතාව විසින් ප්‍රශ්න කළ යුතුයි.

කුඩ්ඩෝ වැඩි වෙලාද ?

අල්ලනවා වැඩි වෙලාද ? ඉහතින් සඳහන් කළ අපරාධවලට සමානව රට තුළ හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය භාවිතය හා අලෙවිය පුළුල් ලෙස වැඩිවී ඇතැයි ප්‍රවාදයක් ද සමාජගත කිරීමට රෙජිම මාධ්‍ය හා කල්ලි තැත් කරමින් සිටින බවක් දැකිය හැකියි. මේ තත්ත්වය ද අපගේ සියුම් විග්‍රහයට ලක්විය යුතුයි. මෙහි දී යළිත් ශ්‍රී ලංකා පොලිසියේ වෙබ් අඩවිය උපුටා දක්වන්නේ නම් පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කරන්නේ නීති විරෝධී මත්ද්‍රව්‍ය නිපදවීම, ප්‍රවාහනය, රටින් පිටත ගෙන යාම, ගෙනඒම, ළඟ තබා ගැනීම යන අපරාධ සඳහා විමර්ශන කටයුතුයි. මේ තත්ත්වය සරල ආකාරයෙන් විග්‍රහ කරන්නේ නම් ‘කුඩ්ඩෝ රකින්නේ නැතිව ඇල්ලීම’ ලෙස ප්‍රකාශ කළ හැකියි. පසුගිය තෙවසර තුළ වත්මන් ආණ්ඩුව නීති විරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අනුගමනය කළ දැඩි පිළිවෙත හේතුවෙන් ඒ ආශ්‍රිත අත්අඩංගුවට ගැනීම් විශාල ලෙස වර්ධනය වූ ආකාරයක් අපට පැහැදිලිව නිරීක්ෂණය කළ හැකියි. මෙහි දී යළි මහින්ද - ගෝඨාභය යුගය වෙත යන්නේ නම් ඉහත සඳහන් කොටස යටතේ Manufacture or any quantity Heroin, Cocaine, Morphine,trafficking, import or possession of dangerous Drugs of an above 2 gms, of Heroin, 2 gms. of Cocaine, 3 gms. of Morphine, 500 gms. of Opium, 5 kgs. of Cannabis and 1kg. of Hashish 2010 දී අත්අඩංගුවට ගැනීම් සංඛ්‍යාව 862ක් වන අතර, එය 2011 දී 1067ක් ද 2013 දී 1604ක් ද, 2014 දී 1155ක් ද වන අතර 2015 දී එය 1641 දක්වාත්, 2016 දී 2078 දක්වාත් 2017 දී 2845 දක්වාත් පුළුල් වර්ධනයක් පෙන්වා තිබෙනවා. මෙය 2014ට සාපේක්ෂව විග්‍රහ කරන්නේ නම් 1155 සිට 2845 දක්වා සිදුවීම් 1690ක වර්ධනයක්. එය සියයට 150ක පමණ ප්‍රතිශතමය වර්ධනයක් වශයෙන් ද සැලකිය හැකියි.

බළලා මල්ලෙන් එළියට පැනීම

රට කුඩ්ඩන්ගේ පරාදීසයක් වී ඇතැයි කියමින් රට ගිනි තියන රෙජිම මාධ්‍ය හා කල්ලි ඉහත සඳහන් සංඛ්‍යා ලේඛන, නැතහොත් කුඩු ඇල්ලීම් ඉතාම පැහැදිලිව ව්‍යාජ විග්‍රහයකට ලක් කරමින් තම වාසිය සඳහා යොදා ගන්නා බවක් දැකිය හැකියි. ඉහත සඳහන් සංඛ්‍යා ලේඛන ඉතාම පැහැදිලිව හෙළි කරන්නේ පසුගිය තෙවසර තුළ කුඩ්ඩන් හා ජාවාරම්කාරයන් විශාල වශයෙන් අත්අඩංගුවට පත්වී අති බව මිස රට තුළ කුඩ්ඩන් බහුල වී ඇති බවක් නොවෙයි. මන්ද මේ හෙළි කරන්නේ කුඩු මර්දන පියවර මිස කුඩු නිෂ්පාදනය පිළිබඳ සංඛ්‍යා ලේඛන නොවෙයි. හෙරොයින් නැතහොත් කුඩු වැටලීම් නිතර නිතර මාධ්‍යවල ප්‍රකාශයට පත්වීම සමඟ ජනතාව සිතන්නේ වත්මන් පාලනය තුළ ලංකාව කුඩ්ඩන්ගේ පරාදීසයක් බවට පත් වෙමින් තිබෙන බව නම් අප ඒ ගැන පුදුම විය යුතු ද නැහැ. ඒ මේ මාධ්‍ය මෙහෙයුමේ අරමුණ වන්නේ ද සත්‍ය සඟවා තබා, නැතහොත් යටපත් කර ව්‍යාජය ජනතාව තුළ තහවුරු කිරීම නිසයි. කුඩ්ඩන් අල්ලන මෙහෙයුම් දේශපාලන හෝ වෙනත් බලපෑම්වලින් තොරව සක්‍රීයව සිදුවන විට ඒ හරහා සිදුවන පුළුල් අත්අඩංගුවට ගැනීම් විකෘති කරමින් තම දේශපාලන අවශ්‍යතා සඳහා නිර්ලජ්ජිත ලෙස භාවිත කිරීම සැලකිය හැකි වන්නේ සමස්ත ජාතියටම කරන අපරාධයක් වශයෙන් මිස ඊනියා දේශප්‍රේමයක් වශයෙන් නොවෙයි.

වටහා ගත යුතු දේ ඉහතින් සඳහන් කළ කරුණු අනුව අපට පැහැදිලිව පෙනී යන්නේ මහින්ද - ගෝඨාභය රාජපක්ෂ යුගය තුළ දැඩි අනාරක්ෂිතභාවයක ගිලී ගිය රට යළි සුරක්ෂිතභාවය කරා වේගයෙන් ගමන් කරමින් තිබීම පරාජිත දේශපාලනඥයන් සේම ඔවුන් මත යැපුණ මාධ්‍ය හා තවත් කල්ලි කිහිපයක් දැඩිව නුරුස්සන බවයි. වත්මන් සමාජ සුරක්ෂිතභාවය ඔවුන්ගේ අවස්ථාවාදී දේශපාලන හා ව්‍යාපාරික අරමුණුවලට දැවැන්ත බාධාවක් වශයෙන් වටහා ගෙන තිබෙන බවයි. එනිසා ඉතාම පැහැදිලිව සත්‍ය ප්‍රකාශ කරන තොරතුරු හැකි ඕනෑම ක්‍රමවේදයක් භාවිත කරමින් විකෘත කරමින් ව්‍යාජ පුවත් හැකිතාක් සමාජගත කිරීම ඔවුන්ගේ ඒකායන අපේක්ෂාවයි.

සමාජය තුළ අනාරක්ෂිතභාවය වර්ධනය වන තරමට හිට්ලර්ලා ඉල්ලා සිටීම වැනි අඳබාල ප්‍රවේශයන් වෙත ජනතාවත් ඊනියා බුද්ධිමතුනුත් ගමන් කරන බව මේ කල්ලි මැනවින් හඳුනා ගෙන තිබෙනවා. ඔවුන් මේ ව්‍යාජ පුවත් මැවීම හරහා මනාව අභ්‍යාස කරමින් සිටින්නේ හිට්ලර්ව ඔසවා තැබූ ගොබෙල්ස් ප්‍රවේශය මිස වෙන යමක් නොවෙයි. ජනතාව විසින් මේ ගොබෙල්ස්වාදීන් හා හිට්ලර් කල්ලි තීරණාත්මකව පරාජය කළ යුත්තේ නැවත වරක් රාජපක්ෂ පවුලේ හෝ මිලිටරි කල්ලියක වහලුන් වීමට තවත් අවස්ථාවක් උදා කර නොගැනීම සඳහායි.

සටහන භාතිය බරුකන්ද

නව අදහස දක්වන්න