නුවරඑළිය හිටපු නගරාධිපතිට ඇප | දිනමිණ

නුවරඑළිය හිටපු නගරාධිපතිට ඇප

අල්ලස් පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා එල්ල වී සිටින නුවරඑළිය හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේගමගේ ඇප මත මුදාහැර තිබේ.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ නොතීසියක් අනුව විත්තිකාර නුවරඑළිය හිටපු නගරාධිපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක ඉදිරියේ පෙනී සිටියේය.

අනතුරුව විත්තිකාර හිටපු නගරාධිපතිවරයා රුපියල් 20, 000 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියම කළේය.

නඩු විභාගය නොවැම්බර් මස මස නව වනදා පැවැත්වීමට අධිකරණය නියම කලේය.

එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කිරීමට නියම කෙරිණ.

2013 වසරේ නුවරඑළිය වසන්ත සැණකෙලි උත්සවය සඳහා පෞද්ගලික අනුග්‍රහකයෙක් විසින් ලබාදුන් රුපියල් දෙලක්ෂ විසිපන් දහසක මුදලක් සිය ගිණුමේ තැන්පත් කර ගැනීම තුළින් විත්තිකාර හිටපු නගරාධිපතිවරයා අල්ලස් පනත පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබේ.

නව අදහස දක්වන්න