මායි­යාට බඩේ අමා­රු­වක් | දිනමිණ

මායි­යාට බඩේ අමා­රු­වක්

“අම්මප මුන්ට හෙණ ගහන්න ඕන. බස්වල ගිහින් රස්තියාදු කරවල, ඒ මදිවට අසරණ ලෙඩ්ඩුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරනවට“ මායියා කාටදෝ බැණ බැණ ගෙට රිංගුවා. මටත් එක පාරටම වැ‍ඩේ මීටර් වුණේ නෑ. බඩේ කොරයක් ඇවිත් කියලා, උදේ පාන්දර ඉඳන් බෙහෙත් ටිකක් ගන්න ආණ්ඩුවේ ඩිස්පැන්සරියට යන්න ඕන කතාවක් කිය කිය ඉඳලා, එක පාරටම උන්දෑ අතුරුදන් වුණා. එකත් එකටම ඩිස්පැන්සරියට ගියාට දොස්තරලා වර්ජනයේ හින්දා මායියට බෙහෙත් ගන්න බැරිවෙලා. අයිතිවාසිකම් දිනා ගන්නට වෘත්තීය ක්‍රියා මාර්ග ගැනීම ගැන මං බොහෝම කැමතියි. ඒත් ඉතිං ඒක, හොද්දට ලුණු ඩිංගත් වැඩි වුණත් ස්ට්‍රයික් කරන තැනට තල්ලුවෙලා තියෙන එක ගැන නම් මායියට වගේම මටත් ‍කේන්තියි.

“දෙහි ගෙඩියක් වත් මිරිකලා බීවොත් හරි යයිද? මං කඩේ ගිහින් ගේන්නද?“ මං, මායියගෙන් ඇහුවා.

“දැන් තමයි අහන්නෙ. මං දෙහි අරන් ආවෙ.“ ඒකටත් උත්තර ලැබුණේ රැස් පිටවෙන ස්වරයකින්.

“ඔහෙල ඉතිං ඔය වර්ජන, උද්ඝෝෂණ, පිකටිං අරව මේවට මාර කැමතියි නොවැ. 'අරගලයකින් තොරව අයිතිවාසිකම් නෑ' කියල නොවැ මන්තරේ වගේ මතුරන්නෙ. ගිහින් බැලුව නම් අද ඩිස්පැන්සරියට ලෙඩ්ඩු කී දෙනෙක් දුක් විඳිනවද කියල බලන්න.“ මායියා දිගටම කෑ ගහනවා. මං ඉතිං සද්දෙ වහලා කාමරේට රිංගා ගත්තා.

ශ්‍රී ලංකාවෙ වෙදුන් කියන්නෙ ඇත්තටම 'රට වෙද්දු' ටිකක් තමා. හැදෙන, විවෘත කෙරෙන කාලයේ අහිංසක චූටි බබලා වගේ ඉඳලා, සයිටම් එකට අහසින් පාත්වුණා වගේ හිතලා එක පාරටම යුද්ධ ප්‍රකාශ කරන්න ගත්තා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන කතා නොකොට, සයිටම් ප්‍රමිතිය ගැන දුක් වෙන්න පටන් ගත්තා. ඉන්දියාවෙන් ඇම්බියුලන්ස් ටික ලංකාවට ගෙන්වන්න සැලසුම් සකස් කෙරෙද්දී ඒකෙන් ලංකාවෙ උදවියට රස්සා නැති වෙන හැටි, ඉන්දියාව ඇඟිලි ගහන හැටි, වෘත්තීය ගරුත්වය නැතිවෙන හැටි ගැන ඉලක්කම් විජ්ජා පෙන්න පෙන්නා කහින්න ගත්තා. අද වෙද්දි එහෙව් ඇම්බියුලන්ස් නැත්නම් මහ මඟ ඇක්සිඩන්ට් වෙච්චි ගොඩක් දෙනකුට එතැනට මැරෙන්න සිද්ධවෙලා. මොකද, ලේ පෙරාගෙන වැටී ඉන්න ලෙඩෙක් තමන්ගෙ වාහනයක දාගෙන ගිහින් ඉස්පිරිතාලවල රස්තියාදු වෙන්නයි, පොලිසිවලට කට උත්තර දෙන්නයි, උසාවි ගානේ යන්නයි මිනිස්සු කැමති නෑ. අලුත් පරම්පරාවෙ උන් නම්, ඒ වගේ වෙලාවක ඒක ස්මාර්ට් ෆෝන් එකෙන් වීඩියෝ කරලා යූ ටියුබ් දාන එකයි, සෙල්ෆි ගහන එකයි ඇරෙන්න වෙන දෙයක් කරන්න උනන්දු වෙන්නෙ නෑ. මට මතක් වුණේ මිත්‍රයෙක් කීව තවත් කතාවක්.

“අපේ තාත්තට හාර්ට් ප්‍රොබ්ලම් එක ආවට පස්සෙ කතා කළෙත් දහනවයයි අනූවට තමයි. මොකද ඒ වගේ වෙලාවක අපේ වාහනේක දාගෙන ඉස්පිරිතාලෙට ගෙනියන්න පාරෙ අනිත් වාහන ඉඩදෙන එකක්යැ. ට්‍රැෆික් එකේ ළත වෙවී යන්න වුණානම් කොහොමට තියෙයිද? ෂුවර් එහෙනම් තාත්තා, එදාම යන්න යනවා.“

මේ කාරණය ඉතාම කටුක ඇත්තක්. එදා මේකට විරුද්ධ වෙච්චි දොස්තරලයි, විපක්ෂයේ දේශපාලකයොයි අද වෙද්දි ඒ ගැන කිසිම සද්දයක් බද්දයක් නෑ. අඩුම ගානේ හොඳ දේ හොඳයි කියන පුරුද්දවත් නෑ. අවස්ථාවාදී අන්තවාදීන් පිරිසක් වඳ පෙතියි, වඳ ටොෆියි ගැන බේගල් පතුරුවමින් රටම ගිනි තියද්දී වෛද්‍ය විද්‍යාත්මක කරුණු සහිතව ඒ බේගල්වලට විරුද්ධව ඇත්ත එළිකරන්න මේ කාටවත් කොන්දක් තිබුණේ නෑ. ආණ්ඩුවක ප්‍රතිපත්ති සම්පාදනයට යෝජනා ඉදිරිපත් කරන්න, වැරදි දේ වැරදියි කියන්න, ජනතාවට කරුණු පැහැදිලි කරලා ඒ වෙනුවෙන් ජනතාව බලමුළු ගන්වන්න ක්‍රියා කිරීම වෙනුවට තනිකරම කාගේ හෝ කොන්ත්‍රාත්තුවකට දේශපාලනය කරන්න යාම නම් අනුමත කරන්න බෑ. මේ රටේ දුක් විඳින මිනිසුන්ගේ සල්ලිවලින් ඉගෙන ගෙන, උන්වම සූරාගෙන කා පෝසත් වෙලා, අන්තිමට උන්ගෙ ජීවත් එක්ක සෙල්ලම් කරන එක කොච්චර තුප්පහි වැඩක්ද?

“කැක්කුමයි අනේ“ මායියා, ගේ ඇතුළේ ඉඳන් ආයෙම කෑ ගහනවා. මං කාමරෙන් එළියට ඇවිත් ගෙට ගියා. මායියා, කොට්ටක් බඩට තද කරගෙන ඇඳේ. මං දන්න කියන හැම එකාටම කතා කළා.

“වැඩක් නෑ බන්. ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්නෙත් නෑ.“

ණයක් වෙලා හරි පුද්ගලික බෙහෙත් ශාලාවකට වත් යන්න විදිහක් නෑ. අන්තිමට මායියත් එක්ක හෙළ වෙද මහත්තයෙක් හොයාගෙන ගියා. මායියා පරීක්ෂා කරලා, ගුලි, ඉස්ම, කසාය ටිකක් දෙන ගමන් වෙද මහත්තයා මෙහෙම කීවා.

“අපි ළඟට මිනිස්සු එන්නෙ මෙහෙම දවසකට තමයි. බය වෙන්න එපා අඩුවෙලා යයි.“ වෙද මහත්තයා කීවා. අඩු වෙයිද, වැඩි වෙයිද? කියන්න තාම කල් වැඩියි. මං, මායියත් එක්ක ටැක්සියකට නැඟිලා එන්න හැරුණා. අපට කොහේ හරි වැරදිලා ඇති වග විතරක් තේරෙන්න ගත්තා.

බණ්ඩි රාල


නව අදහස දක්වන්න

Or log in with...