ඉන්දි­යානු කාන්තා­වන්ගේ ඉඳ­ගැ­නීමේ අයි­තියේ සටන | දිනමිණ

ඉන්දි­යානු කාන්තා­වන්ගේ ඉඳ­ගැ­නීමේ අයි­තියේ සටන

තොටිල්ල පදවන අත ලොව පාලනය කරයි කියල කතාවක් තිබුණත් ලෝකයේ හුඟක් රටවල තොටිලි පවන අත් තාමත් නොයෙක් විලංගුවලට හිරවෙලයි තියෙන්නෙ. විශේෂයෙන්ම ආසියාතික රටවල කාන්තාවන්ගෙ ඉරණම මේ අතින් ඉතාම ශෝචනීයයි. අපේ අසල්වැසි මහා ඥාතියා වන ඉන්දියාවෙන් ලැබෙන ආරංචි දිහා බලපුවහම ලොවෙන්ම පිදුම් ලබන අම්මාවරු වහලියන් මෙන් දැඩි පීඩනයකට ලක් වී සිටින හැටි අදටත් අහන්න ලැබෙනවා.

ඉන්දියාවේ බොහොමයක් ප්‍රාන්තවල අඩු වැටුප් සහිත සිල්ලර රැකියාවල නිරතව සිටින්නේ කාන්තාවන්. වැඩි වශයෙන්ම කඩසාප්පුවල විවිධ සේවාවන් සඳහා යොදා ගන්නා කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකම් පවා උදුරාගෙන ඇති බවයි ඉන්දියාවෙන් ලැබෙන පුවත්වලින් අපට නිතර නිතර අහන්න දකින්න ලැබෙන්නේ. මේ මෑතක් වන තුරුත් දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සාප්පු හා වෙළඳ ආයතනවල සේවය කරන කාන්තාවන්ට පනවා තිබූ වහල් නීතියක් ඉවත් කෙරුණේ සේවිකාවන් එක් වී කළ ලොකු අරගලයකට පසුවයි.

දකුණු ඉන්දියානු කාන්තාවන්ගේ අයිතීන් දිනාගැනීමේ සටනේ පුරෝගාමිනිය ලෙස සැලකෙන්නේ වෘත්තීය සමිති නායිකාවක් වන විජා පලිකෝඩ්. ඇය දියත් කළ සටන හැඳින්වෙන්නේ ”පෙන්කුටම්” නමින්. පෙන්කුටම් යන වචනයේ තේරුම ”ඉඳගැනීමේ අයිතිය වෙනුවෙන් කරන සටන” කියන එක. පලිකෝඩ් මුලින්ම ඇඳුම් මහන තැනක රස්සාවට යනකොට වයස අවුරුදු 16යි. ඇගේ වයසේ කෙල්ලන් පමණක් නොව ඇගේ මව්වරියන් බඳු කාන්තාවන් පවා දැඩි සූරාකෑමකට ලක්ව සිටින හැටි දුටු විට ඊට එරෙහිව සටනක් කිරිමේ අවශ්‍යතාව ඇය ඉක්මනින්ම තේරුම්ගත්තා. ඉන්දියාවේ කඩ සාප්පුවල හා වෙනත් ඒ මට්ටමේ ආයතනවල වැඩ කරන කාන්තාවන්ට මුළු සේවා කාලය තුළම සිටගෙන සිටිමට නියම වී තිබුණා. ඒ විතරක් නෙවේ. වැසිකිළි යාම, කතාබස් කිරීම වැනි කිසිම අයිතියක් ඔවුන්ට හිමි වුණේ නැහැ.

අනිත් කාන්තාවන් වගේ කරබාගෙන සියලු පීඩනයන් දරා සිටීම වෙනුවට පලිකෝඩ් කළේ මේ අසාධාරණය පරාජය කළ යුතුය කියා අදිටන් කරගැනීමයි. රැකියා කාලයෙන් පසුව සහෝදර සේවිකාවන් හමුවීමට ගිය ඇය මේ වහල් කොන්දේසි වෙනස් කිරීමේ අවශ්‍යතාව ඔවුන්ට පෙන්වා දුන්නා. ටික කලක් යන විට කුඩා කණ්ඩායමක් ඇගේ මතයට නම්මාගන්න ඇය සමත් වුණා. පසු කාලයක ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවකම පැතිර ගිය ”පෙන්කූටම්” නමැති කාන්තා අයිතීන් දිනාගැනීමේ එකමුතුව බිහි වීමේ ආරම්භය සනිටුහන් වණේ මේ විදිහටයි. විවිධ පීඩනයන්ට යටත් වෙලා හිටපු දහස් ගණන් කාන්තාවන් විජා පලිකෝඩ් සටන්කාමිනිය හමුවේ ඔවුන්ගේ දුක්ගැනවිලි මුදා හැරියේ ඇය ඔවුන්ගේ ගැලවුම්කාරිය ලෙස සලකමිනුයි.

මේ අනුව කේරල ප‍්‍රාන්තයෙන් මායාදේවි හා කර්ණාටක ප්‍රාන්තයෙන් මයිත්‍රේයි වැනි සටන්කාමී නායිකාවන් බිහිවෙන්න පටන්ගත්තා. මෙතෙක් කල් සිත් යට හංගාගෙන සිටි දුක්ගැනවිලි රැසක් ”පෙන්කුටම්” ව්‍යාපාරයේ නායිකාවන් ඉදිරියේ සහෝදර සේවිකාවන් විසින් හෙළිදරව් කරනු ලැබුවේ කඳුළු පිරි ඇස්වලින්. ”උඹලාට වැසිකිළි යන්න දෙන්න කියා නීතියක් නැහැ. ඒනිසා උඹලගේ යට ඇඳුම්වලට ප්ලාස්ටික් බෑග් හයි කරගෙන වරෙල්ලා” එක් පාලකයෙක් කාන්තාවන්ට කියා ඇත්තේ එවැනි අමානුෂික දේවල්. ” අපේ සාප්පුවේ කැමරා හයි කරලා තියෙන්නෙ. වාඩිවෙන්න තියා බිත්තියකට හේත්තු වෙන්නවත් අපිට අවසර නැහැ. හැම වැරැද්දකටම පඩියෙන් කපනවා. අපි ලොක්කන්ට හොරෙන් පුංචි වතුර බෝතල් හංගගෙන එනකොට අපේ පිරිමි සේවකයො අපිට විහිළු කරනවා ඒවා ගේන්නෙ මුත්‍රා කරන්නද කියලා.” තම සහෝදර සේවකයන්ගෙන් පවා එල්ල වි ඇති පීඩනය තවත් සේවිකාවක් විස්තර කළේ වේදනාවෙන් මිරිකෙමින්.

විජා පලිකෝඩ්, මායාදේවි හා මයිත්‍රේයි වැනි ප්‍රාන්ත නායිකාවන්ටද මේ සටන ඉදිරියට රැගෙන යාමේදී දැඩි මර්දනයකට මුහුණ දීමට සිදු වුණා. ඇතැම් අවස්ථාවල ඔවුන් රැකියාවලින් පවා නෙරපා දැමුණා. කෙසේ වුණත් මේ සියලු අභියෝග මැද සැනසිලි සුසුමක් හෙළීමට අද ඔවුන් සමත් වී සිටිනවා. පසුගිය ජූලි 4 වැනිදා වන විට කේරළ ප්‍රාන්ත ආණ්ඩුව කම්කරු නීති වෙනස් කිරීමේ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කඩ සාප්පු වැනි සුළු රැකියාවන් හි නිරත කාන්තාවන්ගේ මූලික අයිතීන් උල්ලංඝනය කිරීම මින් මත්තට දඬුවම් ලැබෙන වරදක් බවට ප්‍රකාශ වීමත් සමඟ පෙන්කුටම් කාන්තා ව්‍යාපාරයේ නායිකාවක වන මයිත්‍රේයි ඊට ප්‍රතිචාර දක්වා තිබුණේ මෙලෙයසි. ”කාන්තාවන්ගේ මුලික අයිතිවාසිකම් පවා සටන් කර දිනාගැනීමට සිදු වී තිබීම ගැන අපි ලැජ්ජා විය යුතුයි. කොහොම වුණත් නව නීති පිළිබඳව පාලකයන් දක්වන ප්‍රතිචාරය දෙස අපි විමසිල්ලෙන් බලා සිටිනවා.” නිදහස ලැබී අඩ සියවසකට වැඩි කාලයක් ගත වී ඇතත් ඉන්දියානු කාන්තවගේ ඉරණම මොනතරම් ඛේදනිය තත්ත්වයක පවතිනවාද යන්න මෙවැනි ප්‍රකාශන මගින් මොනවට තේරුම්ගත හැකියි.

ලෝක ඉතිහාස පොතේ ඉන්දියාව ගැන ලියවී තිබෙන පරිච්ඡේදය ගැන කියවන විට අපට හමු වෙන්නේ මානව හිමිකම් පිළිබඳ සටනේ පුරෝගාමිත්වය දැරූ මහත්මා ගාන්ධි වගේ ලෝක පුජිත චරිත. එතුමා ලොව පුරා විද්වතුන් හා මානවහිතවාදීන්ගේ ප්‍රණාමයට ලක්ව සිටින්නේ සියලු උද්ඝෝෂකයන්ගේ පියා හැටියට. පසු කාලයක නෙල්සන් මැන්ඩලා වගේ නායකයන් පවා ආදර්ශයට ගත්තේ ගාන්ධිතුමාගේ අවිහිංසාවාදි සටන් විලාසිතාවයි. ඉන්දියානු ජාතික නොබෙල් ත්‍යාගලාභි ලේඛක වී. එන්. නෛපෝල් ඉන්දියාව හඳුන්වන්නේ දසලක්ෂ සංඛ්‍යාත විප්ලවකරුවන්ගේ භූමිය හැටියටයි. මෙවැනි කීර්තිමත් මානවප්‍රේමීන්ගේ ජන්මභූමිය වන ඉන්දියාව කාන්තා අයිතීන් අහිමි රටක් බවට පත් වී ඇත්තේ දෛවයේ සරදමකින් වගේ කියලයි අද ඇතැම් සමාජ විශේෂඥයන් පවසන්නේ.

ආසියාවට පසුව ශිෂ්ටාචාරයට පත් වුණා යයි කියන ඇතැම් බටහිර රටවල් මානව හිමිකම් අතින් ආසියාවට වඩා පිමි ගණනක් ඉදිරියට ගොස් ඇත්තේ කෙසේද කියන කාරණයත් අපගේ අවධානයට යොමු වීම වැදගත්ය කියා සිතෙනවා. ලිංග බේදය නොතකා සමාන සුදුසුකම්වලට සමාන වැටුප් දිය යුතුය යන්න නීතියෙන්ම අනුමත කිරිමට අද බොහෝ රටවල් ක්‍රියාත්මක වී තිබෙන්නේ කාන්තාව යනු දුබල චරිතයක් නොවන බව ලොවට පෙන්වා දෙමින්.

ඉන්දියාවට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ තත්ත්වය තරමක් සතුටුදායක වුණත් ඇතැම් ක්ෂේත්‍රවල තවමත් කාන්තාව දෙවැනි ගණයේ පුරවැසියකු ලෙස සලකන බවක් දක්නට ලැබෙනවා.

නීති, ඉංජිනේරු හා වතු අංශය වැනි තැන්වල සේවය කරන කාන්තාවන්ට ලැබෙනුයේ පුරුෂයන්ට ගෙවන වැටුපට වඩා අඩුවෙන් බවට චෝදනා නැගෙන්නේ කලක සිටන්මයි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තිය යටතේ සමාන අයිතිවාසිකම් ගැන සඳහන් කර තිබුණත් කාන්තා ප්‍රඥප්තියේ හෝ වෙනත් කම්කරු ආඥා පනත්වල ඒ පිළිබඳව ප්‍රතිපාදන පනවා නැති බවයි කාන්තා අයිතීන් පිළිබඳ ක්‍රියාකාරිනියන් පවසන්නේ. අම්මාවරුන් ගැන භාවාතිශීය විදිහට වර්ණනා කරන කවි ගී මොන තරම් ලියවුණත් කාන්තාවට සමාජයේ හිමි විය යුතු නිසි තැන ලබා දීමට අසමත් ඕනෑම රටක් හැඳින්වීමට සිදු වෙන්නේ නොදියුණු මිනිසුන්ගේ දේශයක් හැටියට නොවේද?

කමල් පෙරේරා


නව අදහස දක්වන්න

Or log in with...