නාය­යන අධ්‍යා­ප­නය | දිනමිණ

නාය­යන අධ්‍යා­ප­නය

‘සංහිඳ පාමුල’ ලිපිය පළවන විට 2018 වර්ෂය සඳහා පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පවත්වා හමාර ය. එහෙත් ලිපිය ලියන්නට ආරම්භ කරන විට ‘ළඟ ළඟ එයි මරු පින් කරගන්නේ’ කව් පදය සිහිපත් කරමින් එළඹෙන ශිෂ්‍යත්ව විභාගයට ළමයින් ද දෙමාපියන් ද ගජරාමෙට වැඩ ය.

මගේ මිතුරියක හදිසියෙන් ම මට කතා කළේ ලිපිය ලියන්නට මා සූදානම්වෙමින් සිටින මොහොතේ ය. මගේ කිට්ටුවන්ත මිතුරකුගේ සහධම්මිනිය වන ඈ මාධ්‍ය ක්ෂේත්‍රයේ නිරතව සිටින පොතපත සමඟ ළබැඳි ඇසුරක් පවත්වාගෙන යන තැනැත්තියකි. ශිෂ්‍යත්වයට පෙනී සිටින දරුවකුගේ මවක වන අසල්වැසි කාන්තාවක විසින් සිය දරුවා ඇය වෙත යොමු කරනු ලැබ ඇත්තේ ඇගේ දැනුමින් සිය දරුවාගේ විභාගයට පිටුවහලක් ලබා ගනු පිණිස ය.

දරුවාට නිම කරන්නට තිබුණු එක් ප්‍රශ්න පත්‍රයක මෙවන් ප්‍රශ්නයක් තිබිණි. ‘කුමාරතුංග මුනිදාස, මුනිදාස කුමාරතුංග එක් තැනැත්තෙක් ද? දෙදෙනෙක් ද? හත්පණ, හීන්සැරය, මඟුල් කෑම කවුරුන් විසින් ලියන ලද පොත් ද?’ මේ නම් දෙකම හිමි එක් අයකුට බවත්, පොත් තුන ලියන ලද්දේ මෙම නම්වලින් හැඳින්වුණු තැනැත්තා බවත් ඇය දරුවාට කියා දුන්නා ය. දරුවා පිළිතුරු පත රැගෙන පාසල් ගිය පසු අපේ යෙහෙළියගේ කියාදීම් නොපිට පෙරළිණි.

“මොනව ද ඔයා මේ ලියල තියෙන්නෙ. මුනිදාස කුමාරතුංග, කුමාරතුංග මුනිදාස මේ දෙන්නෙක්. කවුද ඔයාට මේ වැරදි උත්තර කියල දුන්නෙ. විභාගෙ කිට්ටු වෙන කොට පිස්සු නටන්න පටන් ගන්නවා.” පහේ පන්තියේ ගුරුතුමිය ළමයාගේ කනෙන් අල්ලා ඇය දන්නා හැටියට වරද නිවරදි කළා ය.

මම මගේ දුප්පත් පොත්ගුලින් කුමාරතුංගයන්ගේ පොත් තුනක් එළියට ගතිමි. ‘මුවදෙව්දා විවරණය’ එම පොත් තුනෙන් මුලින් ම කරන ලද්දයි. එහි කර්තෘ සඳහන් වන්නේ ‘මුනිදාස කුමාරතුංග’ නමිනි. ‘ව්‍යාකරණ විවරණය’ (මා වෙත තිබුණේ දෙවැනි සැකැස්මයි.) දෙවනුව කළ කෘතියේ කතුවරයාගේ නම සඳහන් වන්නේ ‘කුමාරතුංග මුනිදාස’ නමිනි. සසදා විවරණය (මා සතුව තිබුණේ තෙවැනි පැහැරැවුමයි.) ඊළඟ කෘතියයි. එහි කතුවරයාගේ නම සඳහන් වන්නේ ‘කුමරතුඟු මුනිදස්’ යනුවෙනි. මෙම කෘති තුන කුමාරතුංගයන්ගේ නමෙහි වූ පරිණාමය හෙළි කරන කැඩපතක් බඳු ය. නම මතු නොව දෙවැනි සැකැස්ම ඊළඟ කෘතියේ දී තෙ වැනි පැහැරැවුම බවට පත්වන්නේ ද කතුවරයාගේ භාෂාව පිළිබඳ මතිමතාන්තර වෙනස්වීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

සිද්ධිය පිළිබඳ අටුවා, පරිකථා, ටිප්පණි කියන්නට පෙර මට දැනගන්නට ලැබුණු ඊළඟ සිද්ධිය සඳහන් කළ යුතු ය. දෙවන කතාවට විෂය වන සිද්ධිය දැනගන්නට ලැබුණේ ටික කලකට කලිනි. එද මගේ මිතුරෙකුගෙනි. ඔහු දුර බැහැර පදිංචි මිතුරෙකු හමුවන්නට ගියේ ය. දුර බැහැර සිටින මිතුරාගේ දියණිය හත්වැන්නේ හෝ අටවැන්නේ ඉගෙනුම ලබන්නියකි. ඇයට පාසලෙන් පැවරුමක් ලැබී තිබිණි. ‘දැනට ජීවතුන් අතර නැති ලංකාවට විශිෂ්ට සේවයක් කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකුගේ සේවය අලළා ඔහු සිය ජීවන චරිතය ඉදිරිපත් කරන ආකාරයට පන්තිය ඉදිරියේ කතාවක් ඉදිරිපත් කරන්න.’ ඇගේ නිවෙසේ මේසයක් මත පොතක් තිබිණි. ඒ ‘එරික් ඉලයප්පාරච්චි’ ලියූ ‘ප්‍රේමසිරි කේමදාස - විචාරාත්මක චරිතාපදානයයි.’ දැරිය මෙසේ කීවා ය.

“මට කතාව කරන්ට මේ චරිතය හොඳයි.”

දැරිය මැනවින් ප්‍රේමසිරි කේමදාස ගැන කේමදාසගේ කථනයක ආකාරයෙන් කතා කොට ඇත. ඇය කතාව අවසන් කොට ඇත්තේ “මම ... (කේමදාස මියගිය දිනය) දින සදහට ම නෙත් පියාගතිමි.” යනුවෙන් සඳහන් කරමිනි. එහෙත් පන්තියේ ගුරුතුමියගේ ප්‍රසාදයට දැරියගේ කතාව හේතු නොවී ය.

“ මම ඔයාට කීවේ රටට සේවයක් කළ විශිෂ්ට පුරවැසියෙක් ගැන කතා කරන්ට. ඔයා සංගීතකාරයෙක් ගැන කතා කරනවා.” ගුරුතුමිය කීවේ කෝපයෙනි.

මා ඇසූ කතා දෙක ම මගේ සංවේගයට හේතු විය.

පළමුවන කතාවෙන් අනාවරණය වන්නේ වැඩි වශයෙන් ම මාපිය සමාජයේ අවධානයට ලක්වන ශිෂ්‍යත්ව පන්තියේ ගුරුවරියක ඉතා සාමාන්‍ය කාරණයක් පිළිබඳව පවා නොදැනීම පිළිබඳ කාරණයයි.

දෙවන කතාවෙන් අනාවරණය වන්නේ ගුරුවරියකගේ දෘෂ්ටිය පිළිබඳ ප්‍රශ්නයකි. සංගීතකාරයන් වැනි කලාකරුවන් රටට සේවයක් නොකරන්නේ ය යන ඉතා පටු දෘෂ්ටියක ඈ එල්බ ගෙන සිටී. සමහර විට රටට විශිෂ්ට සේවයක් කළ හැක්කේ දේශපාලනඥයන්ට පමණකි’ යි ඇය සිතාගෙන සිටිනවා විය හැක. එහෙමත් නැත්නම් පාසල් පාඩම් පොතේ හෝ ගුරු අත්පොතේ ඇති චරිතවලින් බැහැරව ළමයින් කතා කළ යුතු නැතැයි සිතනවා විය හැක.

මම ද වසර තිස්තුනකට මඳක් වැඩි කාලයක් ගුරුවරයකු සේ සේවය කොට මෑතක දී වයස ඉක්මෙන්නට මඳකට පෙර ඉසිඹු ලද්දෙක්මි. ඉතින් ගුරුවරුන් ගැන මෙවන් කතා ඇසෙන විට කම්පාවක් දැනෙයි.

අතීතයේ සිටි ළමයින්ට ඉගැන්වීමේ දී ස්වයං නිර්මාණශීලී ගුරුවරුන් අද දැකීම ඉතා උගහට ය. කලින් කලට එන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ ගුරුවරුන් ‍‍ෆෝර්ම පුරවන්නන් බවට පත් කිරීම ස්වයං නිර්මාණශීලීත්වය ගුරු පරපුරෙන් ඉවත් කිරීමට බොහෝ සෙයින් බලපෑවේ ය. අදින් කලකට ඉහත මෙම ඛේදවාචකය විවේචනය කරමින් මහාචාර්ය සරත් විජේසූරිය ‘අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉසුරුපාය ඉදිරිපිට කඩදාසි කම්හලක් දැමීමට ද?’ යන හිසින් සති අන්ත පුවත්පතකට ලිපියක් ලීවා මතක ය. එම ලිපිය එදාට වඩා අද කාලෝචිත ය. විෂය ප්‍රතිපත්ති, සති සටහන්, දින සටහන්, නිපුණතා පාදක ඇගයීම්, ආයතනික ප්‍රමිත ඇගයීම්, භෞතික පිරියත කළමනාකරණය, අවුරුද්දකට කණ්ඩායම් හා කේවල වශයෙන් වැටුප් වර්ධකය අනුමත කිරීමට පවා බලපාන ව්‍යාපෘති, ඵල සපිරි, ඕ. එම්. ආර්. සැලසුම්, ඇගයීම් සැලසුම් වැනි කී දේ හා ඊටත් වැඩි නොකී දේ සහිත වැඩ කන්දක ගුරුවරයා අතරමං වෙයි. ඔහු හෝ ඇය පාසල තුළ ඇවිදින රොබෝ යන්ත්‍රයක තත්ත්වයට පත්වෙයි. හරියට ම පාසල්වලට ලබා දී ඇති ඇඟිලි ඔබා අත්සන් තබන මැෂිම සේ ය. විදුහල්පතිවරයා බලාපොරොත්තු වන්නේ ද නිර්මාණශීලී අධ්‍යාපනයක් දෙන්නෙකුට වඩා වේලාව නොවරදවා ෆෝර්ම සම්පූර්ණ කරන ගුරුවරයෙකි. පාසලට එන අධීක්ෂකයන් පාසලේ හොඳ නොහොඳ කියන්නේ ඒ ඔස්සේ ය. පාසල් කාලය තුළ ගුරුවරුන්ට ශාස්ත්‍රීය සංවාදයක යෙදෙන්නට අවකාශ නැත. නිදහසේ පොතපත කියවීමක් නැත. හවස්වරුව අමතර පන්තිවලටත් ටියුෂන් එකක් කරගන්නටත් වැයවේ. අධ්‍යාපනයේ ගුරුවරුන් දැනුම්වත් කරන වැඩමුළු පවා හුදෙක් පෙළපොත හා ගුරු අත්පොත කියාදෙන ඒවා ය. ගැඹුරු සංවාදයක් නැත.

මේ යන ගමන ඉතා බියකරු බව අධ්‍යාපනඥයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් වටහාගත යුතු ය. මතුපිටින් ශෝභමාන එහෙත් සිටින අයට නොදැනීම ඇතුළාන්තයෙන් නායයන කන්දක් ගැන සිතන්න. අපේ රටේ අධ්‍යාපනය ද එබඳු ය.

 මහා­නාම දුනු­මාල


නව අදහස දක්වන්න

Or log in with...