සිපිරි ගේ පාමුල දී ඔවුන්ගේ දුක් ගායනා ඇසිණි | දිනමිණ

සිපිරි ගේ පාමුල දී ඔවුන්ගේ දුක් ගායනා ඇසිණි

සිරකරුවෝ ද මනුෂ්‍යයෝය යනුවෙන් බිත්තියක ලියැවුණු පාඨයක් අප දකින්නේ කොළඹ බේස්ලයින් පාරේ වැලිකඩ බන්ධනාගාර තාප්පයෙහිය. මහා උස තාප්පයකින් වට වූ වැලිකඩ බන්ධනාගාර දොරටුවෙහි රැස් වී සිටින ගැහැනුන්ගේ, මිනිසුන්ගේ රුව ඇතැම් දිනෙක, දවල් කාලයේ මා නෙත ගැටේ. රෝහලක රෝගීන් බලන්නට නියමිත කාලයේ දී රෝහල් පිවිසුමක රැස් වී සිටින ඥාති හිත මිතුරන් සේ බන්ධනාගාර පිවිසුම් දොරටුව රැඳී සිටින්නේ ද එතුළ සිටිනා රැඳවියකු බලන්නට පැමිණි ඔහුගේ සමීපතම ඥාතියකු හෝ හිත මිත්‍රයකු විය යුතුයයි සිතමි. සිරකරුවෝ ද මනුෂ්‍යයෝය කියා විසාල අකුරින් ලියා ඇත්තේ ඔවුන් පිළිබඳ අවට ලෝකය දක්වන වැරදි ආකල්පය නිසා විය යුතුය. එහෙත් අපට නොපෙනෙන, අප නොදකින මේ සිරකරුවන් සියලු දෙනා හෝ බහුතරය මනුෂ්‍යයන්ම මිස තිරිසනුන් නොවන බව වටහා ගන්නට නම් ඔවුන් හමු වී කතා බහ කළ යුතුය. ඔවුන්ගේ හඬට කන් දිය යුතුය. එහෙත් පිටස්තර කිසිවකුට ඔවුන් හමුවන්නට හෝ හමු වී කතාබහ කරන්නට ඉඩක් නොලැබෙන මුත්, එසේ ඉඩක් ලද අවස්ථා දෙකක් තුළ දී ඔවුන් පිළිබඳ පිටත සිට බලන්නන්ගේ ආකල්පය බොහෝ දුරට වැරදි ආකල්පයක් ය යන්න වටහා ගැනීමට එතරම් කාලයක් අවශ්‍ය නොවන බවයි මගේ අත් දැකීම. 2016 ජනවාරි මාසයේ නවවැනි සෙනසුරාදා ජීවිතයේ පළමු වරට බොරැල්ල වැලිකඩ මහ උළු ගෙදරට යන්නට මගක් පෑදුණේ මුහුණු පොත මිතුරු කණ්ඩායමක සද්ක්‍රියාවකට සම්බන්ධ වීමේ ප්‍රථිඵලයක් ලෙසය. මුහුණු පොත ක්‍රියාකාරී සමාජිකාවක වන ලලිතා ද සොයිසා ජයවර්ධන මහත්මිය ( ලලිතා ආන්ටි ) මූලිකත්වය ගෙන රැඳවියන්ට විදුලි ගිටාරයක් පරිත්‍යාග කිරීමට ගිය සිදුවීමයි පළමු අවස්ථාව. පීටර් ජෙරොම් තිසරණ පෙරේරා, රජීව් සෙබෙස්තියන් ගායකයා හා මා ගිටාරය රැඳවියන්ට පරිත්‍යාග කිරීමෙන් අනතුරුව, ඔවුන්ගේ දුක් ගායනාවක මතකය ද අප'තර ඉතිරි වූ බවයි මහ උළු ගෙදරින් එළියට එන මොහොතේ හැඟුණේ. නිල් අහස් තලේ අගේ නෑ වලාකුළු මෙන්ම, මේ නොනිමෙන දිවි ගමනේ ගීතයත් ඔවුන්ගේ හඬින් අප අසා සිටියා පමණක් නොව, අදද ඒ අතීත මතකයට යන්නට හැකි අපූරු අත්දැකීමක් ලෙස ද එදවස සොඳුරු දවස් අතර රැඳී තිබේ. ඊට නොදෙවැනි දෙවන අත්දැකීම අප ලබන්නේ ජූලි 26 පෙරවරුවේ දීය. වැලිකඩ බන්ධනාගාර අධ්‍යයන කේන්ද්‍රය විවෘත කිරීම හා සිපිරි ගේ පාමුල , රැඳවියන්ගේ කාව්‍ය සංග්‍රහය දොරට වැඩීමයි එදින සිදු වූයේ. පෙරදා මෙන්ම මෙදිනද, මුහුණු පොත මිත්‍ර පීටර් ජෙරොම් සිටි අතර, මේ ආසන්න අත්දැකීම පුළුල් ජන සහභාගීත්වයක් හමුවේ සිදුවීම විශේෂත්වයක් විය.මේ සිර ගෙදර තුළ සිර වී සිටින්නන් මනුෂ්‍යයන්ය යන්න යළි ඒත්තු ගන්වමින්, ඔවුන් විසින් අකුරු කළ ඔවුන්ගේ දුක් ගායනා ඇතුළත් සිපිරි ගේ පාමුල කවි එකතුව අප‘තට පත් වූයේ කවියකට එකතු වූ ඔවුන්ගේ ආත්ම ප්‍රකාශනයේ තොරතුරු ලොවට ද පවසන්න යැයි කළ ඉල්ලීම ද සමඟිනි.

ජනකවි අතර පැල් කවි, ඔරු පාරු කවි, ගැල් කවි, පතල් කවි, නෙළුම් කවි , කමත් කවි, නැළවිලි ගී තේරවිලි කවි ආදී කාව්‍ය ප්‍රභේද හමුවෙතත් සිපිරි ගෙදරක් හා ආශ්‍රිත කවියක් දකින්නට නොලැබේ. එහෙත් සිපිරි ගෙදර සිට ලියූ කවි ගීත, හෝ සිපිරි ගෙදරකට යන්නට සිදු වූ පුද්ගලයකුගේ හැඟීම් නිරූපණය වන නිර්මාණ පිළිබඳ අපගේ මතකය ඈත අතීත චිත්‍රපට ගීතයක්, සැබැවින්ම කවි ගායනයක් කරා දිව යයි. 1956 දී තිරගත වූ ඩිංගිරි මැණිකා චිත්‍රපටයේ පියදාස සිරිසේන විසින් රචනා කළ කවි පන්තියක් ගීතයක් ලෙස අපට ඇසේ. යුග ගායනාවක් වූ ඒ කවි ගායනා කළෝ ලතා සහ ධර්මදාස වල්පොලයි. රන් බණ්ඩාර හා ඩිංගිරි මැණිකා අතර වන කාව්‍යමය සංවාදය අවසන සිපිරි ගෙදර සිටින රන් බණ්ඩාර මැණිකේට මෙසේ කියයි.

සිහිලැල් දිය සෙ තෙපලන බස රසා වන

ගුණදුල් මගේ මැණිකේ දිගු ඇසා වන

කළුගල් දැවෙන ගිනි හද තුළ වසා ගෙන

කළුගල් තළමි දැන් මම නුඹ නිසා වෙන

සිරගෙදර සිටින රන් බණඩාර අත් විඳින සිර දඬුවම ද කවියා අපට පවසයි. මෑත කාලයේ අප ඇසූ ගීත කිහිපයකින්ම සිපිරි ගෙදර යන්නට සිදු වූවන්ගේ ආත්ම ප්‍රකාශන නිර්මාණ සේ ඉදිරිපත් වී තිබෙනු පෙනේ. සිපිරි මාලයේ ගීතය ලෙස හැඳින්වෙන සුනිල් ආරියරත්න ලියූ සුනිල් එදිරිසිංහ ඔවා දෙන ලෙස ගැයුණු මේ ගේය කාව්‍යය, සිව් පද ආකෘතියෙන් රචනා කළ කවියක් වැන්න.

මල්ලියෙ නරක මිතුරන් පිළිගන්න එපා

නංගියෙ නොහොබිනා කම් හුරුවෙන්න එපා

බෝගම්බර සිපිරි ගෙදරට එන්න එපා

හතුරෙකුටවත් මට වන් දුක වෙන්න එපා

මේ රැඳවියා කවි ලියන්නේ බෝගම්බර සිරගෙදර සිට බව ශ්‍රාවකයා දැන ගනී. සුනිල් එදිරිසිංහගේ වැලපිලි ශෝකී ස්වරය සුනිල් ආරියරත්න විසින් පරිකල්පනය කරන ලද, කවියේ අරුත හදට සමීප කරන්නකි. සුනිල් ආරියරත්න විසින්ම රචනා කරන ලද තවත් සිපිරි මාලයේ ගීයකින් විජය කුමාරතුංග ඉල්ලා සිටින්නේ කුමක්ද, අමතන්නේ කවුරුන් ද යන්න බලන්න.

දඟ ගෙයි දඬුවම් සියුමැළි වැඩි නම්

අලුගෝසුවනේ එල්ලාපන්

අලුගෝසුවනේ එල්ලාපන්

කටු ඉඹුලේ අප එල්ලාපන්

සනත් නන්දසිරි ගායකයා විසින්ම රචනා කොට මල්කාන්ති නන්දසිරි සමඟ ගැයූ මේ යුග ගීතය පෙර කී ගී අත්දැකීමට වඩා වෙනස් එකකි. පෝරකයට යන්නට නියමිතවී ඇති රැඳවියකු ස්වාමීන් වහන්සේ නමක් අමතා අවසන් මොහොතේ මෙසේ අසයි.

අනේ ස්වාමිනී මා ගෙලලන්නට ඉඩ නම් දෙන්න එපා

ගෙල වැලලූවොත් මගෙ මළකඳ අම්මට පෙන්වන්න එපා

ඇති දා ළඟවුන් මිතුරන් මතු සසරෙදි හමුවන්න එපා

නැති දා ළඟ හුන් බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න එපා

පුතු මරණීය දණ්ඩනයට නියම වූ දින පැමිණ සිටි මවගේ පිළිතුර හද කම්පාවට පත් කරයි.

බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ

දුක හිතිලයි මා හිරගෙට ආවේ පුතුගේ මරණ දිනේ

දුදනන් ඇසුරින් පරපණ නැසුවත් නුඹ මගේ පුතුය අනේ

මතු උපදින දා මගෙම පුතුවෙයන් හොඳ මිනිසකු ලෙසිනේ

මිනීමරුවකු වූවත් පුත්‍ර ස්නේහය මවකගේ හදවතින් මිය නොයන බව ගේය කාව්‍ය රචක සනත් නන්දසිරි පවසන්නේ අසන්නා තුළ කරුණ රසය උපදවමිනි.

සරසවියේ සිසු මාණවක මාණවිකාවන්ගේ ආත්ම ප්‍රකාශන කුරුටු ගී ලෙස ලියවෙන බව අපි දනිමු. කර්තෘ අඥාත එකී නිර්මාණ ලියවී මැකී ගොස් යළි යළිත් නව කුරුටු ගී ලෙස ලියවෙන බව ද පෙනේ. සරසවි උප සංස්කෘතිය තුළ කුරුටු ගී ලියවෙන ලෙසම, සිපිරි ගෙදර රැඳවියන්ගේ ජීවිතය තුළ වෙනස්ම ආකාරයේ උප සංස්කෘතියක් ගොඩ නැගී ඇති බව එහි නිලධාරීහු දනිති. කුමන හෝ වරදකට නීතිය ඉදිරියේ වරදකරුවන් වූ මේ පිරිස වයස 30-70 අතර සිටින්නෝය. අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ද සමත් පිරිස් අතර සරසවි අධ්‍යාපනය ලද්දන් ද උපාධිධාරීන් කිහිප දෙනෙක් ද සිටින බව කියැවේ. එහෙත් බහුතරය වැඩිදුර අධ්‍යාපනය ලැබූවන් නොවේ. පිරිසක් පාසල් ගොස් නැති අතර, ඇතැමුන් ලියන්නට කියන්නට නොදනී. වසර 200ක් තරම් ඉතිහාසයක් ඇති බන්ධනාගාර උප සංස්කෘතිය තුළ ඔවුන් විසින් තම වේදනාවන් කවියක් ලෙසින් ප්‍රකාශ කළ අවස්ථා ඕනෑ තරම් තිබී ඇත. අඟුරු කැබලිවලින් සිරගෙදර බිත්ති මත, වැසිකිළි බැමි මත, සිමෙන්ති පොළොවේ පඩි මත, ඔවුන්ගේ දුක ලියැවෙන්නට අැත. එහෙත් මෙලෙස සිරගත රැඳවියන් තුළ කිසියම් හෝ නිර්මාණශීලීත්වයක් වේ නම් එය මතුකොට ගැනීමට අවස්ථාවක් ඔවුනට ලබා දුනි නම්, ඔවුන්ගේ දුක, වේදනාව, කලකිරීම, පසුතැවීම කෙබඳු ද කියා දක බලා ගැනීමට මගක් පෑදෙන බව දත් බන්ධනාගාර නිලධාරියකු සිටීම සිපිරි ගේ පාමුල හමුවන කවීන්ගේ වාසනාවකැයි සිතමි. ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායක නම් වූ මානව හිතවාදී නිලධාරියාගේ දෑස් කුරුටු කවි ලෙස තැන තැන ලියැවුණු සිර කවියට යොමුවීමේ මහරු ප්‍රතිඵලයක් ලෙස සිපිරි ගේ පාමුල කවි එකතුව දකිමි. රැඳවියන් විසින් ලියූ කාව්‍ය නිර්මාණ 500ක් පමණ අතරින් තෝරාගත් කවි 100 න් යුත් සංග්‍රහයක් තුළ අපට සමාජය විසින් ,ඇතැම් විටෙක, ගෙදර දොර විසින් පවා අත්හැර දමන ලද, මිනිස් ජීවිත තුළ නිරන්තරයෙන් නැගෙන දුක් වේදනාවේ දෝංකාරය මේ කවිය තුළින් අපට ඇසෙන බව මට දැනිණ. අවුරුදු, 10,15, 20,30 නොව 100 ආදීවශයෙන් දඬුවම් ලබා සිටින ඔවුන් දින, සති, මාස, අවුරුදු පමණක් නොව තත්පර පවා ගනිමින් සිටින බව කියැවේ. සිරගත වූ සිතක හුදකලාවේ සිටින කල නැගෙන සංවේදනා දෙස දයාර්ද සිතින් බලන්නට කෙරුණු ඇරැයුමක් වැන්න මේ කවි එකතුව. කොළඹ වැලිකඩ සිරකරු සාහිත්‍ය කලා සංසදය විසින් සම්පාදනය කරන ලද, මේ කවි එකතුව සංස්කරණය කොට ඇත්තේ චන්දන ගරුසිංහ විසිනි. ඔහු අපූරු කවි ලියන්නෙක් ද වන බව මෙහි එන නිර්මාණ රැසකින්ම ඔප්පුවේ. සාහිත්‍ය කලා සංසදයේ ලේකම්, හේමන්ත ජයසිංහ ද කවියකු ලෙස අපට හමු වේ. නිර්ණාමික රැඳවියන්ගේ කවි අතර, නමින් කවි ලියූ ආනන්ද දසනායක, යූ. ආරියපාල, ජානක විජේසිංහ, චාමර පෙරේරා, වසන්ත බණ්ඩාර, ප්‍රදීප් ප්‍රියන්ත, අශෝක ශාක්‍ය, ජනක විජේසිංහ, වසන්ත වික්‍රමසිංහ, වෙරෝනිකා බොට්නි, ජයලත් බණ්ඩාර, ටියුරින් සිල්වා, එස්.කේ.ජයතිලක, දමිත නිලන්ත, ප්‍රදීප් ප්‍රියන්ත, තිලක් චමීර, එරංග ප්‍රදීප්, චන්දන ගරුසිංහ, අනුර වීරවංශ, ජනක බණ්ඩාර, මනෝජ් ජයසිංහ හා පළමු නම පමණක් සඳහන් විසාල පිරිසකගේ නිර්මාණ මෙම කවි සියය අතර වේ. රැඳවියන් අතර, කිවිඳියන් ද හමුවේ. සිපිරි ගෙදර ජීවිතයේ ඔවුන් අත්විඳින සුඛ, දුක්ඛ, සංවේදනා මෙන්ම, මව් ගුණය, බිරිඳ , දූ දරුවන් සිහි වී නැගෙන සංතාපය, වරද පිළිබඳ පසුතැවිල්ල, කලකිරීම වැනි දහසකුත් එකක්, වේදයිත සිපිරිගේ පාමුල කවියෙන් පෙනේ. සමස්තයක් සේ ගත් කල, බොහෝ අවස්ථාවන්හි දී සෑම කවියකින්ම තම පෞද්ගලික අත්දැකීම් ම කියැවෙන බවයි අපගේ හැඟීම.

සිපිරි ගේ පාමුල කවි අතර බහුතර නිර්මාණ සඳහා විෂය වී ඇත්තේ මව් ගුණය පිළිබඳ රචිත නිර්මාණයි. නිදහස් හෝ නිසඳැස් ආකෘතියෙන් ලියැවුණු කවි තිබුණ ද බොහෝ දෙනා විසින් සම්මත සිව්පද ආකෘතියම තෝරාගෙන ඇති බව පෙනේ. වාර්තාමය ලක්ෂණය, කාව්‍යාත්මක බවින් තොර භාෂාව, අත්දැකීම්හි නව්‍ය බවක් නොවීම මෙහි එන බොහෝ කවි තුළ පෙනේ. සිපිරි ගෙදරක සිරවී මනසින් දුක් විඳින, එතරම් උගත්කමක් හෝ සාහිත්‍යය පිළිබඳ මූලික දැනුමක් පවා නොමති පිරිසකගෙන් උසස් මට්ටමේ නිර්මාණ අපෙක්ෂා කළ යුතු නොවේ. එසේ වූවත් අපූරු අත්දැකීම් කවියට නගන්නට ගත් උත්සාහයන් වන බවට නිදසුන් සොයා ගත හැකිය. ඇත්ත කතාවක් රචකයා සොයිසාය. ඔහු දෙවසරක දඬුවමක් ලැබ වැලිකඩට එන්නේ ජනවාරි 11 වන දාය. ඔහුගේ බිරිඳ සඳුනිය. ඇගේ කර පාළු මකන්නට සොරකමක් කොට දෙවසරක සිර දඬුවමක් ලැබූවෙකි.

දිනය: ජනවාරි 11: ස්ථානය : අලුත්කඩේ උසාවිය

සඳුනි මගේ ආදරය - මගේ මුල් ආත්මය

කර පාළු නිසා ඇගේ - හොරකමක් කළා මම

දෙවසරක දඬුවමක් - රැගෙන වැලිකඩ යමි

සඳුනි:

මගේ හද මගේ ගත - ඉඳුල් කළ ප්‍රථම පෙම

යළිත් එනතුරා ඔබ - බලා ඉන්නවා මම

දෙවසරක් නම් මොකද - සසර වුව බලා ඉමි.

දිනය: ජනවාරි 12 ස්ථානය: වැලිකඩ විසිට් කාමරය

මම:

අනෙ සර් මගේ බිරිඳ - අපි බැඳලා මාසයයි

ගමේ කෙල්ලක් නිසා - ඇයට මෙය නුපුරුදුයි

තව ටිකක් දොඩමළුවෙන්න - අපිට අවසර දෙන්න

සඳුනී :

මේ සබන් දත් බෙහෙත් - මම කඩෙන් ණයට අරගත්තෙ

ගේ හරියෙ මොකුත් නෑ - උයන්නට හාල් වත්

මගෙ කඳුලුකැටවලට - නෑ කිසිම ලංසුවක්

හදවතේ කිසිවෙකුට - නෑ ඉඩක් ඉතිරි වී

හද පුරා නෙත පුරා - මැවෙන්නේ ඔබ රුවයි

සසර සැරිසරන තෙක් - ඔබ මගේ ! ඔබ මගේ !

නිලධාරිතුමා :

අඬවන්න එපා බං - අහිංසක ගෑනියෙක්

වෙච්ච දේ වුණා බං - දැන් ගෙදර යවාපං

උදව්වක් ඕන නම් - මෙන්න මගෙ නොම්මරේ

මටත් ඉන්නවා නංගිලා

ජනවාරි 13 ස්ථානය - චැපල් අංශය

කම්බිලිය බකට් එක - කාමරේටම එවලා

හරිම හොඳ මහත්තයා - කඳුළු දැක උණුවෙලා

අනේ වාසනාවන් - මේ වගේ මහත්වරු

දිනය :- පෙබරවාරි 12 - වැලිකඩ විසිට් කාමරය

අම්මා නම් ආවා ඇතුළට - සඳුනි පිටුපසින් නැත

ඉස්සිලාත් බැලුව මම - දකින්නට ආස මට

සඳුනිගේ සුදු මූණ - ඈ තමයි මගේ පණ

අම්මා :

“කවුද ඒ මහත්තයා - කීප දොහ ආ ගියා

හිරගෙදර උඹ ණයලු - හිලව්වට ඈ ගියා

ගිය එකම හොඳයි බොල - තවම එක මාසෙ නොවැ ?“

තේරුණා දැන් මෙමට - උණු කඳුළු ලංසුවට

කම්බිලිය බකට් එක - ගැළපුවා කදිමටම

හරිම හොඳ මහත්තුරු - හරි ෂෝක් මහත්තුරු

නොපතන් වාසනාවන් - මේ වගේ මහත්තුරු

මේ රැඳවියා ඇත්ත කතාවක් යනුවෙන් නම් කොට රචනා කොට ඇති මේ නිර්මාණය සඳහා නාටකීය අවස්ථාවක් ගොඩ නැගීමට උචිත ආකෘතියක් තෝරා ගනී. එක් මසක් ඇතුළත ඔහුට අත්විඳින්නට , මුහුණ පාන්නට ලැබෙන ශෝකජනක අත්දැකීම යටින් කියැවෙන කතාන්දරය පාඨක සිත සසල කරවයි. කුලසේන ෆොන්සේකගේ පාලම යට නවකතාවේ ජවනිකාවක් ද සිහියට නංවන මේ කවියේ අත්දැකීම තුළින් කවියා සතු නිර්මාණශීලී ගුණය කැපී පෙනේ. විවාහක රැඳවියන් බොහෝ දෙනාගේ නිර්මාණ තුළින් කියැවෙන්නේ ගෙදර සිටින බිරිඳ, දරුවන් සිහිවීම, නොවේ නම් බිරිඳ විසින් එවූ ලිපියකින් ඔහු විඳින වේදනාව වැනි සියුම් වේදනාවන්ය. හිමියකු සිරගත වූ පසු එවන් බිරිඳක් දෙස උකුසු ඇසින් බලා වසඟයට ගැනීමට තැත් කරන්නෝ එමටය. යූ ආරියපාල කවියාට බිරිඳගෙන් ලැබෙන ලිපියක එවැනි දේ ගැන සඳහන් කරන අතරේම, ඈ සිතෙහි ඔහු පිළිබඳ මතු වන සැක සාංකා ද කවියට නගයි.

වැඩ පොළෙ යහළුවන් නම් හරි කරුණාවයි

ඒ කරුණාව ටික දෙනෙකුගෙ හරි අමුතුයි

අමුතුම කරුණාව කොහොමත් භයානකයි

ඉන් ගැළවෙන්නෙ දාගෙන හොඳ හිනාවකුයි

හිමියනි ඔබට ඒ කරදර නැහැ නේද

සිරකාරියන් ළඟ පාතක පේනවද

පෙනුණත් ඔබගෙ සිත යන්නේ නෑ නේද

ඉන්දුගෙ මුහුණ එතකොට සිහි වෙනවාද

සිපිරි ගේ පාමුල කවි එකතුව තුළින් සිපිරි ගෙදරක් තුළ ජීවත්වන සංවේදී ගහැනුන් මිනිසුන් දකිමි. ඔවුන්ගේ ජීවන තතු මේ ලෙසින් ලොව හමුවේ තැබීමට තරම් සංවේදී මනසක් සතු වූ නිලධාරී නිල ඇඳුමින් තම ගත වසා නොගත් සුන්දර මිනිසුන් හිඟ මෙවන් අවදියක, චන්දන ඒකනායක වැනි සොඳුරු මිනිසුන් දකින්නට ලැබීම බන්ධනාගාරයේ රැඳවියන්ගේ මෙන්ම රාජ්‍ය සේවයේ ද, විශේෂයෙන් බන්ධනාගාරය වැනි සේවාස්ථානයක ද වාසනාවක් ලෙස සලකමි. ජනතාවගේ ආදරයෙන් ඈත්ව ඇති, පොලීසිය, සෞඛ්‍ය සේවාව, වැනි මහජනතාව හා සෘජුව ගනුදෙනු කරනු ලබන ආයතන තුළ වඩ වඩාත් චන්දන ඒකනායකලා බිහිවේවායි පතමි. සරසවි ප්‍රකාශනයක් වන සිපිරි ගේ පාමුල කියවා එහි හමුවන රැඳවියන්ගේ දුක් සුසුම , කඳුළ, වේදනාව, හඳුනාගනිමු.

බුද්ධදාස ගලප්පත්ති

නව අදහස දක්වන්න