ශිෂ්‍යත්ව උණ | දිනමිණ

ශිෂ්‍යත්ව උණ

‘‘දැන් නම් හැමෝගෙම උණ සනීපයි නේද ඇම්බන් මහත්තයා...? “ කියා උන්නැහේ ඇසුවේ උදේ තේ බොන ගමන්ය.

‘‘ ඩෙංගු ගැනද උන්නැහේ කියන්නේ? එහෙමම සනීපයක් තියෙනවා කියලා මට නම් හිතෙන්නේ නෑ... තාමත් ඔය තැන් තැන්වල ඩෙංගු රෝගීන් හමු වෙනවා නේ...“ කියා ඇම්බන් මහත්තයා කීවේය.

‘‘ නෑ... මං කිව්වේ ඩෙංගු උණ ගැන නෙවෙයි ඇම්බන් මහත්තයා... මං කිව්වේ මේ ශිෂ්‍යත්ව උණ ගැන...“ කියා උන්නැහේ කීවේ කොචොක් පාරක් දාමිනි.

‘‘ ඇත්තට එහෙමත් උණක් තියනවාද උන්නැහේ... ශිෂ්‍යත්වේ කියන්නේ උණක්ද? දැන් ඉතින් උණ සනීපයිද? “ කියා ටොම්සන් මහත්තයා ඇසුවේ උන්නැහේගේ කතාවේ නොපිට තේරුම ගැන අවුස්සමිනි.

‘‘ සනීපයි තමයි... ඇයි ඉරිදා ශිෂ්‍යත්ව විභාගේ තිබ්බානේ... අනේ ඉතින් අපේ අහිංසක දරුවෝ... අර කතාවක් තියෙනවා නේ මරාගෙන කනවා කියලා... මේ අහිංසක ළමයි ටික මරා ගෙන කෑවේ නැති තරමයි... පුළුවන් නම් මුං ඒ ටිකත් කරනවා...“ කියා උන්නැහේ කීවේ තරමක කෝපයෙනි.

‘‘ මුං කීවේ කාටද උන්නැහේ....? “ කියා ටොම්සන් මහත්තයා ඇසුවේ ඒක නම් තේරුණේ නැති හින්දාය.

‘‘ ඇයි ටොම්සන් මහත්තයා... මේක මේ අහිංසක ළමයින්ගේ ඉගෙනුමේ තියෙන එක විභාගයක් නේ... ඒ වුණාට මුං ඔක්කොම වට වෙලා ළමයි ටික කෑවේ නැතිවා විතරයි නේ... මුං කියන්නේ මුං ඇට නෙවෙයි ටොම්සන් මහත්තයා... මාර විදිහේ ගුරුතුමාලා ගුරුතුමීලා ටිකක් නේ පහු ගිය දවස්වල නාට්‍ය රඟපෑවේ... ඒවා ඉස්සරහට අරන් ගියේ අර ගුවන් විදුලි නාලිකා... තව පත්තර... හැම සති අන්තෙම කොහේ හරි පන්සලක් අල්ලා ගෙන ළමයින්ට ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ... මොන විකාරද ටොම්සන් මහත්තයා මේ අහිංසක ළමයි ලොකු ශාලාවකට දාලා සම්මන්ත්‍රණ තියන්නේ... ළමයින් නිකම් අර සෙක්කුවේ දාලා කරකවනවා වාගේ... පොල් දාලා කැරකෙව්වාම තෙල් එනවානේ.. ඒ වාගේ තමයි. ඉතින් ගුවන් විදුලි නාලිකාවලින් පත්තරවලින් ඔන්න කියනවා අහවල් දවසේ අහවල් පන්සලේ අහවල් ඉස්කෝලේ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක්... ඉතින් අම්මලා තමන්ගෙ දරුවෝ දක්කා ගෙන යනවා එතෙන්ට... අනුග්‍රහය අර තේවලින් මේ බිස්කට්වලින්. මේක එහෙම පිටින්ම බිස්නස් එකක් නේ ටොම්සන් මහත්තයා... ටොම්සන් මහත්තයා දන්නවද මේ සැරේ ශිෂ්‍යත්වෙට පෙනී හිටිය සංඛ්‍යාව...? “

‘‘ හැබෑට කොච්චරක්ද? ‘ කියා ඇම්බන් මහත්තයා ඇසුවේය.

‘‘ සිංහල මාධ්‍යයෙන් දෙලක්ෂ හැට හත් දාහයි. දෙමළ මාධ්‍යයෙන් අසූ හත් දහස් පන්සීයයි. නිකම් හිතන්නකෝ මේ බිස්නස් එකේ තරම කොච්චරද කියලා...“

‘‘ ඉතින් අපි මොකද කරන්නේ උන්නැහේ... මේක මේ අම්මලාගේ විභාගයක් නේ... ‘‘ කියා ඇම්බන් මහත්තයා කීවේය.

‘‘ මොන පිස්සුද ඇම්බන් මහත්තයා... මේක අම්මලාගේ විභාගයක් කෙරුවේ ඔය බිස්නස්කාරයෝ ටික තමයි. නැතිනම් අම්මලා ඔය තරම් මැරෙන්නේ නෑ... නිකම් හිතන්නකෝ ඔය ශිෂ්‍යත්ව ටියුෂන් කෙරුවාව කොහොමද කියලා.. හැම නගරෙම.. හැම ගහක් ගලක් ගානෙම පහුගිය කාලේ ශිෂ්‍යත්ව පන්ති... ආයේ මොනවද ඒ පන්තියකට ගියොත් පාස්ම තමයි... නිකම් දැක්කද පෝස්ටර් විතරක්... ඉතින් අම්මලා පිස්සු වැටෙන එක අහන්න දෙයක්ද? මේක මේ ඉස්කෝලෙන් කරන ඉගෙන ගැනිල්ලක් නම් මේ වගේ පිස්සුවක් ඇති වෙන්නේ නෑ නේ... ‘‘ කියා උන්නැහේ කීවේය.

‘‘ අනේ මන්දා උන්නැහේ... ඕවා කියන්නේ නැතිව ඔය නැකැත් ටිකක් හදලා... එය ශිෂ්‍යත්වෙ පාස් වෙන්න කියා බෝධි පූජා ටිකක්. එහෙම නැතිනම් විශේෂ දේවාශිර්වාදය ලැබෙන වැඩ සටහනක් කෙරුවා නම් හොඳ ගානක් හොයා ගන්න තිබුණා. ‘‘ කියා ටොම්සන් මහත්තයා කීවේ කොචොක් පාරක් දාමිනි.

‘‘ මටද කියන්නේ ටොම්සන් මහත්තයා... අහිංසක ළමයි බිල්ලට අරන් සල්ලි හොයන්නේ මොකටද ටොම්සන් මහත්තයා...? අනික දැක්කද පහුගිය දවස්වල පත්තරවල තිබුණු නැකැත්... උදේට පිටත් වෙන්න... ලියන්න පටන් ගන්න. පෑන්වලට ආශිර්වාද කරන ඒවා... ගුවන් විදුලි නාලිකාවලින් වෙනම නැකැත්... කිසි එකෙක් නෑ නේ... මේක ගැන කතා කරන... අවුරුද්දක් තිස්සේ ළමයි මරා ගෙන කන්න දීලා... විභාගේ කිට්ටු වෙන කොට සතියක් විතර ඔය පන්ති තහනම් කරනවා. ඇයි අත දරුවා කාලේ ඉඳන් ශිෂ්‍යත්ව පන්ති තිබුණා කියලා දන්නේ නෑ නේ.. “ කියා උන්නැහේ බොහොම හිතේ අමාරුවෙන් කීවේය.

‘‘ ඕකේ තේරුම මේකයි උන්නැහේ... මේවා මේ එක පැත්තකට අවිද්‍යාව ජනසතු කරන්න මාධ්‍ය එකතු වෙච්චි, දරුවන්ගේ අහිංසකකම බිල්ලට ගත්තු බිස්නස්කාරයින්ගේ වැඩ... පහේ ශිෂ්‍යත්වෙ ලියන ළමයින්ට ඡන්ද අයිතිය දුන්නා නම් ඔන්න මොකක් හරි වෙන්න තිබුණා... කරුමෙට ඡන්ද අයිතිය ලැබෙන්නේ පහේ පන්තියේදි නෙවෙයිනේ... නැද්ද මං අහන්නේ... “ කියා ටොම්සන් මහත්තයා සිනහසුණේය.

බන්දුල පී දයාරත්න


නව අදහස දක්වන්න

Or log in with...