අන­තුර | දිනමිණ

අන­තුර

කඩතොළුවී ගිය පාරට පවා සිරියාවක් එක්කරන්නේ දෙගොඩතලා ගලා යන ඇළය. ඇළ අද්දර මාර ගස් පමණක් නොව ඉන් ඔබ්බෙහි අඩි පාර හා වෙල් යායද මේ පුළුල් අවකාශයේ සැරිසරන අනේක අපා දෙපා සිව්පා සතුන්ද ප්‍රමෝදයෙන් මන්මත් කරවන්නේද ඒ සුනිල දිය දහරයි. සියල්ල සන්සුන් හා සාමකාමී බව හැඟී ගියෙන් සිත වෙළාගත් සහනය බිඳ දමමින් එක්වරම නැඟි උස් හඬින් තැති ගතිමි. වේදනාත්මක විලාසයෙන් සැඟවගත් ‍ඒ හඬ වටහාගන්නට වෑයම් කරමින් මම පාරට දිව්වෙමි. ඒ අන්තරාදායක හඬ ඇසුණු හැම අයෙක්ම අතනින් මෙතනින් පාරට දිව ගියහ.

“ළමයෙක්ද කොහෙද හැප්පෙන්ඩ ඇති මෝටර් සයිකලේක” යි වේදනාවෙන්ද කෝපයෙන්ද කියා සිටියේ දරුවන්ගේ පියාය. සැණින් මට සිහිපත්වූයේ කෙළිදෙලෙන් පසුවූ නිවුන් පුතුන්ය. ඔවුන්ගෙන් එකෙකු අනතුරට ලක්වී දැයි සැකයෙන් මගේ සියොළඟ ගිනිගෙන ඇවිලිණි.

“දෙයියනේ... අපේ එක්කෙනෙක්ද දන්නෙ නෑ...” යි මට කියවිණ.

“අපේ උං වුණත් කරන්න දෙයක් නෑ. ඉවක් බවක් නැතුව පාරෙ යනකොට ඔහොම දේවල් වෙනවා තමා.”

දෙපා අප්‍රාණිකව ගියද මම පාරට දිව්වෙමි. අනතුර සිදු වූ ස්ථානයට වැඩි දුරක් නැත. පේනමානයේය. දැනටමත් වටව හිඳින පිරිස හේතුකොටගෙන කිසිවක් නොපෙනේ. මගේ දරුවා නොව කවර දරු‍වකු වුවද අනතුරකට ලක්ව සිටින අන්දම දකින්නට තරම් ධෛර්යයක් එක්රැස් කරගත නුහුනුව පමා වීමි. පිම්මේ දිව යා යුතු මොහොතක මෙලෙස තැවි තැවී හිඳීම කුමන අනුවණකමක්දැයි දොස් පවරාගනිමින් මම පාරේ පහළට ගමන් කළෙමි.

කිසිවකු යතුරුපැදියේ ගැටී නැත. යතුරුපැදිකරු පාරේ වළක් මගහරින්නට යාමෙන් බිම ඇදවැටී ඇතුවා මිසක හිස් ආවරණයක් පැළඳ නොසිටි බැවින් හිස තදින් පාරේ වැදීමෙන් සිහිසුන්ව ලේ ගලන තුවාලකරු වටා එක් රොක්වූ පිරිස හැඟීම් දැනීම් නොමැති හුදු රොබෝයන්ත්‍ර මෙන් බලා සිටිති. වහා රෝහල්ගත කරන්නට සිතන්නට හගින්නට අනලස්ව ක්‍රියා කරන්නට මේ මිනිසුන් උත්සුක නොවන්නේ මන්දැයි මම විමතියෙන් කල්පනා කළෙමි.

“අහක යන කරදර ඇ‍ඟේ දාගන්නෙ මොන එකකටද?”

“පොලිසි උසාවි ගානෙ බඩගාන්ඩ බෑ අප්පා...”

“අන්තිමට උදව් කරන මිනිහා තමා වැරදිකාරයා වෙන්නෙ.”

“කරුමෙ. එක එක්කෙනාගේ කරුමවලට අපි කර ගහන්නෙ මොකටද?”

පාරේ ඇදවැටී ලේ ගලන මිනිසාට උපකාර නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කළහොත් එබඳු පිළිතුරු ලැබෙනවා නිසැකය.

නිර්වින්දනය වූ සමාජයක් තරම් බිහිසුණු හා අනතුරුදායක තවත් යමක් මෙලොව ඇත්දැයි සැක සහිතය. එවන් සමාජයක කිසිවකුට තවත් අයකු වෙතින් සුළු හෝ උපකාරයක් අපේක්ෂා කළ නොහැක. අනෙක් අතට පොදුවේ සමාජයට දෝෂාරෝපණය කිරීමද අයුක්තිසහගතය. උදව්වට ඉදිරිපත් වූ මිනිසා පීඩාවට පත්වන යාන්ත්‍රණයක් තුළ තම තමාගේ වැඩකටයුතු බලා කියා ගනිමින් කටුව තුළට වැදුණු ඉදිබුවන් මෙන් හැසිරීම පිළිබඳව පොදු ජනතාවට දොස් පැවරිය නොහැක.

ත්‍රිවිලරයක් වේගයෙන් ආවේය. තුවාලකරු එයට නංවාගත් ඉලන්දාරියා වෙනකකු නොවේ මගේ දෙවැන්නාය. ඔහුගේ මිතුරකුද ඔහුට සහාය වීය. දෑසට නැගි කඳුලින් සියල්ල බොඳව ගියේය.

“අම්මේ පොඩි අයියගෙ ටීෂර්ට් එක ගන්න දෙයක් නෑ.“ බඩපිස්සා කේලම් කියන්නට පටන්ගත්තේ දවස නිමා වෙන්නාහාමය.

ලේ ගෑවිලා අම්මේ සේදුවට නම් යන එකක් නෑ. විසිකරන්ඩ තමා වෙන්නෙ. පුංචි පුතාද සිය නිවුන් සහෝදරයාට උල්පන්දම් දෙයි.

ඒ එක්කෙනාගෙ ඔළුවෙ තුවාලෙට තියාගෙන ගිය ලේන්සුවක් ලෙසට තෙමුණ නිසා විසිකරල දැම්මලු පොඩි අයියා.”

මද්දු තවත් තොරතුරක් අනාවරණය කළේය.

ටීෂර්ට් එකකටයි ලේන්සුවකටයි වඩා කොච්චර වටිනවද ළමයිනේ මනුස්ස ජීවිත‍යක්”යි මා කීවේ සැනසුම් සුසුමක් හෙලමිනි.

“වටවෙලා හිටියනෙ අම්මෙ ලොකු ලොකු මාමලා. ඒත් ඉතිං අර බයික් එකෙන් වැටිච්ච කෙනාව උස්සගෙන ඉස්පිරිතාලෙ එක්කාගෙන ගියේ පොඩි අයියලනේ.

නිවුන් පුත්තු විමතිය පළ කරති.

“ඔක්කමලා එකතුවෙලා පොඩි අයියලාට අප්පුඩියක් ගහන්න ඕන. දෙයක් වුණාට පස්සෙ වටවෙලා බලා ඉන්න එකවත් ෆොටෝ ගන්න, වීඩියෝ කරන එකවත් නෙමේ මනුස්සකම. මනුස්සයෙක් මනුස්සයෙකුට උදව් නොකරනවානම් විපතකදී ඒක උතුම් මනුස්සත්වයට කරන නිගාවක්.”

කොල්ලෝ සිය සොහොයුරා වෙනුවෙන් අත්පුඩි ගැසූ අතර මම ඔහු වැළඳගතිමි.

“මගෙ හොඳ පුතා. මාරක තුවාලයක් නැතත් පැය ගාණක් පාරෙ වැටිල හිටිය නම් ලේ ගිහිල්ලම ජීවිතේට අනතුරක් වෙන්න තිබ්බනේ. පුළුවන් හැම වෙලාවෙම තව කෙනකුට උදව්වක් කරන එකෙන් තමා ඕනම කෙනෙක්ගෙ ජීවිතයට වටිනාකමක් හා සැබෑ ලස්සනක් එකතු වෙන්නෙ.

මගේ ඉලන්දාරියා පෑ සිනාවේ විළිබර බව සමඟ දැවටී තිබූ සොම්නස කොපමණ සොඳුරු වී ද.

ශාන්ති දිසා­නා­යක

නව අදහස දක්වන්න