මචාදෝ සමඟ ස්පාඤ්ඤ කවි ලොවට | දිනමිණ

මචාදෝ සමඟ ස්පාඤ්ඤ කවි ලොවට

මෙලොව වෙසෙන කාව්‍ය ප්‍රේමී ජනයා අතර ස්පාඤ්ඤ කිවිවර හා නාට්‍ය රචක ෆෙදෙරිකො ගර්සියා ලෝර්කා ගැන නොදන්නා අයෙකු නැති තරම්ය. යෙර්මා, හවුස් ඔෆ් බර්නාදු ඇල්බා, බ්ලඩ් වෙඩින් ආදී ලෝර්කාගේ දෘෂ්‍ය කාව්‍යයන් සිංහලට ද නැඟී වේදිකාගතව ඇත. ස්පාඤ්ඤ සිවිල් යුද සමයේදී 1936 අගෝස්තු 19 හෝ 20 වෙනි දින රාත්‍රියෙහි ලෝර්කාගේ නිවසට කඩාවැදුණු, ආඥාදායක ෆ්‍රැන්කෝගේ සෙබළු ඔහු සොහොන් බිමකට ගෙන ගොස් වෙඩි තබා ඝාතනය කළහ. (මෙහිදී මට ප්‍රේමකීර්ති ද අල්විස්ගේ මරණය සිහියට නැ‍ඟෙනුයේ නිරායාසයෙනි.)

එවකට ලෝර්කාගේ වයස අවුරුදු 38 කි. ඒ කෙටි ජීවිත කාලය තුළදී ඔහු කළ නිර්මාණ - ගැදි, පැදි, නාට්‍ය අදත් ලෝකයා රසවිඳිති. අගයති. ලෝර්කාගේ සමකාලීන කවියෙකු වූ අන්තෝනියෝ මචාදෝ, ඔහු ඝාතනය පිළිබඳව දැඩි ලෙස කම්පා විය. ‘ප්‍රෙදරීකෝ‘ මැයින් ඔහු ලියූ මෙකව තුළ, ඔහුගේ සෝ සුසුම් ‍තවමත් නිනද වෙයි.

තුවක්කු බයිනෙත්තු

එල්ල කර ගත් සොල්දාදුවන් මැද,

පාළු වීදියක් දිගේ

ප්‍රෙදරීකෝ

පා නඟන හැටි

දුටුවා මම.

හිමිදිරි පාන්දර

අහසේ තරු එළි නිවෙද්දී

අමු සොහොනක් වැනි පාලු බිමක් වෙත

ප්‍රෙදරීකෝ ගෙන ගියා

 

අඳුර පහ වී

හිරු අහසේ නැ‍ඟෙද්දී

ප්‍රෙදරීකෝ

ඔවුන් ඔබ මරා දැමුවා

 

ඔබගේ අහිංසක මුහුණ දැකලා

මිනීමරු බල ඇනිය

වෙව්ලන දෑතින්

ඇස් වසා ගත්තා

‘දෙවියන්ටත් බෑ ඔබ බේරා ගන්නට‘

උන් දෙවියන් යැදුවා

උන්ගේ තුවක්කු වැරෙන් අල්ලා

වෙඩි තිබ්බා

 

ප්‍රෙදරීකෝ

මැරී වැටුණා

ලේ විලක් මැද

 

සිහින් නළලින් ලේ ගලනවා

මොලොක් මස්, ලේ, නහර තුළ

ඊයම් බරු පාවෙනවා

 

ඔහු මරා දැමුවේ, ග්‍රානදාවේ

ඔහු උපන් ග්‍රානදාවේ

ඔහු ආදරය කළ ග්‍රානදාවේ

අසරණ මව් වැනි ග්‍රානදාවේ

මේ කව මා උපුටා ගත්තේ 1975 දී රංජිත් ගුණවර්ධනයන් විසින් පළකළ ‘බුද්ධිමතුන්ට උපහාරය‘ නමැති මචාදෝ කවි එකතුවෙනි. ඔහු එකලම පැබ්ලෝ නෙරූදාගේ කව් එකතුවක් ද සිංහලට පෙරළා ‘ඊයේ පිපුණු ලයිලැක් මල්‘ නමින් ප්‍රකාශයට පත් කළේය. මචාදෝ සහ නෙරුදා ගැන යම් තරමක අවබෝධයක් ලබන්නට එකල අපට ඒ පරිවර්තනයන් ප්‍රයෝජනවත් විය.

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යාලංකාර මණ්ඩපයේ ඉංග්‍රීසි අංශයේ සහකාර කථිකාචාර්යවරයෙකුව සිටි රංජිත් ගුණවර්ධන ස්පාඤ්ඤ හා ප්‍රංශ භාෂා පිළිබඳව ද ප්‍රමාණාත්මක දැනුමකින් යුතුව සිටි හෙයින්, ඔහු ඒ කව් පරිවර්තනය කළේ මුල් බසින්මය. ප්‍රංශ භාෂා ගුරුවරියක වූ ඔහු බිරිය ද, ප්‍රංශ පරිවර්තනවලදී උපකාර කළාය.

එහෙත් ‘බුද්ධිමතුන්ට උපහාරයක්‘ පද්‍ය සංග්‍රහයේ එන කව් බොහෝමයක්, රෙජී සිරිවර්ධනයන් විසින් ඉංග්‍රීසියෙන් පළ කළ ‘Many Voices‘ නම් ග්‍රන්ථයේ එන පරිවර්තන ඇසුරින් සිංහලට නැඟූ බව, ගුණවර්ධනයන් සිය හැඳින්වීමෙහිලා පවසයි. එසේම මෙම කෘතිය සඳහා ම මචාදෝගේ කව් තුනක්, සිරිවර්ධනයන් විසින් ඉංග්‍රීසියට නඟන ලද බව සඳහන් කරයි. රෙජී සිරිවර්ධන ද ඉංග්‍රීසි, රුසියන් හා ස්පාඤ්ඤ භාෂා දැන සිටි වියතෙකි.

70 දශකය තුළදී, රංජිත් ගුණවර්ධනයන් පළකළ නෙරූදාගේ සහ මචාදෝගේ කාව්‍ය සංග්‍රහය දෙකම නැවත මුද්‍රණය වූයේ නැත. (මම ඒ පිළිබඳව ඔහුගේ පුත්‍රයා වන ප්‍රතිභාපූර්ණ, තරුණ සංගීතවේදී ඉන්දික ගුණවර්ධනයන්ගේ අවධානයට යොමු කළෙමි.)

1936 දී ෆ්‍රැන්සිස්කෝ ප්‍රන්කෝ නමැති සෙන්පතියාගේ නායකත්වය යටතේ ස්පාඤ්ඤයේ පැසිස්ට්වාදී කණ්ඩායම එකල බලයෙහි තිබූ ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවට විරුද්ධව කැරැල්ලක් ඇරඹීය. ප්‍රන්කෝට ස්පාඤ්ඤයේ විශාල ඉඩම් හිමියන්ගේද, කර්මාන්ත හිමියන්ගේද සහාය ලැබිණි. මෙහිදී සමූහාණ්ඩුවාදී ස්පාඤ්ඤ ජනකොටස් කතා කිරීමේ හා ජීවත්වීමේ නිදහස වෙනුවෙන් ප්‍රන්කෝ හමුදාවට එරෙහිව සටන් වැදුණහ. මෙහිදී යුරෝපයේ වෙනත් රටවලින් ද බුද්ධිමතුන්, කලාකරුවන් හා මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින තරුණ පිරිස්, ඔවුන්ගේ සහායට පැමිණියහ. වසර තුනක් දිග්ගැස්සුණු මේ සිවිල් යුද්ධයේදී තම නිදහස ජීවිතයටත් වඩා අගය කළ ස්පාඤ්ඤ ජාතිකයන් බොහෝ දෙනෙක් පැසිස්ට්වාදීන් අතින් කෲර ලෙස ඝාතනය කෙරුණි. ඉන් කෙනෙකු වූ ගර්සියා ලෝර්කාගේ මරණය පිළිබඳව මචාදෝ මෙන්ම ලොව පුරා වෙසෙන තවත් කවීහු නිර්මාණ කළහ. අපගේ එරික් ඉලයප්ආරච්චි කවියා ද ‘කිසිවෙක් කවියන් නොමරති‘ යැයි පළකළ අගනා කව් එකතුවෙන් ගාර්ෂියා ලෝකා ද ඇමතුවේය.

කිසිවෙකු වෙඩි නොතබන බව කවියන්ට

කියූ බස ඔබ, බොරු විය ඔබට ම

 

බොරු කී ඔබට උන් දුන් දඬුවම

වෙඩි තැබීමයි ඔබේ මිදිවැල යටම

 

උන් වෙඩි තැබී කවියට

බර වැඩි බැවින් දිවියට

ගල් ගසන විලස දරුවන්

නිම් නැති විසල් සයුරට

 

කිසිවෙකු වෙඩි නොතබන බව කවියන්ට

කියූ බස බොරු විය ඔබටම

 

උන් වෙඩි තැබී ඔබ හට

තව තවත් උණ්ඩ වැය කර

සිටියේ ඔබත් ඔබ තුළ

කවියක් මැවෙන සෙවණක

ඝාතක මනස රස බොන තිබ්බා ඔබේ කවියට

මිය යන විටය වෙඩි වැද ලීවේ පදය අන්තිම

ස්පාඤ්ඤ කවිය යනු නිම්වළල්ලකින් තොර විසල් සයුරක් බඳුය. එය තරණය කරන්නට තැත් කරන්නෙකුට හමුවන මහ පහන් ටැඹකි අන්තෝනියෝ මචාදෝ. දර්ශනය හා ප්‍රංශ භාෂාව හැදෑරු ඔහු, ජරාවාස වෙමින් තිබූ ගම්මානයක පිහිටි පාසලක ප්‍රංශ ගුරුවරයා විය. වියළි වැලි කතරක් බඳු වූ, සෝරියාව නම් වූ ඒ පෙදෙසෙහි පාලු, නිසල, මලානික පරිසරය ඔහුගේ කවි කෙරෙහි තදින් බලපෑවේය. ‘සෝරියාව‘ මැයින් මචාදෝ ලියූ කව, ගුණවර්ධනයන් මෙසේ සිංහලට නඟයි.

සෝරියාවේ වෙල්යායකි

ඔබ මා යන හැම ගමනකදී ම

මා සමඟින් යනවා

ඔබේ නිසසල හවස් යාමයන්

දම්පාට කඳු යායයත්

ගංගාව අද්දර පොප්ලා ගොන්න

නිරතුරුව මා ළඟින් ඉන්නවා

 

මතක සිහිනයක පිරුණු මුදු පහස

ගලා එනවා

ඔබේ අළු පෑ පසෙන්

දුඹුරුවන් පොළෝ තලයෙන්

 

ජරාවට ගිය ඔබේ කුඩා නගරය

ගෙනෙනවා

හද පසා කරන සෝකයක්

මා හද තුළට ඔබ පිවිසුණෙ දැන් ද?

නැත්නම්

මා හද පතුලේ

ඔබ සදහටම ලැගුම්ගෙන සිටියාවත් ද?

මචාදෝගේ ජීවිතයේ ඉතාම දුක්බර සිදුවීම වූයේ ඔහුගේ ආදරණීය බිරිය වූ ලියනෝර්ගේ අකල් වියෝවයි. ඒ වන විට ඔවුන් විවාහ වී වසර තුනකි. මචාදෝගෙ කවි බොහොමයක එම විරහ වේදනාව පිළිබිඹු වෙයි. ‘අද උදෑසන සුළඟ ඔබේ නම ගෙන ආවා‘ මැයින් ඔහු ලියූ කවෙන් කොටසකි මේ.

හුළඟ අද උදෑසන

ගෙනාවා ඔබේ නම

ඔබේ පා හඬ

කඳු අතරේ රැව් දෙයි

පල්ලිවල මලානික කුලුනුවල

සීනු නාද වෙයි

නුදුටුවත් ඔබේ රුව

ඔබ එනතුරු මහද බලා සිටී

සීනු හඬ සිහි නංවයි

කළු මිනී පෙට්ටිය

වළ කණින උදළු හඬ

මළ සීනු රාවය

පැසිස්ට්වාදීන්ගේ ජයග්‍රහණයත් සමඟම මචාදෝ තම මව්බිම අතැරදා ප්‍රංශයට පලා ගියේය. එහෙත් දින කීපයකට පසු ඔහු හෘදයාබාධයකින් මිය ගියේය. ඔහු තම සොහොයුරාත් සමඟ ප්‍රංශය හා ස්පාඤ්ඤය අතර වූ කඳුවැටියක් හරහා පාගමනින් ගිය බවත්, ඉන්පසුව මරණය සිදු වූ බවත් ඇතැම් වාර්තාවන්හි සඳහන්ව ඇත.

ස්පාඤ්ඤ භාෂාව හදාරා ඇති ඉන්ද්‍රානි රත්නසේකර, ස්පාඤ්ඤ කවිය ශ්‍රී ලාංකික කව් ලොවට හඳුන්වාදීම සඳහා විශාල මෙහෙවරක් කළාය. ඇගේ පරිවර්තන කෘතීන් අතර මහා කවි අන්තෝනියෝ මචාඩෝ (2004), මහා කවි ෆෙඩ්රිකෝ ගර්සියා ලෝර්කා (2006), මහා කවි ගස්තාවෝ ඇඩොල්ෆො බෙකෙර් (2008), විශ්ව සාහිත්‍යයේ ස්පාඤ්ඤ පිළිබිඹුව (2010), අවිය හා කවිය (2012), සුසුම් සුළං මේ සුළඟටම මුසුවෙනා (2014) වැනි කාව්‍ය පරිවර්තන හා පුවත්පත් ලිපි එකතු ද වෙයි.

ගර්සියා ලෝර්කා, ‘මචාඩෝගෙ කවි පොතට උපහාරයක්‘ මැයින් ලියූ කවක් ඉන්ද්‍රානි රත්නසේකර මෙසේ සිංහලට නැඟුවාය.

කවිය යනු

තිත්ත රසයෙන් පිරුණු

දිව්‍යමය පැණියක් ය

පුවරුවක් මත ගලන

අදෘශ්‍යමාන වූ

ආත්ම නිපදවන

 

සත්‍ය වූ කාව්‍යය

පෙරළයි නොහැකි දෑ

හැකි දේවල් බවට

වීණාවක්ය එය

හද නමැති ‍තත් තිබෙන

 

විටෙක ගිනිදැල් නඟන

දිවි නැව නොකළඹා

පදවනු ඇතැයි සිතමින්

කාන්සාවෙන් ගෙවන

ජීවිතය වෙයි කවිය

 

යන්නෙමි ඉතිරිකොට මගේ මුළු ආත්මය

සබඳ ඔබෙ කවි පොතේ

පිටු පුරා හමුවෙනා දසුන් හැම

අප එක්ව දුටු දේය

 

මිහිරි කෙත් යායක් ය

සරත් කල මිළිණ වූ

එහි ලියූ ගී වදන්

කාලවන් පත්‍ර වේ

ශ්වේතවත් භූමියක

කාන්සාවෙන් ගෙවන

ජීවිතය වෙයි කවිය

ස්පාඤ්ඤ සාහිත්‍ය ඉතිහාසයේ, නූතන යුගයේ කවිය පශ්චාත් යුද කවියෙන් මිදී, විවිධ ශෛලීන් ගත්තේය. ‘සමාජ කවිය‘ (Social Poetry) නමින් හැඳින්වුණු කවි පරපුර වෙනුවට සිනමාව, පොප් සංගීතය වැනි දේ ඇසුරු කළ නව කවි පරපුරක් බිහිවුණි. උපස්ථිතික හා සාංදෘෂ්ටික කවීන් ලෙස හැඳින්වුණු රෆායෙල් එස්පොජෝ (Rafael Espejo), ජෝසප් එම්. රොඩ්රිගුවෙස් (Josep M. Rodriguez) සහ මැනුවෙල් රොමේරෝ (Manuel Romaro) මෙන්ම අතිසත්වාදී (Surrealism) කිවිඳියක වූ බ්ලන්කා අන්ද්‍රියු (Blanca Andreu) ආදීහු පශ්චාත් නූතනවාදී කවියක හැඩතල මතු කළහ.

ජුවාන් බෙනට් නමැති නවකතාකරුවා හා විවාහව සිටි බ්ලන්කා කාව්‍ය ග්‍රන්ථ පහක් පළකර ඇති අතර, සාහිත්‍ය සම්මානයන් ද පහක් දිනා ඇත. වාග් විද්‍යාව (Philology) හැදෑරූ බ්ලන්කා, තම කවි බස හැසිරවීමේදී ද, බහුඅරුත් නඟයි. එනිසා ඇගේ කවි පරිවර්තනය ද අසීරුය. ඉතා තුරුණු වියේදීම ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් නුවර වාසයට යන බ්ලන්කා, එහි සිටි ෆ්‍රැන්සිස්කෝ උම්බ්රාල් නමැති ලේඛකයා මඟින් එනුවර සාහිත්‍ය සමාජය දැන හඳුනා ගැනීමට ලැබෙයි. 80 දශකයේ ස්පාඤ්ඤ කවිය තුළ බ්ලන්කා අන්ද්‍රියු, ඇනා රොසෙට්ටි (Ana Rossetti), අම්පාරෝ අමොරොස් (Amparo Amoros) වැනි කිවිඳියන් ‘නොරිසිඔම්‘ (Norisiom) නමින් හැඳින්වුණු නව කවි කුලයට අයත් විණි. ඇම්රොස් ප්‍රංශ සංකේතවාදයටත්, රොසෙට්ටි බැරොක් (Baroque) සම්ප්‍රදායටත් නැඹුරු කිවිඳියන්ය.

80 දශකය වන විට ස්පාඤ්ඤය හැර ගොස් සිටි කවීහු ද පෙරළා සිය රට එන්නට වූහ. ඔව්හු සිය අත්දැකීම් නව කවියට තිළිණ කරන්නට වූහ.

ඉන්ද්‍රානි රත්නසේකර වැනි ස්පාඤ්ඤ කවි පරිවර්තිකාවකගේ අවධානය මෙම නව කවි පරපුර දෙස ද යොමුවන්නේ නම් මැනවයි සිතමි.

 

කපිල කුමාර කාලිංග


නව අදහස දක්වන්න

Or log in with...