රටට වැදගත් තවත් සංවාදයක් ! | දිනමිණ

රටට වැදගත් තවත් සංවාදයක් !

සංවර්ධනය පිළිබඳ බලපවත්වන ලෝක සංවාදය තුළ අද ඉහළින් ම සාකච්ඡාවට ගැනෙන මාතෘකාව වන්නේ තිරසර සංවර්ධනය යන්න ය. එය සංකල්පයක්, න්‍යායක් හා වැඩපිළිවෙළක් ලෙස ලෝක භාවිතයෙහි පවතී. තිරසර සංවර්ධනය යන්නෙහි සරල අර්ථය වන්නේ නොබිඳවැටෙන, ස්ථිරසාර හා තහවුරු කරන ලද සංවර්ධනය යන්න ය. නැතහොත් දියුණුව යන්න ය. ලෝකයේ දියුණුම රටවල් තිරසර සංවර්ධනය ළඟා කරගෙන ඇත. අමෙරිකාව, චීනය, ජපානය, ජර්මනිය වැනි රටවල් ඊට නිදසුන් ලෙස දැක්විය හැකි ය. ආසියානු මහාද්වීපය දුප්පත් රටවල් සමූහයකින් සමන්විත වන්නේ වුව චීනය පොහොසත් රාජ්‍යයකි. යුරෝපයේ රාජ්‍යයන් ගණනාවක් ආර්ථික වශයෙන් කඩාවැටෙන නමුදු ජර්මනිය සිය ආර්ථික ස්ථාවරත්වය රැකගෙන සිටී.

තිරසර සංවර්ධනය පිළිබඳ අදහස මූලික වශයෙන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට යන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ය. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් උපදේශන ලබා ගැනීම සඳහා කමිටුවක් පත්කර ඇත. එම විශේෂඥ කමිටුවේ සභාපතිවරයා වන්නේ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ය. එම විශේෂඥ කමිටුව සිය යෝජනා සහිත කෙටුම්පත පසුගියදා එළිදැක්වීය. මේ කෙටුම්පත තවත් විශේෂඥයන්ගේ හා පොදු ජනතාවගේ ද යෝජනා සහිතව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ය. මෙහි මූලික ඉලක්කය වන්නේ ආර්ථික හා සාමාජික වශයෙන් ස්ථාවර වූ රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම ය. තවත් අයුරකින් බලනවිට එය සමතුලිත සංවර්ධනයකට හෙවත් දියුණුවකට යන මාර්ගය ලෙස සැලැකිය හැකි ය.

සංවර්ධනය මිනිසුන් සතු භාණ්ඩ හා සේවාවලින් පමණක් තීන්දු කළ නොහැකි බව ආර්ථික විශේෂඥ ඊ. එෆ්. ෂූමාකාර් පෙන්වා දුන්නේ 1970 ගණන්වලය. ඔහු විසින් රචිත “ස්මෝල් ඊස් බියුටිෆුල්” නම් කෘතිය 1977දී පළවී ඇත. මේ කෘතිය විග්‍රහ කර ඇත්තේ මිනිසුන් වටිනා සම්පතක් යන තේමාව යටතේය. එහි අදහස වන්නේ ආර්ථික වශයෙන් ලබන වැඩි දියුණුව පමණක් මිනිසාගේ පැවැත්ම තහවුරු කරන්නේ නැති බව ය. ආර්ථික දියුණුව සමඟ සමාජය ද ඉදිරියට යා යුතුය. සමාජයට යහ පාලනය අවශ්‍ය බව ද, සමාජ සාරධර්ම අවශ්‍ය බව ද ආචාර්ය ඊ. එෆ්. ෂූමාකාර් පෙන්වා දෙයි. මේ අනුව මිනිසාගේ අධ්‍යාපනයට ඉහත සඳහන් කෘතිය මුල්තැනක් ලබාදී තිබේ. අධ්‍යාපනය නිසා සංයමය හා විනය ඇති වෙයි.

ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනය පිළිබඳ වැඩසටහන මූලික තේමාවන් තුනක් යටතේ ගොඩනැගී ඇත. එක ආර්ථික සංවර්ධනයයි. දෙක පරිසර සංවර්ධනයයි. තුන සමාජ සංවර්ධනයයි. මේ ක්ෂේත්‍ර තුනම සමතුලිත මට්ටමකින් පවත්වාගෙන යෑම සඳහා නාගරීකරණය, අධ්‍යාපනය, කෘෂිකර්මය, ප්‍රවාහනය හා සෞඛ්‍යය යන විෂයයන් පිළිබඳ උනන්දුවක් දැක්විය යුතු බව ද එම විෂයයන් දියුණු අඩියකට පත්කළ යුතු බව ද ඉහත විශේෂඥ කමිටුව පෙන්වා දෙයි. ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ද එම කමිටුව යෝජනා කරයි. සංවර්ධනය පිළිබඳ මෙබඳු පුළුල් සංවාදයක් මීට පෙර ශ්‍රී ලංකාව තුළ පැවැතියේ නැතැ’යි කිව හැකි ය. ඒ අනුව අපට අලුත් අවස්ථාවක් උදාවී ඇතැ’යි සිතන්නට පුළුවන.

මීට දසකයකට පමණ පෙර ලෝකයේ ආර්ථික සංවර්ධනය පිළිබඳ පරමාදර්ශය වූයේ යුරෝපයයි. යුරෝපයේ ලෝක වෙළෙඳාම, යුරෝපයේ කාර්මිකකරණය හා යුරෝපයේ නිෂ්පාදනය මුළුමහත් ලෝකයේම අවධානයට ලක්විය. එහෙත් පසුගිය දසක දෙක තුළදී යුරෝපා ආර්ථිකය කඩා වැටිණි. ඉතාලිය, ග්‍රීසිය, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය ඊට නිදසුන් ලෙස දැක්විය හැකි ය. එම රටවල අපනයන ක්ෂේත්‍රය, කාර්මික නිෂ්පාදනය හා කෘෂිකර්මය කඩාවැටිණි. ඒ සමඟම ඉතා දරුණු ලෙස විරැකියාව ඉහළ යන්නට පටන් ගත්තේ ය. තිරසර නොවූ ආර්ථික සංවර්ධනයක පාඩම මේ වනවිට යුරෝපය ඉගෙන ගනිමින් සිටී. අද ඔව්හු නැවත තිරසර සංවර්ධනය දෙසට නැඹුරු වී සිටිති.

පරිසර සංවර්ධනයේ අවශ්‍යතාව ඉතා ඉහළින් පෙන්වා දෙන සාධකය වන්නේ ගෝලීය උණුසුම ඉහළ යෑම ය. වායුගෝලයට දියුණු රටවල් ඔස්සේ ඒකරාශී වන කාබන් ප්‍රමාණය ඉතා අධික ය. මේ අනුව ධ්‍රැව ප්‍රදේශවල ග්ලැසියර් දියවෙන්නට පටන්ගෙන තිබේ. දූපත් රාජ්‍යයන් සාගර ජලයෙන් යටවෙන්නට පටන්ගෙන තිබේ. ඒ එක් ව්‍යස‍නයෙකි. අනෙක් ව්‍යසනය, කැනඩාව, ජපානය වැනි රටවලින් මේ දිනවල දැකගන්නට ලැබේ. ෆැරන්හයිට් අංශක 40ට වැඩි උෂ්ණත්වයක් ජපානයේ හා කැනඩාවේ නගරවලින් වාර්තා වෙයි. ඇතැම් නගරවලින් මරණ වාර්තා වෙයි. මීට හේතුව උෂ්ණත්වය ඉහළ යෑමය. මෙය බරපතළ ඛේදවාචකයක් ලෙස සැලැකිය හැකිය.

ශ්‍රී ලංකාව තවම පවතින්නේ පරිසරය යම් පමණකින් ආරක්ෂා කරගත් රාජ්‍යයක් හැටියට ය. එහෙත් ඉතා ඉක්මනින් එය වෙනස් විය හැකි බව රටේ සිදුවීම්වලින් පැහැදිලි වෙයි. වන විනාශය ඉතා පුළුල් ලෙස සිදුවෙයි. ජල උල්පත් සිඳී යයි. ගංගාවල මාර්ග වෙනස් වෙයි. මුහුදු ජලය ගංගා දිගේ රට අභ්‍යන්තරයට කාන්දු වෙයි. ශ්‍රී ලංකාව පාරිසරික තත්ත්වය සම්බන්ධයෙන් අවදානම් සහගත තැනෙක ඇතැ’යි සලකන්නට පුළුවන, ඉතා ඉක්මනින් මේවාට විසැඳුම් ලබාදිය යුතුව තිබේ. එසේ නොවුණහොත් බරපතළ ව්‍යසන රැසකට මුහුණ දෙන්නට අපට සිදුවේ. ජනාධිපතිවරයා තිරසර සංවර්ධන වැඩසටහන යෝජනා කරන්නේ මෙබඳු පසුබිමක් තුළය.

දියුණුවෙමින් පවතින රටවල් මුහුණදෙන බරපතළ අභියෝගයක් වන්නේ එම රටවලට ගැළපෙන හා ඔරොත්තු දෙන සංවර්ධන වැඩසටහන් සැලැසුම් කිරීම ය. ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් ලෙස හඳුන්වා දී ඇති අතර ‍එය පවත්වාගැනීම දුෂ්කර වී ඇත. මූල්‍ය කළමනාකරණය, නිෂ්පාදනය ඉහළ නැංවීම, ලෝක වෙළෙඳ තරගයට මුහුණදීම, ආයෝජකයන් ගෙන්වා ගැනීම අභියෝග ලෙස පවතී. ආයෝජකයන්ගේ ආකර්ෂණය දිනා ගනු ලබන්නේ ශක්තිමත් පොදු පහසුකම් ඇති, සාධාරණ නීති ඇති, ආරවුල් අඩු රටවල් ය. එබඳු රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව පත්කිරීමට නම්; තව ‍බොහෝ දේවල් කළ යුතුය. ඊට හොඳ මගපෙන්වීමක් තිරසර සංවර්ධන වැඩසටහනෙන් ලැබෙයි.

නව අදහස දක්වන්න