පුංචි කාර් බද්ද ඉක්මනින් ඉවත් කරනවා | දිනමිණ

පුංචි කාර් බද්ද ඉක්මනින් ඉවත් කරනවා

සිතාරා සේනානි

පුංචි කාර් මත පනවා ඇති අතිරේක බද්ද ඉතා ඉක්මනින් ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත්, එම බද්ද පැනවූයේ වාහන ගෙන්වීම සඳහා රටෙන් පිටතට ඇදී යන අති විශාල මුදල් සම්භාරය ඉතිරි කර ගෙන, අදාළ බදු මුදල් ජනතා සුබ සාධනය සඳහා යෙදවීමට බවත්, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

බදු අය නොකර, රට ඉදිරියට ගෙන යාමට නොහැකි බවත්, නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවාව පවත්වා ගෙන යාම, බඩු මිල අඩු කිරීම, සුබ සාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, රට සංවර්ධනය කිරීම ආදී ජනතාවට පහසුකම් සලසන විවිධව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුව බදු මුදල් උපයෝගී කර ගන්නා බවත් ඒ මහතා පවසයි. සම්පූර්ණයෙන් බදු නැති ලෝකයක් හැදීමට කිසිවකුට නොහැකි බවද පවසන රාජ්‍ය ඇමැතිවරයා, ජනතාවට පහසුකම් සැලසීම සඳහා බදු අය කළ යුතු බවද, එහෙත් එය සාධාරණ විය යුතු බවද පෙන්වා දෙයි.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා මේ බව පැවසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (7) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු මේ සම්බන්ධයෙන් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

'පුංචි කාර් සඳහා බදු වැඩි කළා කියා ආණුඩුව වෙත සමාජයෙන් විවේචන එල්ල වී තිබෙනවා. අපි මේ බදු වැඩි කෙළේ ඇයි කියන කාරණය ගැන මෙහිදී අවධානය යොමු කළ යුතුයි. අපේ රටේ මධ්‍යම පාන්තිකයන්ගේ පළමු බලාපොරොත්තුව වන්නේ තමන්ගේ ම කියා මෝටර් රථයක් මිලදී ගැනීමයි. එසේ වාහනයක් ගැනීමට යන වියදම වැඩි වෙනවා කියන්නේ ඔවුන්ගේ බලාපොරොත්තුවලට බාධාවක් ඇති වීමයි. 2015දී වත්මන් රජය බලයට පත්වී මෝටර් රථවලට පනවා තිබූ බදු අඩු කළා. මෙසේ බදු අඩු කිරීම නිසා සාමාන්‍යයෙන් වසරකට මේ රටට ගෙන්වන මෝටර් රථ සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වුණා. ඒ වසරේ මෝටර් රථ එක් ලක්ෂ හතළිස් දහසක් ගෙන්වා තිබෙනවා. මේ විදිහට මෝටර් රථ ගෙන්වීම වැඩි වෙනවා කියන්නේ විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිටතට ගලා යනවා කියන එකයි.

2016 දී අපි මේ මුදල් ගලා යාම වළක්වන්න අවශ්‍ය පියවර ගත්තා. එහෙත් නැවත වරක් මේ වසරේ මුල් කාලසීමාවේ සිට රටට දරා ගන්න බැරි විදිහට මෝටර් රථ සඳහා විදේශ විනිමය රටින් පිටට ගලා යාම සිදු වුණා. පුංචි කාර් සඳහා බදු වැඩි කෙළේ එසේ රටෙන් පිටතට මුදල් ගලා යාම වළක්වන්නයි. ඒක තාවකාලිකව ගත් පියවරක්. මෙම බදු වැඩි කිරීම ඉතා ඉක්මනින් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත්, එසේ ඉවත් කරන දිනය තමන්ට දැනුම්දෙන ලෙසත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමැතිවරයාට දැනුම් දී ඇත්තේත් මේ නිසයි.

පුංචි කාර් මත පනවා ඇති මේ අතිරේක බද්ද ඉතා ඉක්මනින් ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත්, ජනතාවගේ හැඟීම් පිළිබඳ රජයට ඉතා හොඳ වැටහීමක් තිබෙන බවත් සඳහන් කළ යුතුයි.

බදු නොගෙවා රට ඉදිරියට ගෙන යන්න බෑ. නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවාව පවත්වා ගෙන යාම, අඩු මිලට භාණ්ඩ සැපයීම, විවිධ සුබ සාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, රට සංවර්ධනය කිරීම ආදී ජනතාවට පහසුකම් සලසන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රජය බදු මුදල් උපයෝගී කර ගන්නවා. ඒ නිසා සම්පූර්ණයෙන් බදු නැති ලෝකයක් හදන්න කාටවත් බෑ. ඒ නිසා අපි කියන්නේ බදු අය කළ යුතුයි, ඒත් එය සාධාරණ විය යුතුයි කියලයි' යනුවෙන් ද රාජ්‍ය ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් පැවැසීය.

අදහස් 1ක් ඇත

redda Thama harinam karanna one tax gahala salli pitata yana eka nawaththana newei e wenuwata wikalpa krama adunwala dena eka.lankawe wahana nishpadana ayathana athi karana eka.eka karaganna pana nathuwa wena hethu kiwata hariyanne ne,me modayo hamadama karanne prashna walata plaster gahana eka kisima prashnekata sthira wisadumak denna mun ekektawath ba

නව අදහස දක්වන්න