ලෝකයේ ආර්ථික ප්‍රව­ණතා | දිනමිණ

ලෝකයේ ආර්ථික ප්‍රව­ණතා

“සංවර්ධනය” ශ්‍රී ලංකාව පිළිබඳව සාකච්ඡාවේදී පුළුල් මාතෘකාවකි.ගෝලීය ආර්ථික අභියෝග හමුවේ ලොව අනෙකුත් රටවල දක්නට ලැබෙන ආර්ථික ප්‍රවණතා ශ්‍රී ලංකාවට බලපා ඇත්තේ කෙසේ ද?

ලෝකයේ දැනට පවතින ආර්ථික ප්‍රවණතා මෙලෙස හැඳින්විය හැකිය.

1- ප්‍රබල රටවල් ආරක්ෂණවාදී ප්‍රතිපත්ති අනුගමනය කිරීම

2- විදේශ ආයෝජන වර්ධනය වන වේගය අඩු වී, මිනිසුන්ගේ රටින් රටට වන සංක්‍රමණය සීග්‍රයෙන් ඉහළ යාම.

3- බොහෝ රටවල ,රාජ්‍ය ආදායම සහ වියදම අතර පරතරය , පුළුල් වී විදේශයන්ගෙන් ලබා ගන්නා ණය ප්‍රමාණය , විශාල වශයෙන් වැඩි වීම .

4- චීනය විසින් ලෝකය පුරා විදේශ ආයෝජන ව්‍යාපෘති , ක්‍රියාත්මක කිරීම හා සංවර්ධනය වෙමින් පවතින රටවලට විශාල වශයෙන් ණය ලබා දීම.

5- ඒ ඒ කලාපයන්ට සහ භූමි ප්‍රදේශයන්ට ආවේණික වු දේශපාලන අවදානම් තත්ත්වයන් ඉහළ යාම.

6- ප්‍රාථමික භාණ්ඩවල ( ඛනිජ තෙල් ඇතුළත්ව ) මිළ ගණන් විශාල වශයෙන් ඉහළ පහළ යාම.

7- ලෝකයේ මුල්‍ය වෙළෙඳපළ පිළිබඳව විශ්වසනීයභාවය, පළුදු වීම නිසා අවදානම් තත්ත්වයන්ට පත් වීම.

8- ලෝකයේ ආර්ථික වර්ධන වේගය,ඉන්දියාව,චීනය,බ්‍රසීලය,රුසියාව වැනි නැගී එන නව රාජ්‍යයන් විසින් තීවෘ කොට පැවතීම.

9-ගෝලීය උෂ්ණත්වය වැඩි වීම හේතුකොට ගෙන , කෘෂිකර්මය කෙරෙහි හා මිනිසුන්ගේ සහ මිනිසුන්ගේ ජීවන රටාව කෙරෙහි විශාල බලපෑමක් ඇති වී පැවතීම.

මෙම කරුණු හේතු කොට ගෙන සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාවට ද දැඩි බලපෑම් එල්ල වී ඇත. මෙරට , ආර්ථිකය , ලෝකයට විශාල වශයෙන් විවෘත වීමත් , ජනගහනයෙන් මිලියන 03 කට ආසන්න ප්‍රමාණයක්, විදේශගත වී සිටීමත්, ශ්‍රී ලංකාවේ සමස්ථ ආනයන වියදම, ඇමරිකා එක්සත්ජනපද ඩොලර් මිලියන 21 ක ආසන්න මට්ටමකට වැඩි වී පැවතීමටත්, සංචාරක ව්‍යාපාරය වැනි අංශවලින් , රට දියුණූ කිරීමට උත්සහ කිරීමත් ,හේතුවෙන් ලෝක ආර්ථිකය සහ ශ්‍රී ලංකාව දැඩි ලෙස බද්ධ වී පවතී .

ඇමරිකා එක්සත් ජනපදය, බටහිර යුරෝපයේ රටවල් මෙන් ම ඔස්ට්‍රේලියාව, නවසීලන්තය,යනා දී සෑම සංවර්ධිත රාජ්‍යක්ම සංක්‍රමණික ජනයාගෙන් ,සීග්‍රයෙන් පිරෙමින් පවතිනවා. එම රටවල අනාදිමත් කාලයක් වාසය කළ ජනගහනය වයස්ගත වීමත්, කර්මාන්ත දියුණු වීම හේතුවෙන්, විශාල ශ්‍රමිකයින් සංඛ්‍යාවක් අවශ්‍ය වීමත් නවීන තාක්ෂණය ජනිත වීම නිසා ඒවා ලබා ගැනීමට අධ්‍යාපනය හා ප්‍රහුණුව වෙනුවෙන් , එම රටවලට, සංවර්ධනය වෙමින් පවතින රටවලින් මිනිසුන් ගමන් කිරීමටත් හේතුවෙන් මෙම සංක්‍රමණික ජනගහනය ඉහළ යෑම සිදු වී ඇත.

එවැනි දියුණු රටවල මැතිවරණවල දී සංක්‍රමණිකයින් දැඩි බලපෑමක් සිදු කරන බැවින් , එම රටවල් ආරක්ෂණවාදී ප්‍රතිපත්තිවලට තල්ලු වී පවතී. එනම් දියුණු රටවල භූමිය, ආර්ථිකය, වෙළෙදාම, ඉපයීම් , වැඩි කර ගැනීම සඳහා එම රටවල් විසින් නැඟී එන දිළිදු රටවලට හා සංවර්ධනය වෙමින් පවතින රටවලට ද බාධාවන් පැමිණවීම දැකිය හැකි ය. එය සුලභ දර්ශනයකි. එම නිසා, එම රටවල සංක්‍රමණිකයින් සඳහා දැඩි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම , විදේශයන්ගෙන් ආනයන කරන ලද භාණ්ඩ වෙනුවෙන් , තීරු බදු හා තීරු බදු නොවන බාධාවන් ඉහළ නැගීම, මෑත කාලීන ලෝක ආර්ථිකයේ උපනතියක් වී පවතී. එය ශ්‍රී ලංකාවට ද අවාසිදායක තත්ත්වයකි. මෙරටින් විදේශගත වන්නන්ට දිනෙන් දිනම , විශේෂ කුසලතා අවශ්‍ය වන අතර , අපේ රටින් අපනයනය කරනු ලබන භාණ්ඩ හා සේවා සඳහා තීරු බදු ඉහළ දැමීම මෙන් ම තීරු බදු නොවන පාලන ක්‍රම , ලෙස පවතින , සෞඛ්‍ය පිළිබඳ කොන්දේසි වැඩි කිරීම , පරිසරයට සිදු වන හානි පිළිබඳ කොන්දේසි වැඩි කිරීම, වැනි කරුණු නිසා ද, මානව හිමිකම් වැනි දේශපාලන කරුණු නිසා ද , මෑත භාගයේ දී ශ්‍රී ලංකාවේ , අපනයනය සඳහා පවතින ඉල්ලුම සංකෝචනය වීමට, ඉහත කී ගෝලීය ප්‍රවණතාවය බලපා ඇත. රුසියානු වෙළෙඳපලට ශ්‍රී ලංකාව විශාල වශයෙන් තේ අපනයනය කරන අතර රුසියාවේ ශ්‍රී ලංකාවේ තේ පිළීබඳ කොන්දේසි වෙනස් කිරීම හේතු කොට ගෙන මෑත කාලයේ දී ගැටලු මතු වීම, උදාහරණ ලෙස දැක්විය හැකි ය.

සංවර්ධිත රටවල් විසින් , සංවර්ධනය වෙමින් පවතින රටවල සිදු කරනු ලබන විදේශ ආයෝජන මෑත කාලයේ දී අඩු වීමක් වාර්තා කරයි. බොහෝ යුරෝපීය රටවල හා ඇමරිකානු අයෝජන , 90 දශකයේ දී චීනයට ගලා‍ ගිය අතර, එහි ප්‍රතිඑලයක් ලෙස , චීන ආයෝජනවලින් , අඩු මිලට , භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කොට ලෝකයේ අනෙකුත් රටවලට සැපයීම නිසා අනෙකුත් සංවර්ධනය පවතින රටවල ආයෝජන පහත වැටී ඇත. චීනයට විශාල භූමි ප්‍රමාණයක් , ජනගහනයක් හා ස්ථාවර දේශපාලන රාමුවක් ද පවතින බැවින් ද, අඩු පිරිවැයට , ශ්‍රමය සහ භූමිය , ලබා ගත හැකි වූ බැවින් ද විශාල වශයෙන් විදේශ ආයෝජන ගලා ගෙන ගියේ ය.

මෑත භාගයේ දී වියට්නාමය, බංගලාදේශය ,ඉන්දියාව වැනි රටවලට ද චීනයට මෙන් මහා පරිමාණ වාසි පවතින බැවින් , නිෂ්පාදන මධ්‍යස්ථාන විතැන් වීම සිදු විය. එහෙත් ශ්‍රී ලංකාව , කුඩා රටක් සහ ශ්‍රමය අතිරිත්තයක් විශාල ලෙස නොමැති බැවින් මෙන් ම දේශපාලන අස්ථාවරබවක් , පවතින බැවින් , විදේශ ආයෝජන මෙරටට , අපේක්ෂිත මට්ටමකට නොලැබිණි.

මීට අමතරව , රට තුළ කාලයක් දියුණු වුණූ මසා නිමකළ රෙදි පිළි කර්මාන්තය , ශ්‍රී ලංකාව තුළ පවතින නුපුහුණු ශ්‍රම හිඟය හා පිරිවැය ඉහළ යෑම වැනි කරුණු හේතුවෙන් වියට්නාමය, අප්‍රිකානු රටවල් , බංලාදේශයට සංක්‍රමණය වෙමින් පවතී. මෙය ශ්‍රී ලංකාවේ සංවර් ධනයට , අහිතකර ලෙස බලපා හැකි ය. තාක්ෂණික වශයෙන් දියුණු කර්මාන්තයක් බවට මසා නිමකළ රෙදිපිළි කර්මාන්තය ලංකාවේ පරිවර්තනය වෙමින් පවතින බැවින් , එහි මහා පරිමාණ වාසි පොදුවේ බෙදී යාම අඩු වෙමින් පවතී.

ඉහත ගෝලීය ආර්ථිකයේ , නව ප්‍රවණතා හේතුකොට ගෙන ශ්‍රී ලංකාවේ අපනයනවල ‍වේගය, මන්දගාමී වීමටත්, තාක්ෂණය ලබා ගැනීමට පවතින ඉඩකඩ සීමා වීමත්, රටට ආවේණික වු පිරිවැය ඉහළ යාම, ශ්‍රම හිඟය, ශ්‍රම වෙළෙඳපළේ පවතින අපේක්ෂා සහ කුසලතා අතර පරතරය පුළුල් වීමත් හේතුවෙන් ශ්‍රී ලංකාවට , ගෝලීය ආර්ථිකය, අහිතකර ලෙස වෙනස් වෙමින් පවතී. එහෙත් ශ්‍රී ලංකාව වෙනත් රටවල් හා සම්බන්ධතා ගොඩනඟා ගැනීමට සක්‍යතාවන් පදනම් කර ගනිමින් ද්විපාර්ශවික ගිවිසුම්වලට අත්සන් තැබීම, මෑතක දී බිහි වූ යටිතළ පහසුකම් භාවිතා කිරීමට අවශ්‍ය වන නිෂ්පාදනයන් ගොඩනඟා ගැනීම , ව්‍යවසාහකත්වය සඳහා තරුණයන් පෙළඹවීම , මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීම, වැනි කරුණූ තුළින් , ශ්‍රී ලංකාවට වාසිදායක ප්‍රතිඑල අත්කර ගත හැකි ය. සෑම ආර්ථික කරුණක් සම්බන්ධයෙන් ම පුළුල් පරියේෂණ පවත්වා, ඒවා ප්‍රතිපත්ති සකස් කර ගැනීමේ දී උපාය මාර්ගිකව සකස් කරන ලද ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැදගත් වේ. චීනය සහ ඉන්දියාව යන නැගී එන ලෝක බලවතුන්ගේ වෙළෙඳපළ ලබා ගැනීම , ආයෝජන ලබා ගැනීම, මෙන් ම දේශපාලන සහකරුවන් බවට එවැනි රටවල් පත් කර ගැනීමෙන් ශ්‍රී ලංකාව වඩාත් වාසිදායක තත්ත්වයකට පත් කර ගත හැකි ය.

 මදාරා මුදලිගේ


නව අදහස දක්වන්න