කරුණානිධිට අවසන් ගෞරව දැක්වීමට මෝදි චෙන්නායි එයි | දිනමිණ

කරුණානිධිට අවසන් ගෞරව දැක්වීමට මෝදි චෙන්නායි එයි

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ ඉන්දීය දේශපාලනඥයකු වූ මුතුවේල් කරුණානිධි මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදී චෙන්නායි වෙත පැමිණෙද්දී, අවසන් කටයුතු සිදු කරන ස්ථානය පිළිබඳව පැන නැගී තිබූ ගැටලුව ද අවසන් වී තිබුණි. ඒ අනුව ඔහුගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු චෙන්නායි මරීනා වෙරළේ සී. එන් අන්නදුරයිගේ ආදාහනය සිදු කළ ස්ථානය අසල දී සිදු කෙරෙනු ඇත. මදුරාසි ඉහළ අධිකරණය විසින් මේ අවසරය ලබාදීමත් සමඟ රාජාජි ශාලාවේ රැස්ව සිටි කරුණානිධිගේ පවුලේ සාමාජිකයන් බොහෝ සේ සංවේදී වූ බව දක්නට ලැබුණි.

එම ස්ථානයේ දී කරුණානිධිගේ අවසන් කටයුතු අන්නාදුරයි, එම්. ජී රාම චන්ද්‍රන් සහ ජයලලිතාගේ සොහොන් සංකීර්ණයේ සිදු කිරීමට අවසර ලබාදීම ඒ. අයි. ඒ. ඩී. මේ. කේ රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. මේ සම්බන්ධයෙන් ඔවුන් ප්‍රකාශ කළේ කරුණානිධි මිය යන විට ප්‍රධාන අමාත්‍යවරයා නොවන බැවින් එම අවස්ථාව ලබාදිය නොහැකි බවයි. එම්. ජී. ආර් ගේ බිරිය ජානකී මිය ගිය අවස්ථාවේ දී ද මරීනාහි අවසන් කටයුතු සිදු කිරීම ප්‍රතික්ෂේප කෙරුණ අතර ඒ සඳහා ඊ.පී. එස් රජය විසින් සර්දාර් පටෙල් පාරේ රාජාජි සහ කමරාජ් ස්මාරක අසලින් අක්කර දෙකක භූමි ප්‍රදේශයක් වෙන් කරනු ලැබීය.

එහෙත් ඩී. එම්. කේ පක්ෂය කියා සිටියේ එහි අවසන් කටයුතු සිදු කිරීම සඳහා මහ ඇමැති ලෙස කටයුතු කරමින් සිටියදී මිය යා යුතු බවට නීතියක් නොමැති බවයි. එසේම කරුණානිධි මහතා පස් වතාවක් මහ ඇමැති ධුරය දැරූ කෘතහස්ත දේශපාලනඥයකු බව එම පක්ෂය විසින් සිහිපත් කර තිබුණි.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාට අමතරව, තමිල්නාඩුවේ මහ ඇමැති ඊ. පලනිස්වාමි, නියෝජ්‍ය මහ ඇමැති ඕ. පන්නීර්සෙල්වම්, රජිණි කාන්ත්, කමලා හසන් මෙන්ම කොංග්‍රසයේ ප්‍රධානී රාහුල් ගාන්ධි ඇතුළු මැති ඇමැතිවරුන් කරුණානිධි මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා රාජාජි ශාලාව වෙත පැමිණියේය.

මිය යන විට 94 වැනි වියේ පසුවූ ඔහු රෝගී වීම නිසා තමිල්නාඩුවේ චෙන්නායිහි ප්‍රතිකාර ලබමින් සිටි අතර කෞවෙරි රෝහල පැවසුවේ පෙරේදා (07) එරට වේලාවෙන් සවස 6.10ට කරුණානිධි අභාවප්‍රාප්ත වූ බවය.

1969 සහ 2011 අතර කාලයේදී පස් වරක් තමිල්නාඩු මහ ඇමැතිවරයා වූ කරුණානිධි, ඉන්දීය මධ්‍ය දේශපාලනයේ ප්‍රධාන චරිතයක් විය. තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණ 13ක් සඳහා ඉදිරිපත්ව ඇති ඔහු ඒ සැමෙකින්ම ජයගත්තේය.

2016 වසරේදී ද ප්‍රාන්ත සභා මැතිවරණය සඳහා කරුණානිධි තරග කළේ පසුගිය වසරේ මිය ගිය ජයලලිතා ජයරාම් සමඟය. ලේඛකයකු මෙන්ම විදග්ධ කථිකයකු ලෙස ප්‍රකට වූ ඔහු සිය ආධාරකරුවන් අතර දේවත්වයට සම සැලකුම් ලැබීය.

නිසි පාසල් අධ්‍යාපනයක් නොලැබුව ද පසු කාලයේදී ඔහු දෙමළ සිනමාව තුළ සාර්ථක තිරපිටපත් රචකයෙකු විය.

කරුණානිධිගේ අභාවය හමුවේ ශෝකයට පත්ව විශාල වශයෙන් වීථි බැස සිටින ඔහුගේ අාධාරකරුවන් හේතුවෙන් නොසන්සුන් තත්ත්වයක් හටගනු ඇතැයි බිය පළ කළ පොලිසිය චෙන්නායි නුවර ආරක්ෂාව තර කර තිබේ.

1924 ජුනි 03 - තමිල්නාඩුවේ නාගපට්ටිනම් දිස්ත්‍රික්කයේ තිරුකුවලයි ගම්මානයේ දී උපත ලැබීම.

1938 - සාධාරණය සඳහා පක්ෂයේ නායකයන්ගෙන් ආභාෂය ලබමින් ඉතා තරුණ වියේදීම දේශපාලනයට උනන්දුවක් දැක්වීම.

1941 - තමිල්නාඩුවේ දෙමළ ශිෂ්‍ය සමාජය නමින් ශිෂ්‍ය කණ්ඩායමක් ආරම්භ කිරීම.

1944 සැප්තැම්බර් - පද්මාවතී සමඟ විවාහවීම. ඔවුන්ගේ පුතා එම් කේ මුතු නම් වෙයි.

1948 සැප්තැම්බර් - පළමු බිරියගේ අභාවයෙන් පසු දයාලු අම්මල් සමඟ විවාහවීම. එම් කේ ස්ටාලින්, එම් කේ තමිලරසි, එම් කේ අසගිරි සහ සෙල්වි ඔවුන්ගේ දරුවන් සිවුදෙනාය.

1950 - 'මන්ත්‍රීකුමාරි' චිත්‍රපටය එළිදැක්වීම. එහි පිටපත් රචකයා කරුණානිධිය.

1952 - කරුණානිධි විසින් පිටපත ලියන ලද 'පරශක්ති' චිත්‍රපටය එළිදැක්වීම. පසුව දෙමළ සිනමාවේ තාරුකාව බවට පත් සිවාජි ගනේෂන් මුලින්ම රඟපෑවේ එම චිත්‍රපටයේය.

1957 - පළමු වරට තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත්වීම.

1962 - තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ විපක්ෂයේ නියෝජ්‍ය නායකයා වශයෙන් තේරී පත්වීම.

1963 - ඉන්දීය ව්‍යවස්ථාවේ පිටපතක් ගිනි තැබීමේ වරදට හය මසක සිරදඬුවමක් නියමවීම.

1967 - DMK පක්ෂය ප්‍රාන්තයේ බලයට පත්වීමත් සමඟ ප්‍රාන්තයේ ඇමැති පදවියකට පත්වීම.

1969 පෙබරවාරි 10 - පක්ෂයේ නායක සී එන් අන්නාදුරෙයිගේ අභාවයෙන් පසුව ප්‍රාන්තයේ මහ ඇමැති පදවියට පත්වීම.

1969 ජුලි - DMK පක්ෂයේ නායකත්වයට පත්වීම.

1972 ඔක්තෝබර් - DMK පක්ෂයෙන් ඉවත් වූ එම් ජී රාමචන්ද්‍රන් AIADMK නමින් වෙනම පක්ෂයක් පිහිටුවීම

1986 - ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලුව සම්බන්ධයෙන් TESO සම්මන්ත්‍රණය පැවැත්වීම.

1989 - එම් ජී රාමචන්ද්‍රන්ගේ අභාවයෙන් පසු කරුණානිධි තුන්වැනි වරටත් තමිල්නාඩුවේ මහ ඇමැති පදවියට පත්වීම.

2001 - මැතිවරණයෙන් පරාජය වීමෙන් පසු ජයලලිතා පාලනය විසින් කරුණානිධි අත්අඩංගුවට ගැනීම.

2006 - පස් වැනි වතාවටත් ප්‍රාන්තයේ බලයට පත්වීම.

2013 - සිය පුත් ස්ටාලින් සිය දේශපාලන අනුප්‍රාප්තිකයා වශයෙන් නම් කිරීම.

2014 -2016: 2014 පාර්ලිමේන්තු මැතිවරණය සහ 2016 ප්‍රාන්ත මැතිවරණය පරාජය වීම.


නව අදහස දක්වන්න

Or log in with...