දසුන්ගේ ඉනිම නිසා ලකුණු 300 පසුකිරීමට හැකිවුණා | දිනමිණ

දසුන්ගේ ඉනිම නිසා ලකුණු 300 පසුකිරීමට හැකිවුණා

ෆවුස් මොහොමඩ්

සංචාරක දකුණු අප්‍රිකානු පිලට එරෙහිව පෙරේදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැති දිවා රාත්‍රී සිවුවැනි එක්දින තරගයෙන් අමතක නොවන ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා පිල තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 3-1ක් ලෙස පසුපසින් සිටී. තරගාවලිය පරාජයට පත්වූවත් සිවුවැනි තරගය ජයගෙන 5-0ක තරගාවලි පරාජයකින් බේරා සිටීමට ශ්‍රී ලංකා පිල විශාල බලාපොරොත්තුවකින් පසුවූ බව තිසර පෙරේරා කීවේය.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු පිලේ වැඩබලන නායක ක්වින්ටන් ඩි කොක්ගේ ඇරියුමෙන් ශ්‍රී ලංකා පිල පළමුව පන්දුවට පහරදෙමින් සිටියදී වරින් වර වර්ෂාව ඇද හැලීම නිසා ඉනිම ඕවර 39කට සීමා කෙරිණි. අනතුරුව දකුණු අප්‍රිකානු ඉනිම අතරතුරදීත් වර්ෂාවෙන් බාධා ගෙනදුන් නිසා ජයග්‍රාහී ඉලක්කය ඩක්වර්ත් ලුවිස් ක්‍රමවේදයට අනුව ඕවර 21කදී ලකුණු 191ක් විය. වර්ෂාව නොතකා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට රැස්ව සිටි අතිවිශාල ක්‍රීඩාලෝලීන් පිරිසකගේ බලාපොරොත්තු ඉටු කරමින් ශ්‍රී ලංකා පිල තරගය ජයගත්තේ දකුණු අප්‍රිකානු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 187කට සීමා කරමිනි.

ශ්‍රී ලංකා ඉනිම ඉහළට ඔසවා තැබූ දසුන් ශානක සහ තිසර පෙරේරා 7 වැනි කඩුල්ලට ලකුණු 109ක් එක් කළේ පන්දු 67කට පමණක් මුහුණ දෙමිනි. පෙරේදා රාත්‍රියේ පල්ලෙකැලේ තණතීරුවේ දස අතට දැවැන්ත පහරවල් එල්ල කරමින් දසුන් ශානක ලකුණු 65ක් රැස් කළේ පන්දු 34කිනි. සිය එක්දින තරග දිවියේ 10 වැනි තරගයට ක්‍රීඩා කළ දසුන් පෙරේදා වාර්තා කළේ ඔහුගේ මංගල එක්දින අර්ධ ශතකයයි. ඔහුට අනගි සහයක් දුන් තිසර පෙරේරා පන්දු 45කින් සිය අර්ධ ශතකය වාර්තා කළේය. ඊට පෙර ශ්‍රී ලංකා ඉනිමට ජීවය ගෙනදුන් කුසල් ජනිත් පෙරේරා වේගවත් පිතිහරඹයක නිරතවෙමින් ලකුණු 51ක් ලබාගත්තේය.

තරගයෙන් පසුව මාධ්‍ය හමුවට තිසර පෙරේරා සහ දසුන් ශානක දෙදෙනාම පැමිණ සිටි අතර වැසි සහිත කාලගුණයක් නිසා ලකුණු 191ක අපහසු ඉලක්කයක් නොවූවත් සියලුම පන්දු යවන්නන් කඩුල්ල වෙතටම පන්දු යැවීමට තීරණය කිරීමෙන් දකුණු අප්‍රිකානු පිතිකරුවන්ගේ පීඩනය ඉහළ ගිය බව තිසර කීවේය.

‘අපිට ඕන කළේ විකට් එකටම පන්දු යවන්නයි. එතකොට එයාලාට ලකුණු රැස් කරන්න නම් ඉහළින් ඇදීයන ලෙස පහර එල්ල කිරීමට සිද්ධවෙනවා. එය එතරම් ලෙහෙසි වුණේ නෑ.’ තිසර පැවැසීය.

‘දසුන් පිටියට ආ විගස මා ඔහුට කීවේ අපි අපේ සාමාන්‍ය විදිහටම පහරවල්වලට යමු කියලයි. අපි මුලින්ම ඕවර 3න් 3ට සැලසුම් කළා. ඊට පස්සේ අපේ ඉලක්කය වුණේ ලකුණු 280ක්. ඒත් දසුන්ගේ ප්‍රහාරාත්මක පිතිහරඹය නිසා අපිට ලකුණු 300ත් පහු කරන්න හැකිවුණා.’ තිසර සඳහන් කළේය.


තිසරට සහයෝගය ලබාදෙමින් ක්‍රීඩා කළා
- දසුන් ශානක

‘ඇත්තටම මට ඕන කළේ තිසරට සහයෝගයක ලබාදීලා ඔහුගේ පසුපසින් යන්නයි. මොකද ඔහු තමයි අවසන් ඕවර කිහිපයේදී ලකුණු උදුරා ගැනීමට සමත් ශ්‍රී ලංකා පිලේ හොඳම පිතිකරු. ඔහුට ඕනෑම මොහොතක හයේ පහරක් එල්ල කළ හැකියි.’ දසුන් ශානක කීවේය.

අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කරමින් තරගයේ වීරයා සම්මානය දිනාගත් දසුන් ශානක මේ තරගාවලියේදී ක්‍රීඩා කළේ පළමුවතාවටය. වසර 2016 නොවැම්බරයෙන් පසුව පළමු වතාවට එක්දින තරගයකට ක්‍රීඩා කළ දසුන් පෙරේදා තරගයේදී දැක්වූ විශිෂ්ට පිතිහරඹයට අමතරව පන්දු යවමින් එක් කඩුල්ලක් දවාගත් අතර ශ්‍රී ලංකා පිලට හිසරදයක් වූ ජේ.පී.ඩුමිනි දුවද්දී දැවීයාමට හසුකරගනිමින් පන්දුව කෙළින්ම කඩුල්ලට දමා ගැසුවේය.

‘සෑහෙන කාලයක් මම එළියේ හිටියා. ඒ කාලය තුළ මගේ පිතිහරඹය, පන්දු යැවීම වගේම පන්දු රැකීමත් දියුණු කරගත්තා.’ දසුන් පැවැසීය.

නව අදහස දක්වන්න