ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර පදක්කම් දිනා ගත හැකි රටක් බිහි කරනවා | දිනමිණ

ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර පදක්කම් දිනා ගත හැකි රටක් බිහි කරනවා

මා දිනාගත්තේ රිදී පදක්කමක් බව බොහෝ දෙනා දන්නේ නැහැ
- සුසන්තිකා ජයසිංහ

* අපේ තරුණ තරුණියන් ක්‍රීඩා අංශ කිහිපයකම ඉහළ දක්ෂතා පෙන්නුම් කරනවා. ඒත් අවාසනාවකට ජාත්‍යන්තර මට්ටමේ තරගවලට යොමු වී පදක්කම් දිනා ගැනීමේ පසුබිමක් අප ඇති කරලා නැහැ.
* ඔලිම්පික් උළෙල දෙස බැලූ විට කුඩා රටවල් ගණනාවක් එහිදි රන් පදක්කම් දිනාගෙන තිබෙනවා. මෙවර ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේදී බලාපොරොත්තු නොවුණු කණ්ඩායම් ගණනාවක් අවසන් වට සඳහා ඉදිරිපත් වුණා.
* මේ රටේ ක්‍රීඩාව ඉදිරියට ගෙන යෑමට, දියුණු කිරීමට හා ඒ වෙනුවෙන් කැපවෙන අයට ආණ්ඩුවක් හැටියට අප සහයෝගය ලබා දෙනවා. ක්‍රීඩා සංගම්හි මූලික අරමුණ විය යුත්තේ ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගැනීමයි.

ක්‍රීඩාවට අවශ්‍ය ආධාර මුදල් රාජ්‍ය හා වෙනත් අංශ වලින් විටින් විට ලබා දී ක්‍රීඩාව ශක්තිමත් කරන බවත් එමගින් ආසියානු හා ජාත්‍යන්තර මට්ටමේ රන් පදක්කම් දිනා ගත හැකි රටක් බිහි කිරීමට කටයුතු කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියානු මලල ක්‍රීඩා උළෙලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගිය දා (7) අරලියගහ මන්දිරයේදී හමු වූ අවස්ථාවේදීය.

මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අත දීමේ අරමුණින් "අගමැති ක්‍රීඩා අරමුදල "ආරම්භ කිරීමද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එහිදි සිදු කෙරිණි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අතදීමේ අරමුණින් අගමැති ක්‍රීඩා අරමුදල ආරම්භ කැර ඇත.රුපියල් මිලියන පනහකින් ආරම්භ කරන ලද මෙම අරමුදල ඉදිරියේදී තවත් ශක්තිමත් කර ගනිමින් වත්මන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම දක්ෂතා ඇති නවකයින්ට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරියට ඒමට ආධාර උපකාර කිරීම මෙම අරමුදලේ මූලික අරමුණක් වී තිබේ.

අගමැති ක්‍රීඩා අරමුදල පිහිට වූ අවස්ථාවට ක්‍රීඩා ක්ෂේත්‍රයේ නිලධාරින් ප්‍රමුඛ ආරාධිත අමුත්තන් සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියානු මලල ක්‍රීඩා උළෙලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

එහිදී අදහස් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසිය.

ශ්‍රී ලාංකිකයන්ගේ ක්‍රීඩා හැකියාව පිළිගත හැකි මට්ටමක තිබෙන බව මම ප්‍රථමයෙන් පැවසිය යුතුයි. නගරයේ පමණක් නොව ග්‍රාමීය මට්ටමේ ක්‍රීඩා දක්ෂතාවයන් හොඳ මට්ටමක පවතිනවා. අපේ තරුණ තරුණියන් ක්‍රීඩා අංශ කිහිපයකම ඉහළ දක්ෂතා පෙන්නුම් කරනවා. ඒත් අවාසනාවකට ජාත්‍යන්තර මට්ටමේ තරගවලට යොමු වී පදක්කම් දිනා ගැනීමේ පසුබිමක් අප ඇති කරලා නැහැ. ක්‍රිකට් ක්‍රීඩාව හැර අනෙක් ක්‍රීඩාවල එම අඩුපාඩුව දක්නට තිබෙනවා. කාලයක් තුළ දැරූ උත්සාහයක ප්‍රතිඵල නිසා ක්‍රිකට් ක්‍රීඩාව මඟින් ජාත්‍යන්තරය ජය ගැනීමට හැකි වුණා. අද අප එය ආරක්ෂා කර ගත යුතුව තිබෙනවා.

නමුත් අනෙකුත් ක්‍රීඩා අංශවලට අතදීමේ අවස්ථාව මගහැරී තිබෙනවා. එසේ වුවත් සමහර අවස්ථාවලදි තමන්ගේ කැපවීම නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියට ගොස් තිබෙනවා.මේ නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අතදීමේ අරමුණින් මෙම අරමුදල අපි ආරම්භ කළා. ඒ මඟින් ක්‍රීඩාවට අවශ්‍ය ආධාර මුදල් රාජ්‍ය හා වෙනත් අංශවලින් විටින් විට ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා මා සමඟ මේ පිළිබඳව කතා බහ කළා. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපකාර කරන්නේ කෙසේද යන්න පිළිබඳ එතුමාට අදහස් ගණනාවක් තිබුණා. ඒ නිසා මේ අරමුදල ආරම්භ කිරීමට මා එකඟ වුණා.

ඒ තුළින් අකලංක පිරිස් වැනි විශාල කැපවීමක් තිබෙන ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට උපකාර කරන්නට පුළුවන්. මා සිතන්නේ අකලංක දැන් තරඟ දෙකකට එකවර ඉදිරිපත් වෙන බවයි. ආසියානු ක්‍රීඩා තරඟවලට මෙන්ම ලංකාවේ උසස් පෙළ තරඟය සඳහා ඔහු එකවර සහභාගි වෙනවා. තම තමන් ඒ ආකාරයට කැපවීම් කළ යුතුයි. ඒ සඳහා රාජ්‍ය මෙන්ම අනෙක් අංශවල සහයෝගය ලබාදීම අවශ්‍යයි. එසේ නැතිනම් ක්‍රීඩාව දියුණු කිරීමට නොහැකියි. අපේ ඉලක්කය විය යුත්තේ තවත් ක්‍රීඩා අංශ ගණනාවකින් ආසියානු හා ජාත්‍යන්තර මට්ටමට ළඟා වීමයි.

ඔලිම්පික් උළෙල දෙස බැලූ විට කුඩා රටවල් ගණනාවක් එහිදි රන් පදක්කම් දිනාගෙන තිබෙනවා. මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී බලාපොරොත්තු නොවුණු කණ්ඩායම් ගණනාවක් අවසන් වට සඳහා ඉදිරිපත් වුණා. ඒ තුළින් පැහැදිලි වන්නේ ඒ ඒ රටවල් ඔවුන්ගේ දක්ෂතා දියුණු කර තිබෙන බවයි. එසේ නම් අපිත් දක්ෂතා ඇති අංශ හඳුනාගෙන ඒවා දියුණු කළ යුතුයි.

එම දක්ෂතා හඳුනා ගැනීමේ ක්‍රියාවලිය සඳහා මෙම අරමුදලින් අපට ආධාර උපකාර කිරීමට හැකි වෙනවා. ඒ තුළින් ආසියානු හා ජාත්‍යන්තර මට්ටමට ළඟා විය හැකියි. අප දැන් එම ගමන ආරම්භ කළ නිසා දශකයක් දෙකක් යෑමට පෙර අපේ ඉලක්කය වෙත ළඟා විය හැකියි.

ඒ සඳහා පාසල් මට්ටමින් ක්‍රීඩා දක්ෂතා ඉහළ නැංවීම පිළිබඳ අධ්‍යාපන ඇමැතිතුමා සමඟ සාකච්ඡා කළා. විශේෂයෙන් උසස් පෙළ සඳහා වෘත්තිය විෂයන් අතුළත් කිරීමේදී ක්‍රීඩා විෂය ද ඇතුළත් කිරීමට පියවර ගන්නවා.

සුරේෂ් සුබ්‍රමනියම් මහතා මා සමඟ කතා නොකලා නම් අද මෙම අරමුදල ආරම්භ කිරීම සිදු නොවන්නට ඉඩ තිබුණා. ඒ නිසා යළිත් මා එතුමාට ස්තුති කරනවා. මේ රටේ ක්‍රීඩාව ඉදිරියට ගෙන යෑමට, දියුණු කිරීමට හා ඒ වෙනුවෙන් කැපවෙන අයට ආණ්ඩුවක් හැටියට අප සහයෝගය ලබා දෙනවා. ක්‍රීඩා සංගම්හි මූලික අරමුණ විය යුත්තේ ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා ගැනීමයි. ඒ මඟින් රටට කීර්තියක් ඇති කර ගැනීමට හැකි වෙනවා.

ක්‍රීඩා ඇමැතිතුමා ද මේ කටයුතු ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබෙනවා. එසේම නව නීති ද සකස් කර ගෙන යනවා. මෙම මුල්‍යාධාර තුළින් හා අනකුත් ආධාර තුළින් ආසියානු හා ජාත්‍යන්තර මට්ටමේ රන් පදක්කම් දීනා ගත හැකි රටක් බිහි කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ඔලිම්පික් පදක්කම් ලාභිනී

සුසන්තිකා ජයසිංහ මහත්මිය-

ඔලිම්පික් ක්‍රිඩා උළේලේ දී මා ලෝකඩ පදක්කම දිනුවත් එය රිදී පදක්කම බවට පෙරලුණාට පසු එය මා ගත් බව අපේ රටේ හුඟාක් දෙනා දැන ගෙන හිටියේ නැහැ. එහි නියම ගෞරවය හිමි විය යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතාටයි . ඒ වෙනුවෙන් අද මා ගරු අගමැතිතුමාට හිස නමා ගෞරවය පුද කරනවා. රිදී පදක්කම ලැබීමෙන් නියම ගෞරවය මට ලැබුණේ අදයි. ඒ සඳහා ලැබුණු වටිනාකම ඇගයීම අද ඔබතුමා විසින් ලබා දුන්නා.

මගේ මෑණියන් කිරි කපපු කාන්තාවක්. පියා රියැදුරෙක්. ඔබතුමා විපක්ෂ නායක ලෙස සිටින කාලයේ මා ඔලිම්පික් පදක්කම ගන්න අමෙරිකාවට යැමට මට අවසරයක් තිබුණේ නැහැ. මට ඒ සඳහා වීසා ගැනීමට පූර්ණ අනුග්‍රහකත්වය ලබා දුන්නේ ඔබතුමායි. එය කිසිවෙක් දන්නේ නැහැ. මා වීසා කාර්යාලවලට ගියේ නැහැ. එදා මට එවැනි අනුග්‍රහකත්වයක් ලබා දුන් ඔබතුමා අද අපේ රටේ අගමැතිතුමායි.

ඔලිම්පික් උළෙල නියෝජනය කරන කණ්ඩායම ඉදිරියේ අද රටේ සංවර්ධනය පෙරටු කර ගෙන ගමට ක්‍රීඩාව ගෙන යාමට මග පාදමින් අද ආරම්භ කළ අගමැති ක්‍රිඩා අරමුදල සම්බන්ධයෙන් පුදුමාකර සතුටක් සහ ආඩම්බරයක් දැනෙනවා. ක්‍රිඩාවේ වටිනාකම සහ කලමනාකරණ දෙස බලන විට අද ක්‍රිඩක ක්‍රීඩිකාවන් ට හොඳ වටිනාකමක් ලැබී තිබෙන බව කිව යුතුයි.

එම අවස්ථාවට ක්‍රීඩා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා, සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා, හැටන් නැෂනල් බැංකුවේ සභාපති දිනේෂ් වීරක්කොඩි, ඔලිම්පික් පදක්කම්ලාභි ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ ඇතුළු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.

ඡායාරූප- හිරන්ත ගුණතිලක


නව අදහස දක්වන්න