වෛද්‍යවරුන් රාජකාරිය අමතක කර පෝස්ටර් ගැසීමේ තත්ත්වයට පත්වෙලා | දිනමිණ

වෛද්‍යවරුන් රාජකාරිය අමතක කර පෝස්ටර් ගැසීමේ තත්ත්වයට පත්වෙලා

බුද්ධිකා ඉඹුලාන
සිතාරා සේනානි

වෛද්‍යවරුන් අද තමන්ගේ රාජකාරිය අමතක කර පෝස්ටර් ගැසීමේ තත්ත්වයට පත්ව ඇති බව සම කැබිනට ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

‍වෛද්‍ය සංගමයට දැන් මානසික රෝගයක් වැළඳී ඇති බවත්, වෛද්‍ය සභාව අහෝසි කිරීමට තමා සූදානම් වන බවට එම සංගමය පෝස්ටරයක් ගසා ඇත්තේ ඒ නිසා බවත්, ඇමැතිවරයා කියයි.

ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පෙරේදා (8) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු වෛද්‍ය සංගමය නමින් අලවා ඇති පෝස්ටරය සම්බන්ධයෙන් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා,

මම අහන්න කැමතියි මේ අය හැසිරෙන්නේ වෛද්‍යවරුන් විදිහට ද, නැතිනම් පෝස්ටර් අලවන වෙනත් අය විදිහට ද කියලා. මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබුණේ අවරුදු 100ක් පමණ පැරණි වෛද්‍ය සභා පනත කාලයට ගැලපෙන පරිදි සංශෝධනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් තමන් ඉල්ලා අස්වන බවයි. වෛද්‍ය සභාව පිහිටුවා තිබෙන්නේ වෛද්‍යවරුන්ගේ අයිතීන් රැක ගන්න නෙවෙයි, ජනතාවගේ අයිතිය ආරක්ෂා කර දීමටයි. වෛද්‍ය වෘත්තියේ විනය කඩ කිරීම නිසා විනය ක්‍රියාමාර්ගවලට භාජනය වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් දෙදෙනෙක් ඡන්දයෙන් වෛද්‍ය සභා සාමාජිකයන් ලෙස පත්ව සිටිනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් 4 දෙනෙක් මේ වනවිට එම සභාවේ ඉඳගෙන සිටිනවා. වෛද්‍ය සභාව වෘත්තීය සමිති සාමාජිකයන්ට හිඳ ගැනීමට ලැබෙන ආයතනයක් බවට පත්ව තිබෙන්නේ ඒ විදිහටයි. මම එදා රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරද්දී මේ සභාවට අපේ සංගමයේ සාමාජිකයා ලෙස වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා පත් කර යැව්වා. ඔහු එතැනට යැව්වේ වෘත්තීය සමිති දේශපාලනය කරන්න නෙවෙයි. ඔහු වෛද්‍ය සභා සාමාජිකයකු ලෙස එම තනතුරේ වගකීම් ඉටු කළා මිස දේශපාලනය කරන්න ගියේ නෑ.

වෛද්‍ය වෘත්තියේ යෙදී සිටියදී වැරදි කරන වෛද්‍යවරුන් සම්බන්ධයෙන් කටයුතු කරන්න නම් වෛද්‍ය සභාවේ ස්වාධීන පුද්ගලයන් සිටිය යුතුයි. ඒත් දැන් සිදුවන්නේ වැරදි කරන තමන්ගේ සාමාජිකයන් ආරක්ෂා කිරීමට වෛද්‍ය සභාවේ කටයුතු කරන වෛද්‍ය වෘත්තීය සමිති නියෝජිතයන් කටයුතු කිරීමයි.

ඒ නිසා අපේ වෛද්‍ය සභාවත් එංගලන්තයේ වෛද්‍ය සභාව මෙන් නිදහස් හා ස්වාධීන නියෝජිතයන්ගෙන් සමන්විත වෛද්‍ය සභාවක් බවට පත්කර ගැනීමට හැකි පරිදි වෛද්‍ය සභා පනත සංශෝධනය කළ යුතුයි.

ඒ වගේම, රජයේ රෝහල්වල තිබෙන ඖෂධ තොග පිළිබඳ විස්තර පරිගණක ගත කොට ඇති අතර යම් ඖෂධයක් අවසන් වූ විට එම ඖෂධ පිටතින් මිල දී ගැනීමට රෝහල් අධ්‍යක්ෂවරුන්ට බලය පවරා තිබෙනවා.

ඒ නිසා රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් ඇතිවිමට ඉඩක් නෑ.

රජයේ රෝහල්වල වසරකට අක්ෂි ශල්‍යකර්ම 84000ක් පමණ සිදු කරන අතර, අක්ෂි කාච බද්ධ කිරීමේ ශල්‍ය කර්ම සඳහා රුපියල් 30,000 ක් පමණ වන ලෝකයේ ඉහළම තත්ත්වයයේ අක්ෂි කාච අමෙරිකාවෙන් ගෙන්වා දීමට අපි කටයුතු කළා. ඒවා රෝගීන්ට ලබා දෙන්නේ නොමිලේ. එසේ වුවත් නොමිලේ සිදු කෙරෙන අක්ෂි ශල්‍යකර්මවලට ඇතැම් වෛද්‍යවරුන් අකුල් හෙළනවා. නොමිලේ සිදු කෙරෙන අක්ෂි ශල්‍යකර්ම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම මාධ්‍යයේ වගකීමයි.

නව අදහස දක්වන්න