ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තරය අගය කර තිබෙනවා | දිනමිණ

ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තරය අගය කර තිබෙනවා

ස්වර්ණා විජේකෝන්
මහින්ද අලුත්ගෙදර

වැට් බද්දෙන් චැනල් සේවාව නිදහස් කළා
මංගල සමරවීර

වැට් වෙනුවට වෙනත් බද්දක් හඳුන්වා දෙන්න
බන්දුල ගුණවර්ධන

සෑම ප්‍රදේශයකටම මුදල් වෙන්කර තිබෙනවා
රවී කරුණානායක

බදු නිසා කලාව කඩා වැටිලා
දයාසිරි ජයසේකර

යහපාලන ආණ්ඩුව යට‍තේ ස්ථාපිත කර තිබෙන ස්වාධීන කොමිසන් සභා ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ජාත්‍යන්තරයේ පැසසුමට ලක්ව තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප්‍රකාශ කළේය.

ස්වාධීන කොමිසන් සභා හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වී තිබෙන බව පැවසූ ඒ මහතා ඒ ඒ කොමිසන් සභා පිහිටුවන ලෙස පසුගිය රජයෙන් ඉල්ලීම් කළද එම ඉල්ලීම් ඉටු නොකළ බව ද ස්වාධීන කොමිසන් හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ වත්මන් රජයට හැකි වී තිබෙන බව ද පෙන්වා දුන්නේය.

වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව රැස්විය. වාර්තා, ලිපි ලේඛන, පෙත්සම් පිළිගැන්වීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන් අසන ලද ප්‍රශ්න සඳහා ඒ ඒ විෂය භාර ඇමැතිවරු පිළිතුරු ලබා දුන්හ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව සහ එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භ විය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා - මේ රටේ ස්වාධීන ඡන්දයක් තිබෙනවා කියා තහවුරු වුණේ මැතිවරණ කොමිසම ක්‍රියාත්මක කළ පසුවයි. 2015 ඡන්දය වෙන්න පුළුවන්. මේ වසරේ ඡන්දය වෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම ව්‍යවස්ථාදායක මණ්ඩලය ප්‍රතිසංස්කරණය කිරීමෙන් නියම ව්‍යවස්ථාදායක මණ්ඩලයක් අපි ඇති කළා.

2001 ඇතිකළ ව්‍යවස්ථාදායක මණ්ඩලය මෙන්ම මේ මණ්ඩලය පත්කර පසුව ස්වාධීන කොමිසන් පත්කළා. ස්වාධීන අධිකරණ කොමිසමක් අද මේ ‍රටේ තිබෙනවා. එදා මේ රටේ අගවිනිසුරුවරියට හෝ ආරක්ෂාවක් තිබුණේ නැහැ. අද ස්වාධීන අධිකරණ කොමිසමක් නිසා මුළු

අධිකරණ කොමිසම, අධිකරණ සේවයටම ඒ සේවය ලබා දී තිබෙනවා. දෙවනුව මැතිවරණ කොමිසමක් තිබෙනවා. අද ඒ කොමිසම තීන්දු තීරණ ගන්නවා. මේ මැතිවරණ කොමිසම තමයි ක්‍රියාත්මක කරන්නේ. මේ මැතිවරණ කොමිසම ඉදිරියට යනවා. අපි නෙවෙයි කරන්නේ. අපිට බලපෑම් කරන්න බැහැ. අපි ඇතිකර තිබෙන අලුත් නීතිය සහ මැතිවරණ කොමිසමට ලබා දී තිබෙන බලපෑම් නිසා ඒ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඒ වගේම ස්වාධීන රජයේ කොමිසමක් ඇතිකර තිබෙනවා. ඒ හරහා රජයේ සේවකයන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න හැකිව තිබෙනවා. අල්ලස් හා දූෂණ කොමිසමක් තිබෙනවා.

ඒවායේ වැඩකටයුතු කරගෙන යනවා. මානව හිමිකම් කොමිසමක් තිබෙනවා. අද මේ ලංකාවේ තිබෙන ස්වාධීන ක්‍රමය ගැන ලෝකයම ප්‍රසාදය පළකරනවා. අපි මේක මීට පෙර ඉල්ලා සිටියා. ඒ සඳහා දුන්නේ නැහැ. අද මේ ක්‍රමවේදය කෙතරම් හොඳයි ද කියනවා නම් දැන් වැඩි වැඩියෙන් ඡන්දය ඉල්ලනවා. පළාත් සභා ඡන්දය දෙනවා. අපි පාර්ලිමේන්තු මැතිවරණය තිබ්බා. අපිට අවාසි වෙලාවක ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය තිබ්බා. අපි වෙලාවට ඡන්දය තිබ්බා. අපි පැරදුණා. අපි ඡන්දය තියලා තිබෙනවා.

අද මේ රටේ තිබෙන මාධ්‍ය නිදහස බලන්න. එදා මෙලෙස තිබුණා නම් කුමක්ද සිදුවන්නේ. කී දෙනෙක් ජීවතුන් අතර ඉන්නවාද? අද ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තිබෙනවා. ඒ ගැන වාද කරන්න නොහැකි නිසා කෝ ඡන්දය කියා අහනවා. අපි ඡන්දය තියනවා. බයවෙන්න එපා. අපි දැන් සාකච්ඡා කරන්නේ ඒ ඡන්ද ක්‍රමය ගැනයි. මේ ක්‍රමයට යනවාද, පරණ ක්‍රමයට යනවාද කියා සාකච්ඡා කරනවා. නීතිය ගෙනාවොත් සම්මත කරන්නම්.

මේ සියලු ඡන්ද එකට තියන්න. නැතිනම් 5 ක් ඡන්ද එකට තියන්න පුළුවන්. එකක් වෙනම තියන්න පුළුවන්. ඒක මැතිවරණ කොමසාරිස්ට තීරණය කරන්න පුළුවන්. රාජ්‍ය සේවා කොමිසමට පවතින ප්‍රශ්න විසඳන්න පුළුවන්. පඩි වැඩිකරන කොමිසමක් තිබෙනවා. අමාත්‍ය මණ්ඩලයේ දී ගත් තීරණයක් වෙනස් කර නැහැ. අමාත්‍ය මණ්ඩල තීන්දුවක් ක්‍රියාත්මක වන්නේ ස්ථිර කළ පසුවයි. ස්ථිර කළ අමාත්‍ය මණ්ඩල තීන්දුවක් තිබුණේ නැහැ. ප්‍රශ්නයක් තිබෙනවා කියා හඳුනාගෙන තිබෙනවා.

ඇයි අද වි‍රෝධතා, උද්ඝෝෂණ කරන්න පුළුවන් මිනිස්සු සුදු වෑන්වල රැගෙන ගොස් මරන්නේ නැති නිසයි. ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ ක්‍රියාත්මක වෙනවා කියන විට ඊට විරුද්ධ වෙන්නේ නැහැ. අද ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකර තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවීමෙන් පසු මේ ඇතිකර තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය අද රටේ තිබෙනවා. එය කවුරුත් පිළිගන්නවා. මාධ්‍ය පිළිගන්නවා. අද නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. අද ඡන්ද තියනවා. මේ ස්වාධීන කොමිසන්වල අඩුපාඩු තිබෙන්න පුළුවන්. ඒවායේ අඩුපාඩු තිබුණත් මේ රටට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ස්ථාපිත කර තිබෙනවා. අපි සැම එක්ව ඒ තත්ත්වය දී තිබෙනවා. අපි සියලු දෙනාටම එහි වාසිය එනවා.

මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා -මහින්ද රාජපක්ෂ මහතා සභාවේ සිටීම ගැන සතුටු වෙනවා. එකතු කළ අගය මත බදු සංශෝධන පනත අද විවාදයට ගන්නවා. බදු සම්බන්ධයෙන් වැදගත් තීරණ කිහිපයක් අද ගන්නවා. චැනලින් සේවය උපයෝගී කරගන්නා ජනතාවට වැට් බද්දෙන් නිදහස් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. මේ සංශෝධනයෙන් සෞඛ්‍ය ආයතන, චැනල් සේවා ආයතන වැට් බද්දෙන් නිදහස් වෙනවා. කාමර ගන්නවා නම් පමණක් බද්ද අදාළ වෙනවා.

උපකරණ, චැනල් සේවා ආදියට බදු සහන ලබා දෙනවා. මිලියන 15 ක් දක්වා මධ්‍යම පාන්තික තට්ටු නිවාස විකිණීමේදී බදු අයකරන්නේ නැහැ. සංචාරකයන් වෙනුවෙන් වැට් බදු සහන දෙමින් මෙරටට එන සංචාරකයන් මිලට ගන්නා භාණ්ඩ සඳහා ගුවන් තොටුපළේ දී සියයට 15 ක වැට් බද්ද ලබාගන්න පුළුවන්. සංචාරකයන්ගෙන් ලැබෙන ආදායම ඩොලර් මිලියන 4000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඩොලර් මිලියන 7000 දක්වා සංචාරක ආදායම ඉහළ ‍නැංවීම වෙනුවෙන් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. මේ රජය දිගු කාලීන වැඩපිළිවෙළක් ආරම්භ කරමින් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා. අපේ රට ඉදිරියේ සම්බාධක තත්ත්වයක් තිබුණා. ඒ තත්ත්වය වෙනස් කරමින් අපිට ජී. එස්. පී. බදු සහනය ලබාගන්නට හැකි වුණා.

අපේ ප්‍රධාන ඉලක්කය වක්‍ර බදු අඩුකර සෘජු බදු පුළුල් කිරීමයි. ලිපිගොනු 48850 ක් පමණයි පසුගිය කාලය දක්වා මේ රටේ තිබුණේ. නමුත් මේ වන විට 336671 ක් බදු ලිපිගොනු ආරම්භ කරන්න හැකිව තිබෙනවා. මෙලෙස අපි සෘජු බදුවලින් සියයට 18 ක ආදායමක් ලැබෙනවා. මෙය සියයට 60 යි 40 යි බවට පත්කරන්න කටයුතු කරනවා.

එසේ කරන්න හැකි නම් 2020 වන විට වැට් බද්ද සියයට 2.5කින් අවම කරන්න පුළුවන්. මෙසේ යන විට වැට් බදු පනතේ හා නව බදු පනතේ සංශෝධන ඇත්නම් ඒවා වෙනස් කරන්න පුළුවන්. ඒ සියල්ල නිවැරැදි කරන සංශෝධනය මේ මාසයේ පාර්ලිමේන්තුවට ගේනවා. මෑතකදී එන්ජින් ධාරිතාවය 1000 ට අඩු වාහනවල බදු ඉහළ නැංවූවා. ඒ තුළ මෙතෙක් සිදුවූ ජාවාරම් නතර කරන්න පුළුවන්.

සාමාන්‍ය මධ්‍යම පාන්තික ජනතාවට වාහන ලබාදීමේ අරමුණින් පසුගිය කාලේ බදු අඩු කළත් මෑතකදී වාහන සුනාමියක් බවට පත්වුණා. දළ වශයෙන් මසකට වාහන 4000 ක් පමණ පැමිණියා. ඒ නිසා කොළඹ වාහන තදබදයක් ඇතිවුණා. මේ තුළ අපේ විදේශ විනිමය පිරටට ගලාගෙන ගියා. පොඩි වාහන සඳහා ඩොලර් මිලියන 300 ක් පමණ වියදම් කළත් මෑතකදී විශාල මුදලක් වැය කළා.

මේ ගැන සලකා බලා අපි මේ තීන්දුව ගත්තා. එලෙස තීන්දු නොගත්තා නම් ඩොලරය ශක්තිමත් වන විට තවත් වැඩි මිලක් ගෙවන්න වෙනවා. පසුගිය රජයට වඩා අදත් මේ වාහන රුපියල් ලක්ෂ 4 ක් පමණ ලාභයි. දුම්රිය ප්‍රශ්නය ගැන ඇමැති මණ්ඩලයේදී යෝජනාවක් සම්මත වුණා. ඊට මම දැඩි ලෙස විරුද්ධ වුණා. දුම්රිය සේවකයන්ට වැඩි කිරීම නිසා නොවේ. නමුත් මේ කියන ලෙස පඩි වැඩිකිරීම කළා නම් විශාල අර්බුදයක් සිදුවෙනවා. ඒ හරහා රාජ්‍ය සේවයේ විශාල අර්බුදයක් වෙනවා.

නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩේකලනාදන් මහතා මුලසුනට පැමිණියේය.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා (ජවිපෙ) - ස්වාධීන කොමිෂන් සභාවල ඉහළ නිලධාරීන්ට වැටුප් වැඩිකිරීම ඇතුළු විශේෂ වරප්‍රසාද ලබාදීමට යෝජනා වී තිබෙනවා. කාර් බලපත්‍රය පවා මේ අයට ලබා දෙනවා. නමුත් මේ කොමිෂන් සභා නිසා රට තුළ වෙනසක් සිදු වී තිබෙනවද? රාජ්‍ය සේවය තුළ වෙනසක් සිදුව තිබෙනවාද කියා දැනගන්න මම කැමතියි.

තමාට ලැබෙන ලක්ෂ තුනක වැටුපෙන් තනිකඩයෙකුටවත් ජීවත් වෙන්න බැහැ කියලා සරත් ෆෝන්සේකා මහතා ප්‍රකාශ කළා. එතකොට සාමාන්‍ය ජනතාව ජීවත් වෙන්නෙ කොහොමද? ආර්ථිකය පතුලට වැටිලා අපි කියන්නේ බදු පනවන්න එපා කියා නෙවෙයි. නමුත් යම් ක්‍රමවේදයක් තිබිය යුතුය. ජනතාව තමන්ගේ ප්‍රවාහන කටයුතු හැකි අයුරින් ඔවුන් විසින්ම සලසා ගන්නවා. නමුත් ඒවටත් බදු ගසනවා. සෘජු බදු හා වක්‍රබදු අනුපාතය දිනෙන් දින වැඩිවෙනවා.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා - මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න පොරොන්දු දෙමින් අපි මේ ආණ්ඩුව පිහිටුවා තිබෙනවා. ස්වාධීන මත දරන අය එකඟ වෙයි, මේ රජය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර තිබෙනවා කියා. මේ රටේ පරිපාලනය, නිදහස සැමට භුක්ති විඳින්නට අවස්ථාව ලැබී තිබෙනවා. ස්වාධීන කොමිසන් සභා ක්‍රියාත්මක කරන විට යම් යම් අඩුපාඩු තිබෙන්න පුළුවන්. මේවා ක්‍රියාත්මක කර ඒවා ශක්තිමත් කිරීම අවශ්‍ය වෙනවා.

මත්තල ගුවන් තොටුපල, හම්බන්තොට වරාය, නොරොච්චෝල බලාගාරය ආදිය සඳහා ලබාගත් විශාල ණයක් අපිට ගෙවන්න වෙලා තිබෙනවා. හම්බන්තොට වරායෙන් ආදායම් උපයන මට්ටමට ගෙනවිත් තිබෙනවා. අපේ අපනයන ශක්තිමත් කළ යුතු වෙනවා. අපිට ශක්තිමත් රටක් නිර්මාණය කරන්න ඕනෑ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා (එ.ජ.නි.ස) - හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා මේ රටේ වැට් බදු සම්බන්ධයෙන් බරපතළ අර්බුදයක් ඇති කළා. පසුව වැට් බද්ද සියයට 15 දක්වා වැඩි කළා. මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. එවිට ශ්‍රේෂ්ඨාධිකරණය පැවැසුවේ සියයට 15ක වැට් බද්ද අය කිරීම සාධාරණ නොවන බවයි. පිටු 500කින් මම කියා තිබෙනවා වැට් බද්දෙන් සිදුව තිබෙන අර්බුදය පිළිබඳව.

වැට් වෙනුවට නව බද්දක් එනවා නම් හොඳයි. අපේ රටේ දියුණු ගිණුම් ක්‍රමයක් නැති නිසා වැට්වලට වඩා නැවත ගෙවීමක් නොවන ක්‍රමයක් ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමු විය යුතු වෙනවා.

පත්කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා මුලසුනට පැමිණියේය.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (එ.ජ.නි.ස) - කලාකරුවන් අනාථයන් කරන ක්‍රියාදාමයන් සිදුවෙමින් තිබෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අද වර්ධනයක් සිදුවුණත් වැඩිම වර්ධනය පෙන්නුම් කළේ 2012 වසරේ. පසුගිය වසර වනවිට එම අගය 3.5 දක්වා පහත වැටී තිබෙනවා. ඉදිකිරීම් කටයුතුවල නිරත ඇතැම් අයට තමන්ගේ මුදල් ගන්න නොහැකි තත්ත්වයක් අද තිබෙනවා.

ඒ නිසා කර්මාන්තයේ ඉන්න අය අර්බුදයට ලක්වෙලා. මහල් නිවාස ඉදිකරන්න විශාල ඉල්ලුමක් තිබුණා. මේ සඳහා ආණ්ඩුව සියයට දෙකක බද්දක් ගැසුවා. ඒ නිසා තට්ටු නිවාසවල නිවසක් මිලට ගන්න කිසිවෙකු කැමැති නැහැ. ගුවන් තොටුපලේ දී සියයට 15ක් අය කළ වැට් බද්ද යළි නොගෙවීම ඉතා වැදගත්. එය සංචාරක ආකර්ෂණ ඉහළ නංවන්න හැකියි.

විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා - රාජ්‍ය සේවා කොමිසන් සභාවල ප්‍රතිඵල නිසා අපේ රටට විශාල කීර්තියක් ඇතිව තිබෙනවා. ඇතැම් කොමිසන්වල තවමත් ප්‍රතිඵල ලැබී නැහැ. නමුත් අපි යායුතු ඉලක්කය දන්නවා.

රාජ්‍ය සේවයේ ඉහළ මට්ටම පමණක් ස්වාධීන කර වැඩක් නැහැ. අපි බලාපොරොත්තු වූ දේ අද සිදුවෙන්නේ නැහැ. ඇතැම් විට රාජ්‍ය සේවයේ ඉහළ සිට පහළ සේවකයා දක්වා ස්වාධීන වෙන්න ඕනෑ.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා (එ.ජ.නි.ස.) - රාජ්‍ය සේවයේ ඇතැම් නිලධාරීන් දේශපාලන කටයුතු කරන බවට කතා කරනවා. නමුත් අයුතු බලපෑමක් කරන්න බැහැ. එම නිලධාරීන්ගේ මතය ප්‍රකාශ කරන්න පුළුවන්. අයුතු බලපෑමක් කරනවා නම් වැරැදි. ඒ නිසා අපි දරුවා සමඟ අපවිත්‍ර ජලය විසිකළ යුතු නැහැ. කොමිසන් සභාවල කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු වෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් කිසිවක් ක්‍රියාත්මක කරන්නේ නැහැ.

දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී විමලවීර දිසානායක මහතා (එජනිස) - මේ රටේ ජීවන වියදම සම්බන්ධයෙන් ජනතාව පීඩාවට පත්වූ අවස්ථාවක ස්වාධීන කොමිසන්වල වැටුප් වැඩිකිරීමට අපි විරුද්ධ නැහැ. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා - අපි පඩියක් ගන්නවා නම් එහි ප්‍රතිලාභ තිබිය යුතු වෙනවා. වෙනත් රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෘත්තීයවේදයෙන් පසුව දේශපාලනයට එනවා.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා - එක් මන්ත්‍රීවරයෙක් පමණක් ජනාධිපතිවරයා විසින් අධීක්ෂණ මන්ත්‍රීවරයකු ලෙස පත්කර තිබෙනවා.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී කාංචන විජේසේකර මහතා (එ.ජ.නි.ස.) - 2016 වසරේ සිට මන්ත්‍රීවරුන් 55 දෙනකු අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස පඩි ගන්නවා.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා - පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් ජනතාව විසින් තෝරාපත්කර ගන්නේ නම් ඔවුනට සාධාරණ මුදලක් ගෙවිය යුතු වෙනවා.

මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා - වියදම සම්බන්ධයෙන් අපි කතා කරනවා. රජයට බදු හරහා ආදායම් ලැබෙනවා. ආදායම ඉහළ මට්ටමක තිබෙනවා නම් වියදම් වැඩි කරන්න පුළුවන්. අපි අධ්‍යාපනයට, සෞඛ්‍යයට, ආරක්ෂාවට මුදල් වෙන්කර තිබෙනවා. සමෘද්ධිය වැනි සුබසාධක කටයුතුවලට ද මුදල් වෙන්කර තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රවී කරුණානායක මහතා (එජාප) - වට්ටපු ආර්ථිකයක් ගොඩනඟා අපිම ජනතාවට ප්‍රතිලාභ දෙන්න කටයුතු කළා. මීට පෙර ආණ්ඩු ගත් ණය ගෙවන්න අවශ්‍යයි. ඒ සඳහා ආදායම් වැඩි කළ යුතු වෙනවා. නමුත් අපේ ආදායම ප්‍රමාණවත් නැහැ. රේගුවේ ආදායම පහළ ගොස් තිබෙනවා. ජනවාරි 8 පෙරළියේ ප්‍රතිලාභ ජනතාවට දිය යුතු වෙනවා. අද රටේ හැමතැනටම මුදල් වෙන්කර තිබෙනවා. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකට හප්පන දේශපාලනඥයන් එක්සත් ජාතික පක්ෂයේත් ඉන්නවා. ඒ නිසා ප්‍රායෝගිකව අපි කටයුතු කළ යුතු වෙනවා.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊ.පී.ඩී.පී.) - මෙවැනි කොමිසන් සභාවන් සඳහා බලතල දිය යුතු වෙනවා.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා (එ.ජ.නි.ස.) - සෘජු බදු වැඩි කරනවා කිව්වත් අද සිදුව තිබෙන්නේ සෘජු බදු අඩුවීමයි. ඊළඟ වසර වන විට මෙය සාර්ථක වෙනවා කියා මුදල් ඇමැතිවරයා කිව්වට අපිට එහෙම පේන්න නැහැ.

පත්කළ මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා (එජාප) - ස්වාධීන කොමිසන් සභා අපේ ව්‍යවස්ථාවට ඇතුළු කරන්න පුළුවන් වුණා. 17 වැනි සංශෝධනය මඟින් එම කොමිසන් සභා ශක්තිමත් කරන්න කටයුතු කළා. 17 වැනි සංශෝධනය යටතේ එම කොමිසන් සභාවල යම් යම් ගැටලු තිබුණත් හොඳින් ක්‍රියාත්මකයි.

මේවායේ ස්වාධීනත්වය තහවුරු කරන්න විශාල උත්සාහයක් ගෙන තිබෙනවා. අපේ මානව හිමිකම් කොමිසම ඒ ශ්‍රේණියේ මට්ටමට පැමිණ තිබෙනවා.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මුලසුනට පැමිණියේය.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම ගමගේ මහතා (එජාප) - ස්වාධීන කොමිසන් සභා යථාර්ථයක් වුණේ වත්මන් ආණ්ඩුව යටතේ.

ස්වාධීන කොමිසන් සභා නවයෙහි සභාපතිවරුන් හා සාමාජිකයන් වෙත දැනට ගෙවනු ලබන පාරිශ්‍රමිකයන් හා අනෙකුත් දීමනා සම්බන්ධ යෝජනාව සම්මත විය. එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත විය.


නව අදහස දක්වන්න

Or log in with...