විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ දැල් පන්දු කණ්ඩායම | දිනමිණ

විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ දැල් පන්දු කණ්ඩායම

අසේල කුරුළුවංශ

විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ද සමාජයේම කොටසකි.මෙරට තුළ එවැනි දරුවන් ලක්ෂ හතක පමණ පිරිසක් ජීවත් වන බව විශේෂ ඔලිම්පික් කමිටුවේ සභාපති ආචාර්ය නිමල් කාරියවසම් මහතා පවසයි. සාමාන්‍යය තත්ත්වයේ ළමයකු සිටින මවකගේ හා පියකුගේ එකම අපේක්ෂාව මිය යන්නට පෙර දරුවා උස් මහත්ව සිටිනු දැකීමය. ඒ එසේ වුවහොත් තමන් මෙළොව හැර ගිය පසු වුවද ළමයාට කාගේ හෝ සරණක් නොමැතිව තනිව ජීවිතය ගෙන යන්නට හැකි නිසාය. එහෙත් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සිටින මව්පියන්ගේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය.දරුවා උස් මහත්ව තරුණ වියට පත් වුවද ඔවුන්ට නිදහසේ දෙනෙත් පියා ගන්නට වාසනාවක් ලැබෙන්නේ නැත.ඒ ඔවුන්ගේ වියෝවෙන් පසු දරුවා මෙළොව තනි වේයැයි යන බිය නිසාය.මේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ මව්පියන් නිතර පීඩා විඳින ප්‍රශ්නයකි.

මෙම දරුවන්ගේ සුබ සිද්ධිය පිණිස ක්‍රියාත්මක වැඩසටහන් අපේ රටේ ඉතා අල්පය.මේ නිසාම දරුවන් බොහෝ විට කොටුවී සිටින්නේ නිවෙස් වලටය.විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් පාසල් කිහිපයක් රටේ ස්ථාපිත කර තිබුණද ඒවාට යොමු කෙරෙන දරුවන් සංඛ්‍යාවද ප්‍රමාණාත්මකව ඉහළ අගයක් නොගනී. මෙම දරුවන්ට විශේෂ ක්‍රියාකාරම් සිදු කිරීමේ හැකියාව තිබුණද ඒවා බොහෝ විට හඳුනා නොගැනෙන්නේ ඒ සඳහා වැඩසටහන් ඉතා අඩු බැවිනි.විශේෂ අවශ්‍යතා ඇති දරුවන්, සාමාන්‍යය දරුවන් මෙන් විවිධ ක්‍රියාකරකම්වල යෙදෙන්නට කැමැතිය.එය ඉලක්ක කර මධ්‍යම පළාත් ක්‍රීඩා අමාත්‍යංශය මගින් මේ දරුවන් වෙනුවෙන් ක්‍රීඩා තරග සංවිධානය කිරීමට පියවර ගෙන ඇත. මෙහි ප්‍රථම පියවර ලෙස මහනුවර දිස්ත්‍රික්යේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් පනස් දෙනකු තෝරාගෙන දැල් පන්දු කණ්ඩායමක් සකස් කිරීම පසුගියදා සිදු කෙරුණි. මෙ සිදුවූයේ, මහනුවර නාගරික ගෘහස්ථ ක්‍රීඩාගාරයේදීය.ඊට විශේෂ අවශ්‍යතා ඇති ගැහැනු දරුවෝ පනස් දෙනකුට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වී සිටියහ.

"ක්‍රීඩාවට විශේෂ අවශ්‍යතා ඇති දරුවන් යොමු කිරීමෙන් ඔවුන්ගේ මානසිකත්වය පමණක් නොව මව්පියන්ගේ මානසිකත්වයද යම් දුරකට සුවපත් වෙනවා.මන්ද මානසිකත්වයෙන් පසුවන දරුවන්ට අති විශේෂ හැකියාවන් තිබෙනවා. අප කළේ යුත්තේ එය නැවැරදිව හඳුනා ගෙන ඔවුන් ඒ දෙසට යොමු කිරීමයි.ලංකාවේ ලක්ෂ 07 ක් පමණ මෙවැනි දරුවන් සිටිනවා.ඔවුන්ගේ මව්පියන් ගත්තොත් එතන ලක්ෂ 14 ක්.මෙවැනි දරුවෙක් පවුලක සිටින විට ඒ පවුලේ සහෝදර සහෝදරියෝ ඇතුළු ළඟම ඥාතිපිරිසක්ද පීඩා විඳිනවා.මේ ප්‍රශ්නය නිසා ලංකාවේ පීඩාවට පත්වන ප්‍රමාණය ගත්තොත් ලක්ෂ 40 ක් විතර වෙනවා.එය ජනගනයෙන් 20 % ක පමණ කොටසක්.ඒකෙන්ම පේනවා මේ දරුවන්ගේ ප්‍රශ්නය ගැන අපි කතා කරන්න ඕන කියලා.මේ දරුවෝ හරිම හොඳයි.ඔවුන් තුළ තන්හාව,වෛරය,ක්‍රෝධය වගේ දුර්ගුණ නැහැ.මේ දරුවන් සතු කුසලතාව නිවැරදිව හඳුනා ගත්තොත් ඔවුන් සාමාන්‍යය දරුවෙකුට වඩා යම් යම් ක්ෂේත්‍රවලදී දක්ෂ බව පරීක්ෂණ මගින් තහවුරුව තිබෙනවා.අපි කළ යුත්තේ ඒ කුසලතාව නිවැරදිව හඳුනා ගැනීමයි."විශේෂ ඔලිම්පික් කමිටුවේ සභාපති ආචාර්ය සභාපති නිමල් කාරියවසම් මහතා එසේ පවසා සිටියේය.

හයසින්ත් විජේසිංහ මහත්මියගේ මෙහෙය වීමෙන් මෙම විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ දැල් පන්දු පුහුණු වැඩසටහන ආරම්භවූ අතර එහිදී හඳුනා ගන්නා දක්ෂ දරුවන් ගෙන් සමන්විත නෙට් බෝල් කණ්ඩායමක් සකස් කිරීමට නියමිතය.විශේෂ ඔලිම්පික් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දැල් පන්දු කණ්ඩායමක් යොමු කිරීම ඇගේ අරමුණය.

"මගේ දුව විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක්.එයා මහනුවර හිල්වුඩ් විදුහලේ ඉගෙන් ගන්නවා.ඇත්තටම මේ දරුවන්ට විශේෂ හැකියාවන් තිබෙනවා. අධ්‍යාපනයෙන් මේ දරුවන්ට ඉදිරියට යද්දී සීමා ඇති වෙනවා.මෙවැනි දෙයක් ක්‍රීඩා අමාත්‍යාංශය මුල් වෙලා ආරම්භ කිරීම අගය කළ යුතුයි.මේ දරුවන්ට තමන්ගේ හැකියාවන් පෙන්වන්න ලැබෙන අවස්ථා හරිම අඩුයි.මෙවැනි වැඩසටහන් මගින් ඔවුන්ගේ සැඟවුණු කුසලතා එළියට එනවා.තවත් පැත්තකින් අනිත් ළමයි එක්ක සාමුහිකව කොහොමද කටයතු කරන්නේ කියන අත්දැකීමත් ඔවුන් ලබනවා.ඇත්තටම ක්‍රීඩාව අපි කරන්නේ දිනන්නම නෙවෙයි.ඒකෙන් යහපත් සෞඛ්‍යය තත්ත්වයක් වගේම යහපත් මානසික මට්ටමක්ද ගොඩ නැගෙනවා." එසේ ප්‍රකාශ කළේ, විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක්ගේ පියකු වන චමින්ද උඩකොටුව මහතායි.

"මගේ දුවට වයස අවුරුදු 14 යි.දුව අම්පිටිය විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පාසලට යන්නේ.මට ඉන්නේ මේ දුව විතරයි.සමාජය විසින් මේ දරුවෝ කොන් කරනවා.අම්මා තාත්තා හැරුනාම ගොඩක් අය මේ දරුවෝ දිහා බලන්නේ වපර ඇහින්.සමහරු බලන්නේ සතුන් දිහා බලනවා වගේ.බස් එකක වුණත් මේ වගේ දරුවෙක් අරගෙන එන්න අමාරුයි.සමාජය මේ දරුවන්ව කොන් කරන නිසා අපෙන් පස්සේ දරුවන්ට මොකක් වෙයිද කියන ප්‍රශ්නය අපිට තිබෙනවා.අපිට විතරක් නොවෙයි මෙතන ඉන්න හැම අම්මා තාත්තම ඒ පීඩාව විඳිනවා.දරුවා සමාජයේ කවදා හරි තනි වෙයිද කියන බය අපිට තියෙනවා.පළවෙනි වතාවට තමයි දුව මේ වගේ ක්‍රීඩවලට යොමු වන්නේ.ගෙදරදී බෝලයක් අරන් එහාට මෙහාට දානවා.ගොඩක් වෙලාවට මෙයාලට ගෙදර හෝ ළඟපාතක සෙල්ලම් කරන්න යාළුවෝ නැහැ.ඒ නිසා මේ දරුවෝ මේ විදිහට එකතු කරලා ක්‍රීඩා කරන්න අවස්ථාවක් සැලසීමම මහ පිනක්." රසිකා නදීෂානි මහත්මිය පවසයි.

විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ව අපි අමතක කරන්නේ නැහැ.ඔවුන් අපේම සමාජයේ කොටසක්.ඇත්තටම මේ දරුවන් වෙනුවෙන් මෙවැනි වැඩසටහනක් කරනන් කල්ගියා වැඩියි කියලයි මම හිතන්නේ.මේ අවස්ථාවේ මූලික පියවරක් ලෙස අපි විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ දැල් පන්දු කණ්ඩායමක් හදන්න බලාපොරොත්තු වෙනවා.දරුවෝ විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරලා පුහුණුව සඳහා තෝරා ගන්නවා.ඉදිරියේදී ක්‍රිකට්,පාපන්දු වගේ ක්‍රීඩාවන්ද විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් ආරම්භ කිරීම මගේ අරමුණ.දිස්ත්‍රික් හා පළාත් ක්‍රීඩා තරගවලට මේ දරුවන්ගේ තරග ඉසව් ඇතුළත් කිරීම කෙරෙහිත් දැන් අවධානය යොමුව තිබෙන්නේ." යැයි මධ්‍යම පළාත් කර්මාන්ත, ක්‍රීඩා, වනිතා කටයුතු හා ග්‍රාම සංවර්ධන ඇමැති තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා එසේ පැවසීය.


නව අදහස දක්වන්න

Or log in with...