වැව්වලට අරක්ගත් කරදරකාර සැල්වීනියා | දිනමිණ

වැව්වලට අරක්ගත් කරදරකාර සැල්වීනියා

මාතලේ දිස්ත්‍රික් සමුහ - ඒ.ඒ.එල්.ඩයස්

මාතලේ දිස්ත්‍රික්කයේ ග්‍රාමීය වැව් බහුතරයක සැල්වීනියා ශාකය පැතිරය ගොස් ඇත. එම නිසා මෙම වැව් සියල්ල රොන් මඩින් පිරීයාමේ දැඩි අවදානමකට ලක්ව තිබේ. වැඩිකල් නොගොස් දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාණ්ත කටයුතුවලට මෙ'මගින් බලවත් තර්ජණයක් එල්ලවීම නොවැලැක්විය හැකිබව ගොවි සංවිධාන පවසති. දිස්ත්‍රික්කයේ ග්‍රාමීය වැව් අටසීයක් (800)පමණ ඇතත් මෙයින් සියයට 75ක් පමණ මෙම සැල්වීනියා උවදුරට ගොදුරුවී ඇත. මේ බව පෙන්නාදෙන ගොවි සංවිධාන මෙම සැල්වීනියා ශාකය ඉවත්කිරීමේ කිසිදු වැඩපිළිවෙළක් අදාළ අංශ මගින් මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම නිසා මෙම තත්ත්වය උග්‍රවෙමින් පවතින බව සඳහන් කරයි.

පෙර ග්‍රාමීය වැව් ශුද්ධ පවිත්‍ර කිරීමේ ක්‍රමයක් ගොවීන් ඒකරාශිවී ක්‍රියාත්මක කළත් දැනට එම තත්ත්වය ක්‍රමයෙන් අභාවයට යාම මෙයට හේතුවී ඇති බව මෙම ගොවි සංවිධාන නියෝජිතයින්ගේ ද මතයවී ඇත. රජය විසින් නව කෘෂිකාර්මික රටාවන් ගොවීන්ට හඳුන්වාදීමත් සමගම පැරණි ගොවිතැන් ක්‍රම සියල්ල වැළලීයාම දේශීය කෘෂිකර්මාන්තයේ පිරිහීමට ප්‍රධානතම හේතුව බව ඔවූහු පවසති.

මේ වනවිට වැව් අමුණු සියල්ල නඩත්තු කිරීම ගොවිජනසේවා දෙපාර්තමේන්තුවට පැවරී ඇතත් එම ආයතන විසින් මෙම කාර්යය නිසි ලෙස ඉටුනොකිරීම මහත් ගැටලුවක්වී ඇත. එබැවින් මෙය විසඳාලීමට රජය සෘජුව මැදිහත්විය යුතු බව ප්‍රදේහයේ ගොවි සංවිධාන අවධාරණය කරති.

මේ සම්බන්ධයෙන් තලකිරියාගම ප්‍රදේශසේ පාරම්පරික ගොවියකු වන ඩබ්ලිව්.ජී. ජයතිලක මහතා පැවසුවේ මෙසේය.

"ගමේ වැව් සියල්ලම පාහේ රොන්මඩවලින් පිරිලා. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ සැල්වීනියා ශාකය පැතිරීමයි. පෙරදී මෙන් දැන් ගොවීන් එක්ව වැව් ශුද්ධ පවිත්‍ර කරන්නේ නෑ. දැන් ඒ සියල්ල ගොවිජනසේවා අංශයට පැවරිලා. ගොවිජන සේවා නිලධාරින් මේ ගැන කිසිදු උනන්දුවක් දක්වන්නේ නෑ. මේ නිසා වැව් සියල්ල දැන් රොන් මඩින් ගොඩවෙලා. මේ ආකාරයෙන් තව ටික කලක් ගියොත් මේ වැව්වලින් වැඩක් වෙන්නෙම නෑ."

එච්.ජයසෝම මහතා නාරංගහමුලයාය ප්‍රදේශසේ පදිංචි ගොවියකි එච්.ජයසෝම මහතා. ඔහු පැවසුවේ මෙසේය.

"අපි වැඩි වශයෙන් ගොවිතැන් කරන්නේ වැව් ජලයෙන්. නමුත් මේ වනවිට වැව් රොන්මඩින් පිරිලා. මේ නිසා වැව්වල ජලධාරිතාවය ද ක්‍රමයෙන් අඩුවනවා. මෙම තත්ත්වය ග්‍රාමීය කෘෂිකර්මාන්තයට ඉතා තදින්ම බලපානවා.ඒ නිසා මෙම තත්ත්වය තවදුරටත් පැවතුනහොත් මේ වැව් සියල්ල පිට්ටනි බවට පත්වීම නොවළැක්විය හැකියි . සැල්වීනියා ශාකය පැතිරයාම ටිකෙන් ටක වර්ධනයවන නිසා මේ වැව රොන් මඩින් පිරීයාමද වැඩිවෙලා."

ඒ.විජේරත්න මහතාද පහලවැව ප්‍රදේශසේ ගොවි මහතෙකි. ඔහු මෙසේ සඳහන් කරයි.

"මීට ඉහත ග්‍රාමීය වැව් ඉතා හොඳ මට්ටමකින් පැවතුනා. ඒත් මේවනවිට මේ සියල්ල විනාශවෙමින් යනවා. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ආගන්තුක ශාකයක් වන සැල්වීනියා මෙම වැව්වල පැතිරයාම. මෙම තත්ත්වය නිසා වැව් රොන් මඩින් පිරීයාම වැඩිවෙලා. මේ නිසා වැවෟවල ජලධාරිතාවයද අඩුවෙමින් යනවා. මෙය කෘෂිකර්මයට බාධාවක්. අනාගතයේ මෙම තත්ත්වය කෘෂිකර්මාන්තයට සෘජුව බලපානවා. එය ග්‍රාමිය ආර්ථිකය කඩාවැටීමට ප්‍රබල හේතුවක්වන බැවින් රජයේ අවධානය මේ කෙරෙහි යොමුවීම අත්‍යවශ්‍යයි."


නව අදහස දක්වන්න

Or log in with...