වළගම්බා රජ සමයට අයත් ගණේවත්ත බෝධිමළු විහාරය | දිනමිණ

වළගම්බා රජ සමයට අයත් ගණේවත්ත බෝධිමළු විහාරය

දිවුලපිටිය ප්‍රදේශයේ ඇති පුරාණ විහාරස්ථාන අතරින් දිවුලපිටිය ගණේවත්ත පුරාණ බෝධිමළු විහාරය ප්‍රමුඛ තැනක් ගනියි. නුවර යුගයේ කලෙක සසුනේ භාරකරුවන් වූයේ බඩවඩනුවස් සසුන් ගත ගණින්වහන්සේලාය. “ගණින්වහන්සේලා” එක්ව මෙම විහාර බිමෙහි ලැඟුම්ගත් හෙයින් එම විහාරස්ථානය පිහිටි බිම ගණේවත්ත නම් විය.

ක්‍රිස්තු වර්ෂ 1700 දී ගොඩනඟා ඇති මෙම විහාරස්ථානයේ දැන් භාරකරීත්වය අස්ගිරි පාර්ශ්වයට අයත්ය.

බෝධිමළු පුරාණ විහාරය බොහෝ විහාරාංගයන්ගෙන් යුක්තව පවතින්නේ දිගුකලක සිටය. ඒ අතර මෙම විහාරස්ථානයේ පවතින සුවිශාල බෝධීන්වහන්සේ හා ටැම්පිට විහාරය සුවිශේෂය. එම බෝධීන්වහන්සේ වළගම්බා රජ සමයට අයත් බව ජනප්‍රවාදයේ පවති.

නුවර යුගයේ සම්ප්‍රදායක් වන ටැම්පිට විහාර ඉදිකිරීම එකල ජනප්‍රියව පැවති බව ඓතිහාසීය තොරතුරුවලින් අනාවරණය වේ. ඒ අනුව ටැම්පිට විහාර 02ක් දිවුලපිටිය ප්‍රදේශයේ ඉදිව තිබේ. ගණේවත්ත පුරාණ බෝධි විහාරය හා හපුවලාන ක්ෂේත්‍රාරාමය එලෙස ඉදි වූ විහාරස්ථාන දෙකකි. මෙම විහාරස්ථානයේ ඉදිව ඇති ටැම්පිට විහාරය හා ඉඳි පිළිමය ඉතා විසිතුරු අයුරින් නිමවා ඇත. බුදු මැදුර තුළ ඇඳ ඇති සිතුවම් නුවර චිත්‍ර සම්ප්‍රදායේ සැබෑ පිළිබිඹුවකි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙම ටැම්පිට විහාරය සංරක්ෂණය වේ. එහෙත් මේ වනවිට මෙම පිළිම වහන්සේ හා සිතුවම් විනාශය කරා ළඟා වෙමින් තිබෙන බව කනගාටුවෙන් මුත් කිව යුතුය.

ඉදිව ඇති නව වෙහෙර වහන්සේ සිත් පහන් කරන මාහැඟි නිර්මාණයකි. ගණේවත්ත පුරාණ බෝධිමළු විහාරයේ විෂ්ණු, කතරගම හා ගම්බාර යන දෙවිවරුන් වෙනුවෙන් ඉදිවූ දේවල ඇත. ඉතිහාස ගත තොරතුරු අනුව ගණේවත්ත පුරාණ බෝධිමළු විහාරයේ පළමු හා මුල් විහාරාධිපතින් වහන්සේ වන්නේ “ලින්දර ධම්මජෝති හිමිපාණන්ය. උන්වහන්සේ වැලිවිට අසරණ සරණ සරණංකර පිණ්ඩපාත සංඝරාජයාණන් වහන්සේගේ ශිෂ්‍යරත්නයක් වන පහතරට නායක හිමිපාණන්ගේ ශිෂ්‍යයකු බවට කරුණු අනාවරණය වේ. සංඝරාජ හිමිපාණන්ගේ ශාසනික මෙහෙවරේ අනූපම සේවයක යෙදුන ලින්දර ධම්ම‍ජෝති හිමිපාණන් එවකට ඉටු කළ සේවය ඉතා උසස් බව අද ද ඉතා ගෞරවයෙන් සිහිපත් කෙරේ.

කැලෑපිටිමුල්ලේ ධම්මරක්ඛිත, වේයන්ගොඩ සීලානන්ද, බලගල්ලේ සෝමරතන, නාගොඩ විමලරතන නාහිමිවරුන් අතීත විහාරාධිපතිවරුන් ලෙස ඉටුකර ඇත. එක් සමයක මෙම විහාරස්ථානය වල්බිහිව පාලු ස්වභාවයක් ඉසිලූ බව ද අතීත තොරතුරු නිරීක්ෂණයේදී දැනගන්නට ලැබේ. එහිදී ඉදිරිපත් වූ නාගොඩ සිරිනිවාස හිමියන් විසින් මහත් පරිශ්‍රමයකින් විහාරස්ථානය කලඑළි කිරීමට කටයුතු කර ඇත.

නූතන විහාරාධිපති දිවුලපිටිය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති වරාදල විමලබුද්ධි හිමිපාණන් විසින් මෙම විහාරස්ථානය කේන්ද්‍රකරගෙන ඉටුකරනු ලබන ආගමික ජාතික හා සාමාජික සේවය හෘදයාංගමව පැසසිය යුතුය. විහාරස්ථ දහම් පාසල දහස් ගණනක සදහම් පිපාසාව සංසිඳවන මනා තෝතැන්නක් වී තිබේ. විහාරස්ථානය හා අනුබද්ධ සමිති සමාගම් හා වෙනත් බහුජන සංවිධාන සිදු කරනු ලබන සාධනීය සේවය අනල්පය.

නෙත් පිනවන සිත් සනහන පරිසරයක ඉදිව ඇති ගණේවත්ත බෝධිමළු පුරාණ විහාරය සැදැහැවතුන්ට පමණක් නොව සතා සිව්පාවා ට පවා සෙත සදන, සෙවණ ගෙනෙන, දුක නිවන, කෙම්බිමක් ය.

අයි. එම්. අබේරත්න
දූනගහ සමූහ

නව අදහස දක්වන්න