මගුරු ගඟ තරණය මර බියෙන් | දිනමිණ

මගුරු ගඟ තරණය මර බියෙන්

බදුරලිය කළුගල -දෙහිපිටිය කම්බි පාලම ගංවතුරට විනාශ වී ඇතත් තවමත් එය ප්‍රතිසංස්කරණය නොකිරීමෙන් අතලේ, දෙහිපිටිය, කළුගල ජනතාව මගුරුගඟ හරහා දිවි පරදුවට තබා අබලන් හබල් ඔරුවකින් එගොඩ මෙගොඩ වෙති. වසර ගණනාවක සිට උණ බට පදුරකින් හා හබල් ඔරුවකින් එගොඩ මෙගොඩ වු ජනතාවගේ ඉල්ලීමට අනුව මහජන බැංකුවේ බදුරලිය ශාඛා කළමනාකාර තුමා ගේ මැදිහත් වීමෙන් 2014 වර්ෂයේදී රුපියල් ලක්ෂ ගණනක් වැය කර ප්‍රදේශයේ ජනතාවට ගමනා ගමන කටයුතු සඳහා ලබා දී තිබූ මෙම කම්බි පාලම 2017 වර්ෂයේ ඇති වූ ගංවතුරට විනාශ විය.

ගංවතුරින් වැල් පාලම විනාශ වී වසරකට වැඩි කාලයක් ගත වුවද තවමත් වගකිව යුත්තෝ නිහඬ නිසා කළුගල, දෙනිපිටිය, දික් පිටිය, හැඩිගල්ල, ජන උදාගම ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව මගුරු ගඟ තරණය කරන්නේ ජීවිත ආශාව අතහැර අබලන් හබල් ඔරු කබලකය. ඔරුව පැද යාම කළ යුත්තේද මගියාමය. ඔරුව එගොඩ මෙගොඩ රැගෙන යාම සඳහා ගඟ හරහා පිහිනා යා යුතු වේ. ඓතිහාසික කළුගල ආරණ්‍ය සේනාසනයට, කළුගල විහාරස්ථානයට, පාසලට, බදුරලිය නගරයට ගමන් කළ යුත්තේ මේ අනතුරුදායක හබල් ඔරුවෙනි. පාසල් දරුවන්, කාන්තාවන්, වයසක පුද්ගලයන්ට ඔරුව පැදීමට වාරු නැති නිසා ඔරුව පැදීමට හැකි අයකු එන තෙක් ගඟ ළඟ රැඳී සිටීමට සිදු වේ.

කළුගල රත්නසිරි මහතා -

කළුගල විහාරස්ථානයට යන උපාසක උපාසිකාවන්, දහම් පාසල් දරුවන් පමණක් නොව දානය රැගෙන යාම සඳහාද අබලන් ඔරුව යොදා ගන්න වෙලා. එය හරිම අවධානම් ගමනක්. තේ දළු, රබර් රැගෙන යන්න වෙලා තියෙන්නේ හැතැක්ම 05ක් 10ක් දුර මාර්ගවලින්. මාර්ගය හදලා දෙන්න කියලා ඉල්ලීම් කළත් ඒවා මගුරු ගඟේ ගහගෙන ගිහින්.’

කළුගල අතලේ එම්. කේ. සුමිත් මහතා, -

‘පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවට, ප්‍රදේශයේ දේශපාලන බලධාරින්ට සහ වගකිවයුතු සියලු දෙනාට දැනුම් දී ඇතත් ඒ සියල්ල ගඟට ඉනි කැපුවා වගෙයි. ගඟ ගැලුවම සැඩ පහර නිසා ඔරුව පදින්න බැහැ. අනෙක හැම කෙනාටම ඔරුව පදින්නත් බැහැ. ජීවිත බිලි ගැනීමට පෙර කළුගල වැල් පාලම තනා දෙන්න.’

මීගහතැන්න සමූහ

නව අදහස දක්වන්න