තනි කකුලේ වාරුවට ශක්තියක් දෙන්න | දිනමිණ


 

තනි කකුලේ වාරුවට ශක්තියක් දෙන්න

ලයනල් පී. පෙරේරා කැලණිය විශේෂ

ඔහු හැඩි දැඩි තරුණයෙකි. ආත්ම ශක්තියෙන් හා ධෛර්යයෙන් ජීවන අරගලයට මුහුණ දුන්නද ඔහුගේ කථාව සැබැවින්ම සංවේගජනකය. කැලණිය පෙතියාගොඩ මෑවැල්ල පාරේ පදිංචි විමල් ජයසිරි දිසානායක තනි කකුලකින් හෙබි තැනැත්තකු වුවද, දෙපය ඇති මිනිසුනට නොමැති ධෛර්යයක් ඔහු සතුය. ඔහු මෙවැනි ආබාධිත තත්ත්වයට පත්ව ඇත්තේ 2008 වසරේ නොවැම්බර් මස සිදුවූ හදිසි අනතුරක් නිසාය. අනතුරට ලක්වන විට ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ කොස්තාපල්වරයකු ලෙස සේවය කර ඇත.

කෑගල්ල පොලිස් කොට්ඨාසයේ පින්දෙණිය පොලිස් ස්ථානයේ සේවය කළ විමල් පාදය අහිමි වන විට කොස්තාපල් තනතුරෙහි වසර 9 මාස 4කි. සිය පාපැදියෙන් රාත්‍රි කෑම ගෙන ඒමට ගොස් නැවත එද්දි ලොරි රථයක් තම පාපැදිය සහ තමා යට කර දැමූ ඔහු පවසයි. රෝහලේ මාස කිහිපයක්ම ගත කිරීමට සිදුව ඇති විමල් සැත්කම් 16කට මුහුණ දී ඇත. වෛද්‍යවරුන් ගේ අවසාන තීරණය වුණේ කකුල කපා ඉවත් කිරීමයි.

පියෙකු නොමැති පවුලේ සියල්ල කරට ගෙන තිබුණේ විමල් විසිනි. එහුගේ මව ද ශක්තිමත් කතකි. තම පුතුගේ හදිසි අනතුර පිළිබඳ ඇය බොහෝ බලධාරීන්ට දැනුම් දුන්නද කිසිදු ප්‍රතිඵලයක් අත්ව නැත. අනතුරුව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී යූ. ජෝර්ජ් පෙරේරා මහතා විසින් විමල්ට ආබාධිත පාපැදියක් පිරිනමා ඇත්තේ ස්වයං රැකියාවකටද උපකාර කරමින්ය. දැන් විමල්ගේ රැකියාව මෙම පාපැදියෙන් ගොස් ලොතරැයි අලෙවි කිරීමයි. ඔහු තම මව රැක බලා ගන්නේ අතේ සවියෙන් නොව සිතේ සවියෙනි. විමල්ට ඇත්තේ පාදය අහිම වූ දුකට වඩා තම සේවා ස්ථානයෙන් කිසිදු වන්දියක් හෝ විශ්‍රාමික දීමනාව පවා නොලැබුණු කනගාටුවය. ඔවුන් ජනාධිපතිතුමාට සහ සියලුම බලධාරීන්ට ද මේ පිළිබඳ දන්වා ඇත.

ලොතරැයි අලෙවියෙන් ඔවුනට දිවි සරු කර ගැනීමට නොහැකි බව ඔවුහු පවසති. විමල් රාත්‍රී කාලයේ නිවෙසට වී එල්.ඊ.ඩී.බල්බ් නිපදවීමේ කර්මාන්තයේද නියැළෙන්නේ මවගේ සහයද ඇතිවය. එහි අමුද්‍රව්‍ය ගැනීමට පවා දැන් ඔවුනට වත්කමක් නැත. විමල් මෙම බල්බ් නිෂ්පාදනය පිළිබඳ හොඳින්ම හදාරා ඇත.

විමල් සහ ඔහුගේ මව ඉල්ලන්නේ ආබාධිත වූවන් පදවන යතුරු පැදියක්ය. තනි කකුලක වාරුවට එය ඔවුනට සම්පතකි. දැන් 39 වන වියේ පසුවන විමල්ගේ බලාපොරොත්තුව එම වාහනයෙන් ගොස් ලොතරැයි අලෙවිකර, කෙසේ හෝ එල්.ඊ.ඩී බල්බ් කර්මාන්තයද නැවත ආරම්භ කර ජීවිකාව සරුකර ගැනීමටය.

නව අදහස දක්වන්න