ඉදිරි වසර 3ට බිලියන 7000ක විදෙස් ණය ගෙවිය යුතුයි | දිනමිණ

ඉදිරි වසර 3ට බිලියන 7000ක විදෙස් ණය ගෙවිය යුතුයි

ජයසිරි මුණසිංහ
මහර ගණිදු රෝචන සමරතුංග

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති විදේස ණය වෙනුවෙන් ඉදිරි වසර තුනේදී රුපියල් බිලියන 7000ක් ණය වාරික හා පොලිය ලෙස ගෙවීමට සිදුවී ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක මහතා ප්‍රකාශ කෙළේය.

මෙවැනි අතිවිශාල ණය වාරික හා පොලී මුදලක් ගෙවීමට නම්, රටේ බදු ආදායම් ඉහළට ගෙන ආයුතු බවද කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කෙළේය. මේ වසරේ අප්‍රේල් මස 01 සිට ක්‍රියාත්මක කළ 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවේ 11 වැන්න ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍රකොට ඊයේ (09) උදේ කඩවත රෝස් ගාර්ඩ්න් හෝටලයේ පැවැති සම්මන්ත්‍රණය අමතමින් කොමසාරිස් ජනරාල්වරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අයිවන් දිසානායක මහතා, රාජ්‍ය ආදායම් ඉහළ නංවාගැනීම පිළිබඳව ඔබට අමුතුවෙන් පැහැදිලි කිරීමක් සිදුකරන්නට අවශ්‍ය නැහැ. අපේ රටේ මේ අවුරුද්දේ මුළු ඇස්තමේන්තුගත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2200යි. ඇස්තමේන්තුගත රාජ්‍ය වියදම රුපියල් බිලියන 2152යි. මේ රාජ්‍ය වියදමින් රුපියල් බිලියන 1950ක් අපි ලබාගත් විදෙස් ණය වාරිකවලට ගෙවන්න තියෙනවා. පොලිය ලෙස රුපියල් බිලියන 852ක් ගෙවන්න තියෙනවා. ඒ අනුව අපේ රටේ මුළු ඇස්තමේන්තුගත ආදායම, රටේ විදෙස් ණය වාරික හා පොලිය ගෙවීමටවත් ප්‍රමාණවත් නැහැ.

මේ වාගේ ආදායම්, වියදම් ලේඛනයක් සහිත අපේ රටේ තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා ඇතිකරන්න, කර්මාන්ත බිහිකරන්න, අධිවේගී මාර්ග, මංමාවත්, රෝහල්, පාසල්, වාරි ව්‍යාපෘති බිහිකරන්න මුදල් අවශ්‍යයි. මේ සඳහා රටේ ආදායම් ගෙවිය හැකි අයගෙන් නියමිත බදු ආදායම් ලැබිය යුතුයි.

රටේ බදු ආදායම් ගෙවිය හැකි විශාල පිරිසක් සිටිනවා. නමුත් නිසිපරිදි බදු ගෙවන්නේ ටිකදෙනායි. එයයි අපට තිබෙන ප්‍රශ්නය.

බදු ගෙවීමේ හැකියාව ඇති එහෙත් බදු නිසිපරිදි නොගෙවන හෝ බදු ගෙවීම මුළුමනින්ම සිදු නොකරන පිරිස වැඩියි. ඒ නිසා අපි හැකිතරම් බදු ආදායම් ගෙවන පිරිස වැඩිකරගන්න කටයුතු කළයුතුයි.

බදු ගෙවීම තමන් උපන් රටට, රටේ අනාගත සුබසෙතට, සංවර්ධනයට අද දවසේ අපි කරන යුතුකමක් ඉටුකිරීමක් ලෙස කල්පනා කරන්න ඕන. මේවාගේ සම්මන්ත්‍රණවලින් අපි මහජනතාව දැනුවත් කරනවා. එහි ප්‍රතිඵල ලැබෙමින් තිබෙනවා.

මේ අවස්ථාවට දේශීය ආදායම් ‍නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් දයා මුණසිංහ, සේන ලියනගේ, ජ්‍යෙෂ්ඨ කොමසාරිස් වන ජී. සී. මහානාම, වනිගසේකර, ගම්පහ ප්‍රාදේශීය කොමසාරිස් ඩී. උපුල් ඒ. ජයවර්ධන යන මහත්ම මහත්මීහු ඇතුළු දේශකයින්, සම්පත්දායකයින්, ගම්පහ දිස්ත්‍රික් වෙළෙඳ සංගම්, නීතිඥ සංගම්, බදු ගෙවන්නන්, ගණකාධිකාරිවරු, බදු උපදේශකවරු, රාජ්‍ය නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

 


නව අදහස දක්වන්න

Or log in with...