ශ්‍රීලනිපයේ ප්‍රතිසංවිධාන අතිසාර්ථකයි | දිනමිණ

ශ්‍රීලනිපයේ ප්‍රතිසංවිධාන අතිසාර්ථකයි

සමන්මලී ප්‍රියශාන්ති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධාන කිරීම වෙනුවෙන් ආරම්භ කර තිබෙන බලමණ්ඩල පිහිටුවීමේ වැඩපිළිවෙළ අතිසාර්ථකව ක්‍රියාත්මක වෙන බවත් මේ වන විට බලමණ්ඩල පිහිටුවීමේ කාර්යයෙන් සියයට 80ක් 85ක් පමණ නිම කර තිබෙන බවත් වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

තරුණ, තරුණියන්, කාන්තාවන් ඇතුළු අලුත් පිරිසක් මෙම බලමණ්ඩල පිහිටුවීම යටතේ පක්ෂය සමඟ එක්ව සිටින බව දැක ගන්නට ලැබුණු බව ද ඇමැතිවරයා කීවේය.

තමන් නොහිතපු පිරිසක් එම බලමණ්ඩල රැස්වීම්වලට සහභාගී වූ බව මධ්‍යම කාරක සභාවට සහභාගී වූ මන්ත්‍රීවරු පැවසූ බව ද ඇමැතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (9) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළේය.

නැඟෙනහිර පළාතේද සෑහීමකට පත් විය හැකි තත්ත්වයක් තිබෙන බව පැවසූ සමරසිංහ මහතා, සංවිධායකවරු පත් කිරීමේ අවශ්‍යතාවක් තිබෙන බවත් කීවේය. උතුරු පළාතේ ද බලමණ්ඩල පිහිටුවීමේ කටයුතු සිදු වන අතර, ඇතැම් ආසනවලට සංවිධායකවරු පත් කිරීමේ අවශ්‍යතාව උතුරේ ද පවතින බව පැවසීය.

ආසන සංවිධායකවරු පත්කිරීම ඉක්මණ් කරන ලෙස ජනාධිපතිවරයා පක්ෂ මහලේකම්වරයාට නියෝග කර තිබෙන බවද ඉදිරියේ දී ඒ කටයුතු කඩිනම් වෙනු ඇති බව ද හෙතෙම කියා සිටියේය.

පක්ෂය ශක්තිමත් කිරීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මෙම බලමණ්ඩල පිහිටුවීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙන බවද ඒ මහතා වැඩිදුරටත් කීවේය.

නව අදහස දක්වන්න