වන ඝනත්වය පහළයාමෙන් මේ රට කාන්තාරයක් කරා ගමන් කිරීම පුදුමයක් නොවෙයි | දිනමිණ

වන ඝනත්වය පහළයාමෙන් මේ රට කාන්තාරයක් කරා ගමන් කිරීම පුදුමයක් නොවෙයි

සන්ධ්‍යා කරුණාරත්න

රට සංවර්ධනය කිරීමට යුද්ධ දෙකක් කළ යුතු අතර ඉන් එක් යුද්ධයක් වනුයේ පැළ සිටුවීම. අනෙක් යුද්ධය මත්ද්‍රව්‍ය තුරන් කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රටේ තිබෙන වන ඝනත්වය වර්ධනය කර ගැනීම සඳහා පැළ සිටුවීම මෙහෙයුමක් ලෙස කළ යුතු බවත් මෙරට වන ඝනත්වයේ පහළ බැසීමත් සමඟ කාන්තාරයක් කරා රට ගමන් කිරීම පුදුමයක් නොවන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ පුනරුදය වැඩසටහන යටතේ ශ්‍රී ලංකා යුද හමුදාව සමඟ ඖෂධ පැළ ලක්ෂයක් බෙදාදීමේ සහ සිටුවීමේ වැඩපිළිවෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ විහාර මහාදේවී උද්‍යානයේදී ඊයේ (09) පැවැත්විණ. එම අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා එහිදී මෙසේද පැවසීය.

රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ වගකීම හා නායකත්වය තුළ ශ‍්‍රී ලංකා යුද හමුදාව සමඟ ඒකාබද්ධව ඖෂධ පැළෑටි සිටුවීම සඳහා පැළ බෙදාදීමේ මේ අවස්ථාවට එක්වීමට ලැබීම ගැන මම ඉතා සතුටු වෙනවා. “පුනරුදය“ ලෙස මේ වැඩසටහන නම් කර තිබෙනවා. පුනරුදය කියන්නේ මොකද්ද? පුනරුදයට එක් විය යුත්තේ කවුරුන්ද? පුනරුදය කවුරුන් සඳහාද? පුනරුදය එක් පුද්ගලයකුට හෝ කිහිපදෙනකුට කළ හැකි දෙයක් නොවේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිට ජාත්‍යන්තර සංවිධාන කතා කරන, තිරසර සංවර්ධනයේ තවත් වැදගත් ක්ෂේත්‍රයක් තමයි ඖෂධ පැළෑටි වගා කිරීම. අපේ රටේ වන ඝනත්වය මේ වන විට සියයට 28ත් 29ත් අතර වෙනවා. මීට වසර දෙකකට පෙර පරිසර අමාත්‍යාංශය යටතේ වන ඝනත්වය වර්ධනය කිරීම සඳහා ජාතික පැළ සිටුවීමේ ව්‍යාපාරය රජය විසින් ආරම්භ කළා. වන ඝනත්වය ඉහළ නැංවීමට එය හේතු වන්නා සේම ආයුර්වේද ඖෂධ සඳහා දේශීය වෛද්‍ය කර්මාන්තය සඳහා හේතු වෙනවා. වසර දහස් ගණනක ඉතිහාසයත් සමඟ ඖෂධ පැළෑටිවල, දේශීය ආයුර්වේදයේ වටිනාකම අප සතු වෙනවා. බටහිර ඖෂධ සියයට 90ක් නිෂ්පාදනය සඳහාත් දේශීය ඖෂධ භාවිතා කරනවා. ඒ නිසා අපි ඉතාම වැදගත් කොට සැලකිය යුතු වෙනවා ඖෂධ පැළ බෙදා හැරීම වගේම ඖෂධ සිටුවීම සඳහා පැළ වගාවන් ශක්තිමත් කිරීම. සියයට 28ක් 29ක් වූ අපේ වන ඝනත්වය අරමුණු කරගෙන තිබෙන්නේ ඉදිරි වසර තුනක කාලය තුළ සියයට 32ක් දක්වා ගොඩනැඟීම. දැන් තිබෙන සියයට 28 සිදු වන්නේ කුමක්ද? සෑම වර්ෂයකදීම සියයට 1.4 ක හෝ 1.5 ක ප්‍රමාණයක් වන ඝනත්වය විනාශ වෙනවා. වාර්ෂිකව එසේ අඩුවීම ගණන් හදා බැලූ විට තව වසර දහයක් ඉදිරියට ගිය විට මේ වන ඝනත්වය සියයට 19ක් වෙනවා. අපි කාන්තාරයක් කරා වේගයෙන් ඇදී යනවා. එක් පැත්තකින් ඖෂධ පැළ වගා කිරීමත් අනෙක් පැත්තෙන් සියලුම පැළ වර්ග සිටුවීමත් වැදගත්. ත‍්‍රිවිධ හමුදාව සමඟ ජාතියේ පුනරුදය සඳහා අපි මේ කටයුතු සිදු කරනවා. අපට ත‍්‍රස්තවාදීන් පරාජය කර රටට විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා දුන් ත‍්‍රිවිධ හමුදාවට ජාතියේ ප‍්‍රණාමය හිමි වෙනවා. මෑතකදී සිවු දෙනෙක් මියගිය සිදුවීමේ එම සාදයට 800 ක් සහභාගී වී තිබෙනවා. මත්ද්‍රව්‍ය තුරන් කිරීමට රජය සහ ජනතාව ප‍්‍රමුඛත්වය නොදුන්නොත් රටට ඉතාමත් අඳුරු යුගයක් ඇති වෙනවා. මෙය රටේ පොදු මහජනතාව සියලු ආගමික නායකයන් අවබෝධයකින් මුහුණ දිය යුතු ප‍්‍රශ්නයක්. අපේ රටට ආසන්න එක් රටක ජනතාවගෙන් සියයට 50 ක් මත් කුඩුවලට ඇබ්බැහි වී සිටිනවා. එවැනි රටවල්වලට ගොඩ එන්න බැහැ. අපේ රට බෞද්ධ රටක් වගේම අනෙකුත් ආගම්වලට ආගමික නිදහස තිබෙන රටක්. නමුත් මේ රටේ සමාජ පරිසරය, ආර්ථිකය, විනය, සිරිත් විරිත්, සදාචාරය, හැදියාව, සංස්කෘතිය මේ සියල්ල විනාශ කිරීමේ කුමන්ත‍්‍රණයක් විය හැකියි, මේ ආකාරයෙන් මත්ද්‍රව්‍ය ප‍්‍රචලිත වීම. අද බොහෝ මත්ද්‍රව්‍ය නොමිලේ දෙන්නේ. විශ්වවිද්‍යාල ඇතුළට ගොස් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ඉතා විෂ මත්ද්‍රව්‍ය අද නොමිලේ බෙදා දෙනවා. ඒවා විශ්වවිද්‍යාල පාලකයන්ට පාලනය කිරීමේ පුළුවන් තත්ත්වයක් නැහැ. ඒ නිසයි මම කිව්වේ යුද්ධ දෙකක් තිබෙනවා කියලා. එකක් මත්ද්‍රව්‍ය මර්දනය.

අනෙක් එක පැළ සිටුවීම යුද්ධයක් මෙන් මෙහෙයුමක් විදියට කරගෙන යා යුතුයි. කාලගුණික සහ දේශගුණික වෙනස්වීම් සමඟ අද අපි මුහුණ දී තිබෙන තත්ත්වය ඔබ දන්නවා. අපේ අසල්වැසි මිත‍්‍ර රාජ්‍යයන්, අද දවස ගත් විටත් දකුණු ඉන්දියාවේ කොටසක තිබෙන්නේ කාන්තාරයක තත්ත්වය. පාකිස්තානයේ කරච්චි ප‍්‍රදේශ ගත් විටත් කාන්තාර තත්ත්වයක් දක්නට ලැබෙනවා. අපේ රටේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ තුනෙන් දෙකක බරපතළ නියඟයක් තිබෙනවා. ඊයේ රාජිත ඇමැතිතුමා සමඟ මම කළුතර ගියා. එහේ ගොස් ටිකක් වෙලාවක් යන විට වහින්න පටන් ගත්තා. කළුතර, රත්නපුර වැනි ප‍්‍රදේශවලට වැස්ස වැඩියි. ගංවතුර තත්ත්වයන්හිදී එම ප‍්‍රදේශ විනාශ වෙනවා. මේ ප‍්‍රශ්නවලට ආණ්ඩුවකට තනිවම මුහුණ දීමට නොහැකියි. ඒ නිසා මුළු ලෝකයේම නායකයන්ගේ අවධානය යොමු වී තිබෙන්නේ තිරසර සංවර්ධනයේ ප‍්‍රමුඛතාවන් සඳහායි. දුගීභාවයෙන් නිදහස් වීම, ආහාර නිෂ්පාදනය, නිදහස් සෞඛ්‍ය, නිදහස් අධ්‍යාපනය ඒ තුළ සමාජ සංවර්ධනය. පරිසර සංරක්ෂණය මේ සඳහා ඉතාම වැදගත් වෙනවා. අපි මේ සියලු දේට මුහුණ දිය යුතු වෙනවා. මේවා දේශපාලන වේදිකාවේ මාධ්‍ය තුළ එකිනෙකාට ඇඟිල්ල දික් කරගෙන ඵලක් වන්නේ නැහැ. ඇතැම් දේවල් සිදුකිරීමට අතපසු වී තිබෙනවා. එය මගෙන් හෝ වර්තමාන රජයෙන් වූවක් නොවේ. ජාතියේ පුනරුදය ඇති කිරීමේ ඉලක්කය එදා මහා පරාක‍්‍රමබාහු යුගය දක්වා දිව යනවා. ආර්ථික සමෘද්ධිය, සහශ‍්‍රීය දියුණුව, ආයුර්වේදය මේ සියල්ල ඉදිරියට ගෙන යෑමේ ඉලක්කය අපි ඉටු කර ගත යුතුයි.

අපිට ජාතියක් විදියට මුහුණ දීමට තිබෙන්නේ ලෝකයේ ඇතැම් අධි තාක්ෂණයෙන් දියුණු රටවල් මුහුණ දෙන ඉලක්කයට වඩා වෙනස් දෙයකට. බටහිර රටවලට අමෙරිකාව හා යුරෝපයේ රටවලට තිබෙන්නේ මෙතෙක් ඉතිහාසයේ ගොඩනැඟී නොතිබූ අලුත් තැනකට යාමයි. අපිට තිබෙන්නේ ඊට වඩා වෙනස් දෙයක්. අපිට තිබෙන්නේ අලුත් තැනකට යෑම පිළිබඳව ඉලක්කය නොවේ. අපට තිබෙන්නේ මීට අවුරුදු දාහකට එහා අපි හිටපු තැනට යන්නේ කොහොමද කියන කාරණාවයි. මීට අවුරුදු දාහකට එහා ගත් විට අනුරාධපුර යුගයේ පොළොන්නරු යුගයේ අපි සිටින තැන එදා බටහිර රටවල් සිටියාද? අමෙරිකාව සිටියද ඒ තැන. එදා ඒවා මහා වනාන්තර. සත්‍යය එයයි. බටහිර ජාතීන්ගේ සහ ලෝකයේ නව සංවර්ධිත ජාතීන්ගේ අධි තාක්ෂණික යුගයක සිටින ජාතීන්ගේ ඉලක්කය එකක්. අපේ ඉලක්කය වෙන එකක්. අපි හිටපු තැනට එන්නේ කොහොමද කියන එක. අපි ලෝකයෙන් අධි තාක්ෂණය ගන්න ඕනෑ. දැනුම ගන්න ඕනෑ. සහශ‍්‍රීය ඥානය අපි ලබා ගන්න ඕනැ. ශිල්පීය ඥානය ලබා ගන්න ඕනැ. ඒ සියල්ල අපිට බටහිරින් දියුණු ජාතීන්ගෙන් අවශ්‍යයි. වසර දහස් ගණනක කීර්තිමත් ඉතිහාසයේ තිබූ මහා අනභිභවනීය ශ්‍රේෂ්ඨත්වය සහ විශිෂ්ටත්වය ජාතියක් විදියට නැවත ලබා ගන්නේ කෙසේද. අපේ තිබෙන කම්මැලිකම්, කුසීතකම්, අපි අතින් සිදුවන වැරදි, වංචාව, හොරකම, නාස්තිය, අවංක නොවීම, කැප නොවීම යනාදිය අපෙන් ඉවත් කර ගත යුතුයි.

ප්‍රජාතන්ත්‍රවාදය ඉතාම හොඳින් ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් අපේ ආණ්ඩුව. මාධ්‍ය නිදහස, කතාකිරීමේ නිදහස, ලිවීමේ නිදහස, ජනාධිපතිටත් අසැබි වචනයෙන් බැනලා රූපය විකෘති කරන අයටත් ඒ නිදහස සහතික කර තිබෙනවා. මට දැන් අද සමාජ වෙබ් අඩවිවලින් කරන දේවල් එදා කළා නම් ඒ මිනිස්සු හොයා ගන්නත් නැහැ, ඉන්න තැන් හොයාගන්නත් නැහැ. ඒවා හදන අය ඒක තේරුම් ගන්න ඕනැ. ඒ නිසා ජාතියේ පුනරුදය කියන්නේ මේ සියලු අංශවල සියලුදෙනාගේම කැපවීම, අවංකභාවය. දේශපාලනඥයන්ගේ සමහර අයගේ අවංකකම පිළිබඳ ගැටලු තිබෙනවා. හැමකෙනෙක්ම එහෙම නැහැ. හැම රාජ්‍ය සේවකයෙක්ම නරක නැහැ. බහුතරයක් හොඳයි. සියලු දෙනාගේම නම කැත කරන යම් ප‍්‍රමාණයක් සිටිනවා.

අද මට මේ කරුණු ටික කියන්න සිදුවුණේ පුනරුදය කියන වචනය මෙතැන දැක්ක නිසා. ඒ නිසා මම ඉතාම සතුටු වෙනවා ආයුර්වේද සංස්ථාව මේ කරන කාර්යය ගැන. පොලිසිය හා ත‍්‍රිවිධ හමුදාව, පාසල් ළමයින් හා සියලු දේශපාලනඥයන්ට ආරාධනා කරනවා පුනරුදය ඇති කරන්න, තිරසර සංවර්ධනය ඇති කරන්න, මත්ද්‍රව්‍ය මර්දනය කරන්න, එක්වන්න කියලා. පිලිපීන ජනාධිපති කළ දේ මට කරන්න බැහැ. නමුත් ඒ දේවල් නීත්‍යානුකූලව කරන්න මම මේ වන විටත් කටයුතු කර තිබෙනවා. මම ඊයේත් විනාඩි කිහිපයක සාකච්ඡාවක් කළා අදාළ අංශයන් සමඟ. මත්කුඩු ජාවාරම් කරන පුද්ගලයන් වෙත අධිකරණයෙන් ලබා දී ඇති මරණීය දණ්ඩනය පිළිබඳව. මම කිව්වා මට වාර්තා තුනක් අවශ්‍යයි කියලා. නීතිපති වාර්තාව, අධිකරණ ඇමැතිවරයාගේ වාර්තාව. අදාළ නියෝගය නිකුත් කළ විනිශ්චයකාරවරයාගේ වාර්තාව. පුනරුදය ඇති කරන්න මේ සියලු දේවල් කරන්න සිදුවෙලා තිබෙනවා. අපේ අසල්වැසි ඉන්දියාවෙත් අවුරුද්දකට දෙතුන් දෙනෙකුට මරණීය දණ්ඩනය ලැබෙනවා. අමෙරිකාවේත් ලැබෙනවා. පුනරුදය ඇති කරන්න මේ සියලු දේවල් කරන්න සිදු වෙනවා.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා -

ඖෂධ පැළ ලක්ෂයක් බෙදාදීමේ වැඩපිළිවෙළ ඉතා වැදගත් වැඩපිළිවෙළක්. ආයුර්වේදයට පළමුව පිළිගැනීමක් ඇති වූයේ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ පාලන සමයේයි. බටහිර වෛද්‍ය ක්‍රමයට මෙන්ම සිංහල වෛද්‍ය ක්‍රමයට පිළිගැනීමක් ලැබුණා. ඉන්පසු වි.ජ.මු ලොකු බණ්ඩාර මහතා දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය බාර ගැනීමෙන් පසු එය පිළිගැනීමකට ලක් වුණා. ජනතාව අතර කොළ කැඳ පවා ප්‍රචලිත කළා. ජනතාවට අවබෝධය ලබා දුන්නා. ඉන්පසු වත්මන් රජය යටතේ දේශීය වෛද්‍ය ක්‍රමය නඟා සිටුවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය විෂය පාඨයන් ඒකාබද්ධ කිරීම තුළින්. මේ වන විට රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා ආයුර්වේද ක්ෂේත්‍රය ගොඩනැංවීම සඳහා අවස්ථා තුනකදී එකතු වී තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාව සමඟ ආයුර්වේදයට අවශ්‍ය පැළ බෙදාදීම මෙන්ම ඖෂධ පැළ වගා කිරීමේ ව්‍යාපෘතියක් ද ආරම්භ කළ යුතුයි. ඒ සඳහා ඉඩම් ලබාදිය යුතුයි. බටහිර ඖෂධ ආනයනය කිරීම සඳහා වාර්ෂිකව වැය කරන ඇමරිකානු ඩොලර් මිලියන 900 ක මුදල ඉතිරි කර ගැනීම සඳහා මෙරටදී ඖෂධ නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළා. ඒ සඳහා ගිවිසුම් 46 ක් අත්සන් කර තිබෙනවා. ආයුර්වේද ඖෂධ ද විදේශීය රටවලින් ආනයනය කිරීම නතර කිරිම සඳහා හමුදාව සමඟ ඖෂධ පැළ වගා කිරීමේ ව්‍යපෘතිය ආරම්භ කළ යුතුයි. වත්මන් හමුදාපතිවරයා නිර්මාණශීලි පුද්ගලයෙක්. එකතු වී වැඩ කිරිම තුළින් රටට සේවාවක් කළ හැකියි.

මෙහිදි ප්‍රථම ඖෂධ පැළය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා වෙත පිරිනමන ලදි. ඉන්පසුව විහාර මහා දේවී උද්‍යානයේ ජනාධිපතිවරයා අතින් නා පැළයක් ද රෝපණය කෙරිණ.

ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ඇතුළු යුද හමුදා නිලධාරින්, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ, කළමනාකාර අධ්‍යක්ෂ රුවන් ලංකේෂ්වර, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති සරත් ලියනගේ, කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූමි මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.


නව අදහස දක්වන්න

Or log in with...