ලෙන තුළ සිර වූ 04කට තායිලන්ත පුරවැසිභාවය | දිනමිණ

ලෙන තුළ සිර වූ 04කට තායිලන්ත පුරවැසිභාවය

පසුගිය මාසයේ තායිලන්තයේ ලෙනක් තුළ සිර වී සිටියදී ඉතා දුෂ්කර මෙහෙයුමකින් ගලවාගත් දරුවන් කණ්ඩායමෙන් තිදෙනෙකුට සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරුට තායිලන්ත පුරවැසිභාවය ප්‍රදානය කර තිබේ.

දරුවන්ට සහ පුහුණුකරුට කිසිදු රටක පුරවැසිභාවය හිමි වී නොතිබුණු බව ඔවුන් පිළිබඳ කළ සොයාබැලීම්වලදී හෙළි වී ඇත.

අග්නිදිග ආසියාවේ පුරවැසිභාවය නොමැති පුද්ගලයන් 480,000ක් පමණ වාසය කරති.

මේ අනුව, තායිලන්ත පුරවැසිභාවය සඳහා යොමු කර තිබූ දරුවන්ගේ ඉල්ලුම්පත්‍ර කඩිනම් කිරීමට කටයුතු කර තිබුණි.

'වයිල්ඩ් බෝ'(Wild Boar)නමැති පාපන්දු කණ්ඩායමේ සාමාජිකයන් වූ මෙම දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු උතුරු තායිලන්තයේ ලෙන් සංකීර්ණයක ජූනි 23 වෙනිදා සිට දින දාහතක් සිර වී සිටියහ.

තායිලන්ත සහ ජාත්‍යන්තර කිමිදුම්කරුවන්ගේ සහාය ඇතිව අති භයානක මෙන්ම සංකීර්ණ මෙහෙයුමකින් පසු සියල්ලන් සුරක්ෂිතව පිටතට රැගෙන ඒමට හැකි වුණි.

තායිලන්තයේ ජීවත් වන පුරවැසිභාවය නොමැති පුද්ගලයන් බොහෝ දෙනෙකු කඳුකර ප්‍රදේශවල සිටින ගෝත්‍රික සහ අනෙකුත් ජනවර්ගවලට අයත් වූවන්ය.

ඔවුහු ශත වර්ග ගණනාවක සිට තායිලන්තය, මියන්මාරය, ලාඕසය සහ චීන මායිම් ආසන්නයේ ජීවත් වෙති.

එවැනි පුද්ගලයන් 480,000ක් සිටින බව එක්සත් ජාතික සංවිධානය විශ්වාස කරයි.

අකේ (පුහුණුකරු) මේ වන විට බෞද්ධ ආරාමයක තාවකාලිකව පැවිදි වී සිටීයි.

(බී.බී.සිය ඇසුරෙනි)


නව අදහස දක්වන්න