පොහොට්ටුව ඡන්ද ගත්තේ සමෘද්ධිලාභීන් බය කරලා | දිනමිණ

පොහොට්ටුව ඡන්ද ගත්තේ සමෘද්ධිලාභීන් බය කරලා

දුමින්ද සම්පත්
වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති චම්පිකා ප්‍රේමදාස

වැවිලි කර්මාන්ත හා රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු, ශ්‍රී ලංකාවේ රබර් වගාවේ ගැටලු, කුඩා කර්මාන්ත කඩා වැටීම, යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකාරකම්, ඉදිරි පළාත් සභා මැතිවරණය සහ ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීමට වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති චම්පිකා ප්‍රේමදාස මහතා අද මැති හමුවට එක්වේ.

* රාජ්‍ය අනුග්‍රහය යටතේ රබර් මිලට ගැනීමේ වැඩපිළිවෙළක් හදනවා 
* අපේ පාක්ෂිකයෝ කලකිරිලා නෑ
* 16 ක් ගියා දැන් ආණ්ඩුව නිවැරැදි වෙලා
* කටුපොල් රබර් වගාවට ලොකු අනතුරක්
* මාධ්‍ය නිදහස දුන්න නිසා අපට ප්‍රචාරය අඩුවුණා

කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය ඇමැතිකමෙන් වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැතිකමට මාරුවීමක් ලැබෙනවා ඇයි මේ හදිසි මාරුව?

මම හිටපු අමාත්‍යාංශයෙ කාර්යභාරය ගැන අගමැතිතුමත් එක්ක කතා කළා. මට කරන්න පුළුවන් විෂයපතයක් ලබාදෙන්න කියලා ඉල්ලීමක් කළා. ඒ අනුව තමයි මේ අමාත්‍යාංශය ලැබෙන්නෙ. මට ලොකු වැඩකොටසක් මේ අමාත්‍යාංශය යටතේ ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන්.

මේ අමාත්‍යාංශයෙ ඔබගේ කාර්යභාරය මොන වගේද?

රබර් වගාව හා ඒ ආශ්‍රිත අනෙකුත් වැඩ කටයුතු සොයා බලන්න. තීරණ ගන්න මට සම්පූර්ණ, නිදහස ලබාදුන්නා. නවීන් දිසානායක ඇමැතිතුමා ඊට අවශ්‍ය පහසුකම්, වගකීම් කිසිම බාධාවක් නොකර ලබාදීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. මට කැබිනට් පේපර් දාන්න බැහැ. ඒත් අවශ්‍ය නම් ඇමැතිතුමා හරහා ඒවා ඉදිරිපත් කරලා අනුමැතිය ගන්න පුළුවන්.

අපේ ප්‍රධාන අපනයන බෝගයක් වන රබර් වගාව අනතුරක කියලත් කියනවා.

රබර් වගාවට ලොකුම අනතුර කළේ කටුපොල් වගාවෙන්. පසුගිය ආණ්ඩුව ‍කාලෙ ගත්තු කැබිනට් තීන්දුවකට අනුව තමයි ඒ වගාව කරන්නෙ. ඒක අපිට වෙනස් කරන්න බැහැ. අක්කර විසි දහසක කටුපොල් වගා කරන්න අනුමැතිය දුන්නෙ අපි නෙවෙයි. මේ වෙනකොට කෑගල්ල දිස්ත්‍රික්කයේ කටුපොල් වගාව නවත්වන්න අවශ්‍ය පියවර අරගනිමින් ඉන්නෙ. පරිසර හානියකුත් කරන මේ වගාව ප්‍රවර්ධනයට අපේ ආණ්ඩුව යටතේ ඉඩ නැහැ.

රබර් කිරි එකතු කළ සමාගම් කිරි එකතුකිරීම නවතා දමා ඇති බව පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබුණා?

රබර් කිරි එකතු කිරීම තවමත් කරන්නෙ පෞද්ගලික අංශයෙන් විතරයි. රජයේ මැදිහත්වීමක් ඒකට නැහැ.

මෙවැනි තත්ත්ව යටතේ රබර් වගාකරුවන් අපහසුතාවන්ට පත්වෙනවා. රබර් කිරි එකතු කරන්න රාජ්‍ය මැදිහත්වීමක් තිබුණොත් නේද හොඳ?

රබර් වෙළෙඳ පොළේ ඉන්නෙ නගරබද දෙතුන් දෙනෙක්. මේ අය එකතුවෙලා තමයි රබර් මිල තීරණය කරන්නෙ. මේ අය රබර් ගන්නෙ අඩු මිලකට. ඒ අය රබර් විකුණන්නෙ වැඩි මිලට. මේ අතරමැදියො තමයි හම්බ කළේ. ලංකාවෙ වැඩියෙන්ම රබර් තියෙන්නෙ කෑගල්ල දිස්ත්‍රික්කයේ. කොළඹ මහනුවර පාරේ තියෙන අපේ ගොඩනැගිල්ලක රබර් මිලට ගැනීමේ වැඩපිළිවෙළක් රාජ්‍ය අනුග්‍රහය ඇතිව හදනවා. අපි රබර් අරගෙන වැඩි මිලකට විකුණනවා. අමාත්‍යාංශය‍ටත් ලාභයක් ලැබෙනවා.

රබර් ආශ්‍රිත කර්මාන්තවලට අවශ්‍ය රබර් අපේ රටේ නිෂ්පාදනය කරන්න බැරි ඇයි?

ලෝකෙ රබර් නිෂ්පාදනයෙන් 0.03 යි අපි නිෂ්පාදනය කරන්නෙ. රබර් නිෂ්පාදනය කරන රටවල් 5 ක් 6 ක් වගේ තමයි තියෙන්නෙ. අපේ රටේ රබර් ආශ්‍රිත කර්මාන්තවලට මේ නිෂ්පාදනය ප්‍රමාණවත් නැහැ. ඒ නිසා රබර් කිරි පිටරටින් ගෙන්වන්න වෙනවා. අපි දැන් රබර් කිරි නිෂ්පාදනය වැඩි කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නෙ. රබර් ගහෙන් එන්නෙ පිරිසිදු රබර් කිරි. ඒත් අපි නිෂ්පාදනය කරන්නෙ අපිරිසිදු රබර්. කිරිටික පොල්කට්ටට ආපුතැන ඉඳලා මේ කිරි ටිකට අපද්‍රව්‍ය එකතුවෙනවා. ඒවා නතර වුණොත් හොඳ රබර් හදන්න පුළුවන්. රබර් දුම් ගැස්සවීමත් හරියට කෙරෙන්නෙ නැහැ. ‍ෙම් හින්ද නියම ප්‍රමිතියෙන් යුතු අංක එකේ රබර් අපේ රටේ හැදෙන්නෙ නැහැ. අංක 03, අංක 04, අංක 05 රබර්වලට හොඳ මිලක් නැහැ.

රට තුළ හොඳ රබර් කිරි නිෂ්පාදනයක් ඇති කරන්න ආණ්ඩුව මොන වගේ වැඩපිළිවෙළක්ද අරගෙන ත‍ියෙන්නෙ?

අපේ ප්‍රධාන ආයතනය රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව. මේ ආයතනයෙන් දැන් ඒකට අවශ්‍ය සැලැස්ම හදනවා. හොඳ රබර් පැළ අවශ්‍යයි. දැන් වගා කරන රබර් අක්කර 2.2 කින් රබර් කිලෝ ග්‍රෑම් 800 ගන්න පුළුවන්. ඉන්දියාවේ මේ භූමියෙන් රබර් කිලෝ ග්‍රෑම් 1200 ත් 1500 ත් අතර ගන්නවා. අපි තාමත් පරණ රබර් ගස් කපනවා. ඒවයෙ ‍ෙහාඳ කිරි නිෂ්පාදනයක් නැහැ. ගොවියාට ආර්ථික අවාසියක් නොවන විදියට මේ පරණ ගස් ටික ඉවත්කරලා අලුත් රබර් වගාවකට යන්න ඕන. ඒ සැලසුම් දැන් අපි පටන් අරන් තියෙන්නේ.

තරුණ පරම්පරාව රබර් වගාවට යොමුකරලා ඒ අයගෙ ආර්ථිකය ‍ෙගාඩනගන වැඩපිළිවෙළකුත් හැම දිස්ත්‍රික්කයකම පටන් අරගෙන තියෙනවා. ලෝකයේ නව තාක්ෂණය වගාකරුවන්ට හඳුන්වා දෙන්න ඕන. ලංකාවේ රවර් වගාව දියුණු කරන්න චීනය කැමැත්ත පළ කළා. චීන ආධාර යටතේ උතුරු නැගෙනහිර රබර් වගාව ව්‍යාප්ත කරන්න වැඩසටහනක් හදනවා.

උතුරු නැගෙනහිර රබර් වගාව ව්‍යාප්ත කිරීම ඵලදායි ව්‍යාපෘතියක් වෙයි කියලා හිතනවාද?

මොනරාගල රබර්වලට හොඳ නැහැ කියලා මතයක් තිබුණා. ඒත් දැන් හොඳම රබර් වගාව තියෙන්නෙ මොනරාගල. අක්කර 6000 ක් මොණරාගල තියෙනවා. ඒකට මුදල් දුන්නෙ එක්සත් ජාතීන්ගේ කෘෂිකර්ම අරමුදලෙන්. මේ අවුරුද්දෙ අපේ ඉලක්කය මොනරාගල රබර් අක්කර දස දහසෙ ඉලක්කයට යන්න. උතුරු නැගෙනහිර රබර්වලට හොඳ පරිසරයක් තියෙන බව හොයාගෙන තියෙනවා.

රබර් වගාව දියුණු කරන්න මේ කර්මාන්තය ආශ්‍රිත ප්‍රජාවට පහසුකම් ලබාදිය යුතු බව කියනවාද?

ඒක ඇත්ත. කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් කොට්ඨාසයට රබර් ගැන දැනුවත් කිරීමේ වැඩමුළු පටන් ගත්තා. රබර් කිරි කපන, ඒවායෙන් යැපෙන අය මේ වැඩමුළුවලට එනවා. රබර් කපන පිහි, කිරි හැලෙන්න නැති බාල්දි, රබර් තැටි, අලවංගු, උදැල්ල, මුල්ලුව වැසි ආවරණ ලබා දෙන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. පළමු අදියර හැටියට 5000 කට දෙනවා. ඒකෙ ප්‍රගතිය බලල තවත් 5000 කට මේ භාණ්ඩ කට්ටලය දෙනවා.

රබර් වගාකරුවන් කියන්නෙ රබර් පර්යේෂණායතනයෙන් ඔවුන්ට නිසි මඟපෙන්වීමක් ලැබෙන්නෙ නැහැ කියලයි?

එහෙම චෝදනා ඇවිත් තිබුණා. ඒ ගැන අපි සාකච්ඡා වට කීපයක් තිබ්බා. රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව, තුරුසවිය අරමුදල, රබර් ලේකම් කාර්යාලය සහ රබර් පර්යේෂණ ආයතනය. සමහර ආයතනවල නිලධාරි හිඟයක් තියෙනවා. රබර් ලේකම් කාර්යාලයටම ඉන්නෙ එක නිලධාරියයි. රබර් මිල වැඩිකරලා දුන්නොත් රබර් වගාකරුවන්ටත් ඒ ආශ්‍රිත අනෙක් ජනතාවටත් ගොඩක් ප්‍රශ්න අඩුවෙයි.

කුඩා කර්මාන්ත බිඳ වැටෙන බව ඔබ පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී කිව්වා. ආණ්ඩුවේ හිටපු කර්මාන්ත රාජ්‍ය ඇමැතිවරයා හැටියට ඔබේ ඒ ප්‍රකාශය බරපතළයි නේද?

මම ඇත්තනෙ කිව්වේ.

ඒකට පදනම මොකක්ද?

බීඩි කර්මාන්තකරුවන්ගේ බීඩි සංගමයක් තියෙනවා. බීඩි කර්මාන්තය ආශ්‍රිතව ව්‍යාපාරිකයෝ 600 ක් පමණ ඉන්නවා. ඒ අයගෙන් පඩි ලබන කම්කරුවෝ ලක්ෂ 7 ක් ඉන්නවා. ලක්ෂ 7 න් යැපෙන අය ලක්ෂ 15 ක් පමණ ඉන්නවා. කර්මාන්ත ගැන කතාකරනකොට බීඩි කර්මාන්තය ගැන මගෙන් ඇහුවා. මම කිව්ව එදා පාර්ලිමේන්තුවේ අහපු ප්‍රශ්නය ඇත්ත කියලා. එදා රත්තරන් පවුමක ගාන අද බීඩිකොළ කිලෝවකට යනවා රුපියල් 5400 ක්. ඉන්දියාවෙන් බීඩි කොළ ගේන අය රෙදි සමඟ හොරෙන් බීඩි කොළ ගෙනාවා. අල, ලූනු, මිරිස් එක්ක බීඩි කොළ ගේනවා.

ආණ්ඩුව මේ වෙනුවෙන් මොකද කළේ?

බීඩි කොළ කිලෝ එකක බදු අඩු කළා. අපි මේ ගැන මුදල් ඇමැතිතුමා එක්ක කතා කළා. දැන් අපිට සහනයක් ලැබුණා.

පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වෙනවා. ආණ්ඩුව තියෙද්දිත් මැතිවරණය ජයගන්න බැරිවුණේ ඇයි?

මේ රටේ බහුතර ඡන්ද දායකයන් වෙන්නෙ සමෘද්ධිලාභීන්. සමෘද්ධියේ නිලධාරින් කොළඹට ගෙන්නල මහින්ද රාජපක්ෂ මහත්තය රැස්වීමක් තිබ්බා. පොහොට්ටුවට ඡන්දෙ දුන්නැත්නම් සමෘද්ධිය කපනවා කියලා මිනිස්සු දැනුවත් කරන්න කියලා මේ නිලධාරින්ට කිව්වා. ඒ නිලධාරින් ඒ වැඩේ කළා. ජනතාව පොහොට්ටුවට ඡන්දෙ දුන්නා. ඕක තමයි ඇත්ත. හිටපු ඇමැතිලා ටිකත් ආණ්ඩුවේ ඉඳල ඒ පැත්තටම ගියා. ඕකයි තත්ත්වෙ.

සමෘද්ධි අමාත්‍යාංශය තිබුණෙ ආණ්ඩුවෙ ඇමැතිවරයෙක් යටතේ. එවැනි අවස්ථාවක විපක්ෂයට ඔබ ඔය කියපු කාර්යය කරන්න පුළුවන්ද?

ඇමැතිවරයත් ඒකට සම්බන්ධ නම්?

එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ කලකිරීම නෙවෙයිද ආණ්ඩුවෙ පරාජයට හේතුව?

අපි ජයග්‍රහණය කරලා තිබුණෙ. ඔය වෙනස වුණේ දවස් හතරෙන්. අපේ පාක්ෂිකයෝ කලකිරිලා නැහැ.

යහපාලන ආණ්ඩුව කරන වැඩ ගැන ජනතාව දැනුවත් වෙන්නෙ නැහැ කියලා ආණ්ඩුවෙන්ම චෝදනාවක් තියෙනවා?

රූපවාහිනිය, පත්තරවලින් අපේ සංවර්ධන වැඩ ගැන හරියට තොරතුරු දෙන්නෙ නැහැ. අපි මාධ්‍යයට වැඩියෙන් නිදහස දුන්නා. ඒ හින්ද අපිට ප්‍රචාරය අඩුවුණා.

ඉදිරියේ පළාත් සභා මැතිවරණයක් එනවා. මේ මැතිවරණය ගැන ඔබ මොකද කියන්නෙ?

අපි ඡන්දවලට බය නැහැ. පළාත් සභා අපිට ලේසියෙන් දිනන්න පුළුවන්. දැන් ආණ්ඩුව හරියට වැඩ කරන්න පටන් අරන්. ගම්පෙරළිය වැඩසටහනෙන් ජනතාවගේ ප්‍රශ්න ගොඩකට උත්තර ලැබෙනවා. කුඩා ව්‍යාපාරිකයන්ට ඉතාම පහසු ගෙවීමේ ක්‍රමයට ණය පහසුකම් දෙනවා. වැව් දහසයි ගම් දහසයි සංවර්ධනය වෙනකොට මිනිස්සු අපි එක්ක එකතු වෙයි. දැන් ආණ්ඩුවෙ ප්‍රශ්න ගොඩක් අඩුවෙලා.

යහපාලන ආණ්ඩුව ජනතාවට පොරොන්දු රැසක් දුන්නා. ඒ ‍ෙපාරොන්දු සමහරක් තවමත් ඉටුකරන්න බැරිවෙලා?

ආණ්ඩුව හදලා මැති ඇමැතිකම් දීලා ආණ්ඩුව ගෙනියනකොට ඒ ආණ්ඩුවෙම මැති ඇමැතිකම් ගත්තු අය රජයට විරුද්ධව කුමන්ත්‍රණ කරනවනම් ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි රට පාලනය කරන්න බැහැ. මෙච්චරකල් වුණේ ඕක. දැන් ඒක නිවැරැදි වෙලා. 16 ක් ගියා දැන් ආණ්ඩුව නිවැරදි වෙලා. ගම්පෙරළිය වැඩසටහන එහෙම ආවෙ ඒකයි.

ඉදිරි ජනාධිපතිවරණය ගැන මොකද කියන්නේ?

අපේ පක්ෂයෙන් එන ඕන කෙනෙකුට අපි සහාය දෙනවා.

ආයෙත් පොදු අපේක්ෂකයෙක් ගැනත් කතා වෙනවා?

කතාබහ විතරයි. අපේ පක්ෂයේ නායකයෙක් ඉන්නවා නායකතුමා ගන්න තීන්දුව තමයි තීන්දුව.

ඡායාරූප-සාරංග ප්‍රභාත්


නව අදහස දක්වන්න

Or log in with...