ප්‍රසිද්ධියේ බැන ගන්න ගෝලයන්ට මහින්දගෙන් තරවටුවක් | දිනමිණ

ප්‍රසිද්ධියේ බැන ගන්න ගෝලයන්ට මහින්දගෙන් තරවටුවක්

* ජනාධිපතිගේ පියා යුද්දෙට ගිය හැටි
* අන්තර්ජාලයට ගිය අගමැතිගේ හාදුව
* ගිය ආණ්ඩුවට කඩේ ගියාට මේ ආණ්ඩුවෙන් විශ්‍රාම වැටුප්
* උද්ඝෝෂණ මගහැර බැසිල් පිටරට

පසුගිය සතිය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන පෙරළියක් ඇතිවූ සතියක් වුණා. “පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ ඉදිවූ සංවර්ධන ව්‍යාපෘති 180ක් ජනතා අයිතියට පැවරීම මෙම දින තුනේ දී සිදුවුණා. පාසල් ගොඩනැගිලි, විද්‍යාගාර, ක්‍රීඩාංගණ, රෝහල් වාට්ටු, ශල්‍යාගාර, වකුගඩු රෝගීන් සඳහා පහසුකම්, රජයේ ගොඩනැගිලි ආදී විවිධ ආකාරයේ ව්‍යාපෘති මේ අතර වනවා. ජනාධිපතිවරයා එහි දී කීවේ මෙම සංවර්ධනය රට පුරා එක ලෙස කරගෙන යාමට ක්‍රියා කරන බවයි.

පොළොන්නරුවේ ඉදිවූ සංවර්ධන ව්‍යාපෘති අතර මනම්පිටිය නගරයේ ඉදිකෙරෙන හෙළ බොජුන් හළ සුවිශේෂී ගණයේ ව්‍යාපෘතියක් වුණා. හෙළ බොජුන් ප්‍රචලිත කිරීමට ඉදිකරන මෙහි සංවර්ධන කටයුතු ද ජනාධිපතිතුමා අතින් විවෘත වුණා.

එහි දී කතාකළ ජනාධිපතිතුමා අතීත මතක ගණනාවක් ආවර්ජනය කළා. තමාගේ පියා ගොවියකු පමණක් නොව දෙවන ලෝක යුද්ධයේ සටන් කළ යුද සෙබළකු බව ද ජනාධිපතිතුමා කීවා. තම තරුණ කාලයේ ගමේ ප්‍රශ්න ගැන ලියාගෙන තරුණයන් සමඟ මින්නේරියට ගොස් සී. පී. ද සිල්වා ඇමැතිවරයා හමුවූ ආකාරයද ජනාධිපතිතුමා විස්තර කළා. කොළඹ සිට සුදුපාට බෙන්ස් රථයකින් එන ඇමැතිවරයා නිවස තුළට ගොස් පැය භාගයකින් පමණ එළියට විත් තමන් සමඟ කතාබහ කරන ආකාරයත්, පොළොන්නරුව සංවර්ධනයට එතුමා කළ සේවයත් ගැන ජනාධිපතිතුමා කීවා.

ලිප්ටන් වටරවුමේ පැවැති උද්ඝෝෂණය ගැන කතාකළ ජනාධිපතිතුමා, එහි අලුත් සටන්පාඨ නැති බවත්, රට බෙදන්න එපා, පාවාදෙන්න එපා කියා පැරණි සටන්පාඨ කියන බවත්, නමුත් විදුලි පුටුව, ජාත්‍යන්තර උසාවි, විදේශීය විනිශ්චයකාරවරුන් ආදී තර්ජනවලින් රට බේරාගත්තේ තමා හා තම රජය බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

තිරසර සංවර්ධනයකට රට යොමුකිරීම ජනාධිපතිතුමා ප්‍රමුඛතාවය දී ක්‍රියාත්මක කරන වැඩසටහනක්. එම වැඩපිළිවෙළ සැකසීම සඳහා මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ප්‍රමුඛ විද්වත් මණ්ඩලයකට භාර දී තිබෙනවා. ඔවුන් විසින් මහජන සාකච්ඡාව සඳහා සකස් කළ ජාතික තිරසර කථිකාව එළිදැක්වීමේ උත්සවය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගියදා පැවැත්වුණා. ජාතියේ හෙට දවස වෙනුවෙන්‍ තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමට තමන් හා එක්වන ලෙස ජනාධිපතිතුමා එහි දී සියලුදෙනාගෙන් ඉල්ලා සිටියා.

ආණ්ඩුව කාගේද? පක්ෂය කුමක් ද? යන්න ප්‍රශ්නයක් කර නොගෙන රටේ අනාගතය පිළිබඳ අභියෝග සියලුදෙනා විසින් භාරගත යුතු බවත්, තිරසර සංවර්ධන ඉලක්ක සාර්ථක කිරීම යනු රටේ සමෘද්ධිය ඇතිවීම බවත් ජනාධිපතිතුමා පැහැදිලි කළා.

අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය ද පසුගියදා පවත්වන ලද්දේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි. පසුගිය වසරේ විවිධ ‍ක්ෂේත්‍රවලින් දස්කම් දැක්වූ සිසුවියන්ට ත්‍යාග ප්‍රධානය ජනාධිපතිතුමා අතින් සිදුවුණා.

එහි දී කතාකරමින් ජනාධිපතිතුමා කීවේ සිසු පරපුරට මුහුණ දීමට බලවත් සතුරකු දැන් සිටින බවයි. එම සතුරා නම් මත් වුවදුර බවත් සිසු පරපුර මෙම සතුරා විසින් බිලිගනු ලැබීමට එරෙහිව බලවත් සටනක් කිරීමට සිදුව ඇති බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

පසුගිය සති අන්තයේ විශේෂ ආගමික කටයුත්තකට ඉන්දියාවට ගිය අගමැති හා බිරිය මෛත්‍රී චෙන්නායි සිට තිරුපති කෝවිල දක්වා ගියේ ඉන්දීය රජය සූදානම් කළ විශේෂ හෙලිකොප්ටරයකින්. පූජාව නිම කළ අගමැතිවරයා වහාම යළි චෙන්නායි වෙත පැමිණ කොළඹට ළඟා වූයේ එදින රාත්‍රියේ තිබූ සරසවි සම්මාන උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්විමටයි.

එහි දී ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ඉන්දීය නිළියක් වන පූජා උමාශංකර් ට සමිමානය ලබා දුන්නේ අගමැති අතින්.

“මම ආසයි ඔබතුමාට හග් එකක් දෙන්න” පූජා ඇසුවා.

“ ඔබේ ආසාවට මම බාධා කරන්නනේ නෑ. මම ඒක තවත් ධෛර්යමත් කරනවා” අගමැති කීවේ සිනාසෙමින්.

පූජාගෙන් උණ්සුම් හාද්දක් ලැබූ අගමැතිවරයා පෙරළා ඇයටද ඊටත් වඩා උණුසුම් හාද්දක් දුන්නේ කාගේත් දැවැන්ත අත්පොළසන් හඩ මධ්‍යයේයි. එම උණුසුම් හාදු හුවමාරුව පසුගිය සතියේ සමාජ ජාලාවල උණුසුම්ම පුවත බවට පත් වුණා.

බ්‍රහස්පතින්දා උදේ අගමැතිවරයා පාර්ලිමේන්තු යන විට විශාල මැති ඇමතිවරු පිරිසක් අගමැති කාර්යාලයේ රැස්ව සිටියා.

“ සාපරාධි කරුණුවල දී අන්‍යෝන්‍ය සහයෝගිතා පනතට ඡන්දය දෙන්න සියලු දෙනා උනන්දු විය යුතුයි කියල තියෙද් දී අපේ සමහරු ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ නොසිටීම ලොකු වැරැද්දක්. ලක්ෂ්මන් සූක්ෂමව කල් ගත්තෙ නැත්නම් පනත පරාද වෙනවා. ආණ්ඩුව බේරා ගැනීම ගැන ස්තූතියි. ” අගමැතිවරයා කිරිඇල්ලට ස්තූති කළා.

“දින 100 ආණ්ඩුවේදිත් මුදල් පනතක් ආණ්ඩුව පරාද වෙන්න යනකොට කිරිඇල්ල ඇමතිතුමා විපක්ෂයේ වාඩි වෙලා හිටපු දෙමළ මන්ත්‍රීලා 03 කට අතින් සංඥා කරල නැගිට්ටවලා ආණ්ඩුවට ඡන්දය අරන් එදත් ආණ්ඩුව බේරාගත්තා. පෙරේදා එතුමා යළිත් ආණ්ඩුව බේරාගත්තා ” සජිත් ප්‍රේමදාසද කතා කළේද කිරිඇල්ලට ස්තූති කරමින්.

“පාර්ලිමේන්තු මන්ත්‍රීලගෙ පඩි වැඩි කිරීමට විරුද්ධව එජාපය තීන්දු කිරීම වටිනවා නැත්නම් මිනිස්සු අපේ ඔළුව කාවි. ” නවීන් දිසානායක කීවේ සිනා මැදයි.

“ඔය ප්‍රශ්නය ගැඹුරින් බලන්න වෙනවා.2006 දී මහින්ද රාජපක්ෂ රජය ජෙයරාජ් හරහා පනතක් සම්මත කළා. විනිශ්චයකාරයන්ගේ පඩි වැඩිවෙන කොට මැති ඇමැති පඩිත් වැඩි විය යුතු බව පක්ෂ නායක රැස්වීමේ දී මතු වුණාම සියලු පක්ෂවල නායකයො ඊට එකග වුණා. ” ලක්ෂ්මන් කිරිඇල්ල කීවා.

“ඒත් ජනාධිපතිතුමාගේ වැටුප 95, 000 ක් වෙද්දි මන්ත්‍රීලට ලක්ෂ හතරක් බව එතුමා කිව්වේ මොන පදනමින්ද ” චමින්ද විජේසිරි ප්‍රශ්න කළා.

“ ආණ්ඩුවේ හා විපක්ෂයේ මන්ත්‍රීල ගැටලු ඉදිරිපත් කරන්නෙ සභානායක ලෙස මටයි.මන්ත්‍රී වැටුප රුපියල් 54, 000 යි. වරාය කම්කරුවෙකුත් ලක්ෂයක් විතර ගන්නවා. මන්ත්‍රීලගෙ වැටුප ලක්ෂ ගණන් කියල කියන්නේ ලබා දෙන වාහනය ඉන්ධන කාර්යාල හා සේවක වැටුප් ඔක්කොම එකතු කරලයි. මන්ත්‍රීලට වාහන කාල ඉන්ධන බීල කාර්යාල ඩෙසර්ට් එකට ගන්න බෑ. රුපියල් 54, 000 න් මළ ගෙවල් මගුල් ගෙවල්වලටත් දෙන්න වෙනවා. ආසියාවේ අඩුම වැටුප ලංකාවෙයි. සිංගප්පූරුවෙ මන්ත්‍රී කෙනෙකුට රු.කෝටි 10 ක් ලැබෙනවා.ඒ නිසා මන්ත්‍රීලගෙ වැටුප් ගැන යථාර්ථවාදීව හිතන්න ජනමාධ්‍ය ඇතුළු කාටත් වගකීමක් තියෙනවා. ” ලක්ෂ්මන් කිරිඇල්ල කළ විග්‍රහයට කාගේත් එකගත්වය පළවුණා.

“ ගිය සතියේ දොස්තරලා. මේ සතියේ දුම්රිය වර්ජනය කරනවා. ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී වැඩි බවයි මිනිස්සු කියන්නේ” වජිර අබේවර්ධන කීවා.

“ගිය පාර O/L විභාගෙට මේ පාර A/L විභාගෙ ඉලක්ක කරල මේ වර්ජන එන්නේ. වර්ජන කරන අයටයි අවාසි. ජනතාව කැලඹිලා වර්ජකයන්ට ගැහුවා. බස් දාල විභාග ළමයි අදින්න පුළුවන්. දුම්රිය පඩි වැඩි කළොත් තව විශාල ආයතන ගණනක පඩි වැඩි කරන්න වෙනවා. රට ගොඩ ගන්නකම් රට ගැන හිතල ක්‍රියා කිරීමේ වගකිමක් කාටත් තියෙනවා. ” අගමැති කීවා.

“අද දුම්රියට ජනතාව එල්ල කළ පහරදීම හෙට දොස්තරලටයි. දොස්තරලා දැන් දවසක් ඇර දවසක් වර්ජන කරන්න එනවා” චමින්ද විජේසිරි කීවා..

“අර සංඝ පනත ගෙන ඒමේ අලුත් තත්ත්වය මොකද්ද ! ප්‍රශ්න ඇතිවෙන ඒවාට අත ගහන්න නරකයි ” දයා ගමගේ කීවා.

“ඒ පනතට අදාළ කෙටුම්පත දැන් මහනාහිමිවරුන් අත තියෙන්නේ. උන්වහන්සේලයි අවසන් තීන්දුව ගන්න ඕන. ” විජයදාස රාජපක්ෂ උත්තර දුන්නා.

“මල්වත්තේ සහ අස්ගිරි මහනාහිමිවරු මේකට අත්සන් කළාට ඒ සංඝ සභා මේකට කැමති නැහැ. එදා රජවරු හදපු නීති ප්‍රමාණවත්. මේ පාර්ලිමේන්තුව අලුත් නීති ගේන්න ඕනේ නෑ. භික්ෂු විනය ගැන භික්ෂුන්ම බලා ගත යුතුයි කියන තැනයි උන්වහන්සේල ඉන්නේ ” ලක්ෂ්මන් කිරිඇල්ල පැහැදිලි කළා.

“ සජිත්ගේ නිවාස පනත ඒකමතිකව සම්මත වුණා. ගෙවල් හදනවට විරුද්ධ වෙන්න පුළුවන් කාටද” විජයදාස රාජපක්ෂ කීවා.

“වාහන බද්ද ඉහළ දැම්මේ තාවකාලිකවයි. අපේ විදේශ විනිමය ගිය වසරවලට වඩා තුන් ගුණයක් කුඩා කාර්වලටවලට වැය වෙලා. තෙල් මිලත් වැඩිවුණාම හිර වෙනවා. ඒත් මේ කාර් බද්ද පුළුවන් ඉක්මනින් අයින් කරන්න කියල මම මංගලට කිව්වා ” අගමැති පැහැදිලි කළා.

“ ගම්පෙරළියට අදාළ කැබිනට් පත්‍රිකාව ජනාධිපතිතුමා ඉවත දැම්මා කියන්නෙ ඇත්තද” චමින්ද විජේසිරි ඇහුවා.

“ නෑ. පවතින සුළු ගැටලු නිරාකරණය කරනතෙක් කල් තිබ්බා. මේ ගැන නිර්දේශ දෙන්න අමාත්‍යංශ ලේකම්ලගෙ කමිටුවක් පත් කළා. ඒ කමිටු නිර්දේශ හා මන්ත්‍රීලගෙ අදහස් මුලින්ම ගලපගන්න කියලයි කියවුණේ. මන්ත්‍රීලට වාහන දෙනවට වඩා ඉන්ධන දෙන එක හොදයි කියලත් කියවුණා. ” නවීන් දිසානායක කීවා.

“ නුවර අධිවේගයේ මීරිගම කුරුණෑගල කොටසේ වැඩ තව ඉක්මන් කරල ලබන වසරේ විවෘත කළාම නුවර යන්න අලුත් පාරක් බිහිවෙනවා. ” ලක්ෂ්මන් කිරිඇල්ල කීවා.

“ නුවර අධිවේගයේ මැද කොටස හා මාතර බෙලි අත්ත දකුණු අධිවේගයේ දිගුවක් ලබන වසරේ විවෘත කරනවා. ” අගමැති කීවා.

“ ආණ්ඩුව නව ව්‍යවස්ථාව ගේන්නෙ රාජපක්ෂලට ආපහු රටේ තනතුරු හොබවන්න බැරි වෙන ලෙස බව ජී.එල්.කියල තිබුණා. රට බෙදන ව්‍යවස්ථා ගේන්න හැදූ බවට චෝදනා ලැබු එතුමා නොදැකපු ව්‍යවස්ථාවක් ගැන හුඹස් බියක් රට පුරා පැතිරවීම ගැන ජනතාව පුදුම වෙනවා. ” විජයදාස රාජපක්ෂ කීවේ සිනාමැදයි.

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් 101 වැනි උදා ගම්මානය ලෙස මුලතිව් දිස්ත්‍රික්කයේ කරතුරෙයිපත්තු හි “සෙල්වම්පුරම්” ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෛකලනාදන්, දොස්තර එස්. සිවමෝහන්, ශාන්තිනී ශ්‍රී ස්කන්ධරාජා ඇතුළු ආරාධිතයන් පිරිසක් සහභාගී වුණා. විජිත ගමගේ - නිවාස අධිකාරියේ මුලතිව් දිස්ත්‍රික් කළමනාකාරවරයාගේ මඟපෙන්වීම මත විශේෂ අමුත්තන් පිරිස සජිත් සමඟ ගම්මානයේ නිවසින් නිවසට ඇවිද යමින් සිටිය දී එක් තැනක දී ඔහු කීවේ “මේ තමයි මයිකල් මහත්තයාගේ ගෙදර” කියායි. ඒ වන විටත් ‘මයිකල් මහත්තයා’ දෙපා ආධාරකවලින් එළියට පැමිණෙමින් සිටියා. සජිත් ඔහු වැලඳගනිමින් කීවේ “ඔන්න මම ඔයාගෙ ප්‍රාර්ථනාව ඉෂ්ඨ කළා” කියායි. “මගේ තාත්තා මෙතන හදල තිබුණ ගම්මානේ බලන්න මම මීට අවුරුදු 2කට කලින් ආපු දවසේ යුද්දෙන් විනාශ වුණු මේ ගෙවල් දොරවල් නැවත හදල දෙන්න කියලා මයිකල් මහත්තයා මගෙන් ඉල්ලීමක් කළා මතකද?” සජිත් දෙටු පුරවැසියාගේ මතකය අවදි කළා. දෑස් සතුටු කඳුළින් පිරුණු මයිකල් මහත්තයා කීවේ “දුප්පත් අපට ගමක් හදල දීපු තාත්තගේ පුතාත් තමන්ගේ වචනය ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරපු එක ගැන අපට හරි සංතෝෂයි” කියායි. “මගේ තාත්තා විවෘත කරපු සමරු ඵලකය යුද්ධ කාලයේ දී විනාශ නොවෙන විදියට පොළොව යට වළලා හංගලා තියලා එදා ඔයා මට භාර දුන්නා. මම ඒකත් සිහිවටනයක් හැටියට අලුත් සමරු ඵලකය ළඟින්ම සවි කෙරෙව්වා” සජිත් කීවා. කාදර් මස්තාන් නියෝජ්‍ය ඇමැතිවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රී සගයන්ට සජිත් කීවේ “ඔයාලගේ ප්‍රදේශවලත් මේ වගේ විනාශ වුණු ගම්මාන ඇත්නම් මාව දැනුවත් කරන්න. ලබන අවුරුද්දේ දෙසැම්බර් 31 වැනිදාට කලින් හැදෙන ගම්මාන 2, 500ට මුලතිව් දිස්ත්‍රික්කයෙනුත් ගම්මාන එකතු කරමු” කියායි.

බ්‍රහස්පතින්දා කෑගල්ල තැපැල් කාර්යාල ශ්‍රවණාගාරයේ දී දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් හමු වූ වජිර අබේවර්ධන අමාත්‍යවරයා කෑගල්ල දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයත්, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් විවෘත කිරීමේ අවස්ථාවට එක්වුණා.

කෑගල්ල විවෘත කිරීම්වලින් පසු සීතාවක හා පාදුක්කේ නිල සෙවණ කාර්යාල රැසක් විවෘත කළ වජිර අබේවර්ධන අමාත්‍යවරයා ඉරිදා අනුරාධපුරයේ නිල සෙවණ කාර්යාල විවෘත කිරීම් සඳහා සහභාගී වූයේ පී. හැරිසන් අමාත්‍යවරයා ද සමගින්.

අනුරාධපුරයේ අවසන් නිල සෙවණ කාර්යාලය විවෘත කිරීමේ කටයුතු අවසන්වන විට රාත්‍රී 10.00 පසුවී තිබුණා. අනුරාධපුරයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ සංචාරක බංගලාවේ රාත්‍රී ආහාරය ගත් අමාත්‍යවරයාට ''අද රෑ අනුරාධපුරයේ නැවතිලා යමු ඇමතිතුමා " යැයි හැරිසන් අමාත්‍යවරයා ආරාධනා කළ ද වජිර අබ්වර්ධන ඊට එකඟ වූණේ නෑ.

'මම හෙට උදේම ගාල්ලේ ඉන්න ඕනෑ. දැන් කොළඹ ගිහිල්ලාවත් නිදාගන්න වෙන්නේ නෑ. ඉක්මනටම ගාලු යන්න වෙනවා." ඇමතිවජිර මහ රාත්‍රියේ කොළඹ පැමිණියේ එසේ අනුරාධපුරයෙන් සමුගනිමින්.

සඳුදා උදෑසන ගාල්ල බෝපේ පොද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිල සෙවණ කාර්යාල පහක් විවෘත කිරීමට වජිර ඇමතිවරයා එක්වුණා. නිල සෙවණ කාර්යාල පහක් සඳහා වජිර අබේවර්ධන අමාත්‍යවරයාගේ මෙහෙයවීමෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබා දී තිබූ මුදල රුපියල් කෝටියක්. එහි දී ඇමතිවරයා සමෘද්ධි නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප පිළිබඳ කතා කළා

''සමෘද්ධි නිලධාරීන් කලින් ආණ්ඩුව වෙනුවෙන් වැඩ කළා. අපේ පක්ෂයට සහාය දීපු අය සමෘද්ධිය ලැබීමට සුදුසුකම් තිබිය දී සමෘද්ධිය නැතිව ඉන්නවා. සමෘද්ධි අය වැඩ කරපු විදියට ගමේ ගොඩේ කියන්නේ ආණ්ඩුවට කඩේ යනවා කියා. නමුත් එයාලට විශ්‍රාම වැටුපක්වත් නෑ. ගමේ ඉන්න අනිත් ක්ෂේත්‍ර නිලධාරීන්ට විශ්‍රාම වැටුප් ලැබෙනවා. මේ අයට නෑ. කලින් ආණ්ඩුවෙන් පත් කරලා ඒ ආණ්ඩුව වෙනුවෙන් වැඩ කරපු අයගේ විශ්‍රාම වැටුප් ප්‍රශ්නය විස දන්නත් දැන් සිදුවෙලා තියෙන්නේ අපේ ආණ්ඩුවට. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාත් හැරිසන් ඇමතිතුමාත් මේ ගැන අවශ්‍ය කටයුතු කරගෙන යනවා. හැරිසන් ඇමතිතුමා සමඟ මම ඊයේ අනුරාධපුරයේ නිල සෙවණ විවෘත කිරීම් කරද් දී එතුමා මා සමඟ මේ ගැන කීවා.

ශ්‍රී ලංකා විද්වත් වෘත්තික සංගම් සංවිධානය ( ඕපීඒ) විසින් 20වැනි සංශෝධනය සම්බන්ධයෙන් සංවිධානය කළ විශේෂ සංවාදයක් එම සංගම් මූලස්ථානයේ දී පසුගිය 07වෙනිදා පැවැත්වුණා. එම සංවාදයට නීතීඥ ප්‍රතිභා මහානාම, ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා, ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහභාගී වූණා. 20වැනි සංශෝධනයත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳවත් එහි දී දීර්ඝ සංවාදයක් කෙරුණා. 20 වැනි සංශෝධනය පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් විජිත හේරත් මන්ත්‍රීවරයා විසින් සිදු කරන ලද අතර අනෙකුත් කථිකයින් විසින් ඇතැම් කරුණු සම්බන්ධයෙන් විවේචනාත්මක කරුණු දැක්වීම් සිදු කෙරුණා. මෙම සංවාදයට සහභාගි වී සිටියේ විවිධ වෘත්තීන් නියෝජනය කරමින් පිහිටුවා ඇති විද්වත් වෘත්තික සංවිධානවල නියෝජිතයන් පිරිසක්. සංවාදය අවසානයේ දී රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැති අතර පැමිණ සිටි කිහිප දෙනෙක් විජිත හේරත් මන්ත්‍රීවරයා සමඟ සුහද කතාබහක නිරත වූණා. "ඇත්තටම මන්ත්‍රීතුමා 20 ගැන සමාජයේ තියෙන්නේ වැරදි මතයක්. සමහරු මේක ගැන හරියටම දන්නේ නැහැ. සමහරු ප්‍රචාරය කරපු බොරු මත ඔළුවේ දාගෙන ඉන්නේ. අපිත් අද තමයි හරියටම අඩංගුව ගැන දැනගත්තේ" වෛද්‍යවරයෙක් පැවසුවා.

"20 ගැන සමාජයේ තියෙන වැරදි මතය ඉවත් කරන්න ඔබතුමාලා වැඩිපුර මැදිහත් වුණොත් හොඳයි. හොඳ දෙයක් කරන්න ගියාම බාධා වැඩියි. ඒත් රටේ මිනිස්සු මේ ඇත්ත තත්ත්වය දැනගන්න ඕනෑ" නීතිඥයෙක් කීවා.

"20 ගැන බිල්ලෝ මවන අය අඩංගුව ගැන කතා කරන්නේ නැහැ තමයි. අඩංගුව ගැන කතා කරන්න දෙයක් ඒ අයට නැහැ. මොකද මේක විධායක ජනාධිපති ක්‍රමය ගැන මිසක් රටේ ස්වෛරීභාවයටවත්, රට බෙදීම ගැනවත් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. ඔය හැම නායකයෙක්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එකඟ වෙලා තියෙනවා.” විජිත හේරත් කියා සිටියා"

ජවිපෙ මධ්‍යමකාරක සභාවේ තීරණයක් අනුව ක්ෂෙත්‍ර කිහිපයක් සඳහා කඩිනම් මැදිහත් වීම් සිදුකිරීමට කමිටු පත්කර තිබෙනවා. මේ අනුව කෘෂිකර්ම ක්ෂෙත්‍රය, සෞඛ්‍ය, අධ්‍යාපන වැනි ක්ෂෙත්‍රවල පැන නගින එදිනෙදා ගැටලූ පිළිබඳව සොයා බැලීමටත් ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්ෂණික විසඳුම් පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුකරවීම සඳහාත් මෙම කමිටු මැදිහත් වනු ඇති. ඒ අනුව අධ්‍යාපනය ක්ෂෙත්‍රය සඳහා පත්කළ කමිටුව පසුගිය සතියේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ දී රැස්වුණා. ඒ සඳහා දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක, මධ්‍යමකාරක සභික හා ලංකා ගුරුසේවා සංගමයේ සභාපති මහින්ද ජයසිංහ, රත්නපුර දිස්ත්‍රික් ලේකම් හා ශ්‍රේණිධාරී විදුහල්පති ශාන්ත පද්මකුමාර, හිටපු පළාත් සභා මන්ත්‍රී ගමගෙදර දිසානායක යන සහභාගී වී සිටියා. ”ළමා අපචාර දිනෙන් දින වර්ධනය වෙමින් තිබෙනවා. එයින් විශාල ලෙස පීඩාවට පත්වෙන්නේ පාසල් ළමයින්. ඒ නිසා මේ පිළිබඳව කඩිනම් මැදිහත්වීමක් කරන්න ඕනෑ. පාසල් තුළ මේ ගැන දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ගුරු සංගමය මගින් කරන්න පුළුවන්” මහින්ද ජයසිංහ යෝජනා කළා. ”ඒ වගේම ඊළඟ අයවැයට අධ්‍යාපනය සම්බන්ධයෙන් මුදල් වෙන්කිරීම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළොත් හොඳයි. ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරලා ආණ්ඩුවේ අවධානය යොමු කළ යුතු ක්ෂෙත්‍ර හඳුනාගන්න ඕනෑ. ඒ වගේම ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරලා ඒ පිළිබඳව ආණ්ඩුවට බලපෑමක් කළ යුතුයි. ඒ වගේම ගුරු ගැටලූ පිළිබඳවත් විශේෂ මැදිහත්වීමක් කරන්න ඕනෑ” බිමල් රත්නායක යෝජනා කළා. ඊට අමතරව අධ්‍යාපන ක්ෂෙත්‍රයේ විවිධ ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර ඉදිරියේ දී ගැටලු පැන නගින ස්ථානවලට ගොස් මැදිහත්වීමටත් කමිටුව තීරණය කළා.

ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර ගැටුම පසුගියදා කරළියට ආවේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා හා කුමාර වෙල්ගම මහතා එකිනෙකාට චෝදනා අපහාස උපහාස කර ගැනීමක් වශයෙන්. අලුත්ගමගේ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා විය යුතු යැයි කියන අතර වෙල්ගම මහතා කියන්නේ මිලිටරි පාලනයක් මෙරටට අවශ්‍ය නැති බවයි. පසුගිය සති අන්ත පුවත්පතකට අලුත්ගමගේ මහතා ප්‍රකාශ කොට තිබුණේ වෙල්ගම මහතා විකටයකු බව හා එතුමා කියනදේ ගණන් ගතයුතු නැති බවයි.

කළුතර පැවැති රැලියක දී වෙල්ගම මහතා එයට පිළිතුරු දුන්නා. ඔහු කීවේ අලුත්ගමගේ මහතා කොන්දක් නැති බියගුල්ලකු බවයි. 2015 මැතිවරණ පරාජයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනට ගොස් සිටිය දී නුගේගොඩ පැවැති “මහින්ද සමඟ නැගිටිමු” රැස්වීමේ වේදිකාවට නගින්න ඔහුට කොන්දක් නොතිබූ බවත් ඒ දිනවල ඔහු සැඟවි සිටි බවත් වෙල්ගම මහතා කීවා. දෙදෙනාගේ කතාවලට මාධ්‍යවල විශාල ප්‍රචාරයක්ද ලැබුණා.

මෙලෙස තම කණ්ඩායමේ ප්‍රබලයින් ප්‍රසිද්ධ වේදිකාවල එකිනෙකාට අපහාස උපහාස කරගන්න තත්ත්වයට වැටීම ගැන මහින්ද රාජපක්ෂ මහතා බලවත් සේ කෝපවී සිටිනවා. ඔහු මහින්දානන්දට හා වෙල්ගමට කතාකොට දැඩි ලෙස අවවාද කළේ ප්‍රසිද්ධියේ බැණ ගැනීම නවත්වන ලෙසයි. තිබෙන ප්‍රශ්න පක්ෂයේ කණ්ඩායම් රැස්වීමේ දී කතා කරන ලෙස රාජපක්ෂ මහතා දෙදෙනාටම දැන්වූවා.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය තුළින් තමන්ට එරෙහිව ක්‍රියාත්මක වන ව්‍යාපාර ගැන කලකිරී සිටින බැසිල් රාජපක්ෂ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා කියමින් මේ සති අන්තයේ අමෙරිකාව බලා යාමට සූදානමින් සිටිනවා. තමන්ගේ විරුද්ධත්වය නොතකා ශ්‍රීලනිප 16 කණ්ඩායම වෙනම කණ්ඩායමක් ලෙස පිළිගැනීමත්, ඉදිරි කාලයේ මැතිවරණ තරග කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ‍හෝ පොහොට්ටුව ලකුණින් හෝ තරග නොකර අලුතින් හදන පෙරමුණක් ලෙස තරග කිරීමටත් ගෙන තිබෙන තීරණය ගැන බැසිල් රාජපක්ෂ මහතා කලකිරී සිටිනවා. මෙම පියවර දෙකම තමන්ගේ බලය දුර්වල කිරීමට ගත් පියවර ලෙස බැසිල් රාජපක්ෂ මහතා සලකන බව දැනගන්නට තිබෙනවා.

නව අදහස දක්වන්න