මත්තල ජනතාවට පෙනෙන ගුවන් තොටුෙපාළ | දිනමිණ

මත්තල ජනතාවට පෙනෙන ගුවන් තොටුෙපාළ

මත්තල ඉදිවු ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මගින් හම්බන්තොට වැසියනට සිදුවු සේවය අල්ප වුවද එවකට සිටි බලධාරීන් නිලධාරින් සහ පාලකයන්ට විශාල සේවාවක් සිදුවිය එය ජනතාවටත් පොදුවේ රටටත් මහත් බරක් විය .එහෙත් මත්තල තව දුරටත් ජනතාවට බරක් නොවීමට වර්තමාන පාලකයන් වග බලා ගත යුතුය.

ලංකාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දෙකකි.ඉන් එකක් කටුනායක පිහිටි අතර අනෙක හම්බන්තොට මත්තල ප්‍රදේශයේ ඉදිවිය.ලංකාවේ ඉදි වු දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වන මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ ජනසතු වුයේ 2013 මාර්තු 18 දිනය. එදා පටන් මේ දක්වාම ගෙවුණු වසර පහක පමණ කාලය තුළ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ මගින් ලැබූ ලාභය හෝ වාසිය පිළිබදව විවිධ කතිතාවත් මේ සමාජය තුළ ඕනෑ තරම් ඇති විය.ඒ අතරට හොද හා විවේචනද එමට ගලා එන්නට වීය.ඒ අතර අප අද ලියන්නට යන්නේ මත්තල ගුවන් තොටුපොළ ආරම්භයත් සමග මත්තලට හා හම්බන්තොටට එහි බල පෑම කෙසේ වුවේද යන්නය.

හම්බන්තොට ,සුරියවැව,තණමල්විල. ලුණුගම්වෙහෙර අවට ඇවිද ගිය අප මත්තල ගම්මානයට පැමිණියේ මේ පිළිබදව සොයා බලන්නටය. හම්බන්තොට යනු කෘෂිකාර්මික ප්‍රදේශයකි.සියයට අනූවක් වු පිරිසගේ ප්‍රධාන ජිවනෝපාය ගොඩ හා මඩ ගොවිතැනයි.මෙයිනුත් වැඩි පිරිසක් හේන් ගොවිතැනින් දිවි සරුකර ගන්නෝය.

රටේ බලයට පැමිණි විවිධ රජයන් ලංකාවට දෙවැනි ගුවන් තොටුපොළක් ඉදිකිරිම පිළිබදව සිහින දැක්කේය.ඒ වෙනුවෙන් විවිධ ස්ථානද යෝජනා කෙරුණු අතර මුල්ගල් තැබූ ස්ථානද අපට මතකය.කෙසේ නමුත් මීට පෙර සිටි පාලකයින් විසින් මත්තල ප්‍රදේශය තෝරාගෙන එහි ජාත්‍යන්තර ගුවන්තොටු පොළක් ඉදිකිරිම් සිදු කළේ ජනතාවට ඒ තුළින් සහන රැසක්ද ලැබෙන බව පවසමිනි.මත්තල ඉදි වු ගුවන් තොටුපොළ සඳහා ප්‍රදේශයේ වනාන්තර අක්කර 5000කට අධික ප්‍රමාණයක් එළිපෙහෙළි කෙරුණි.මේ හේතුව නිසා වන අලි ඇතුළු වන සතුන් රැසකට සිය නිජ භූමිය අහිමි වු අතර හේන් ගොවිතැන් කරගෙන ජිවත් වු ගොවීන් රැසකටද ගොවි කමට සමු දීමට සිදු වුයේ ඇතැම් නිලධාරීන්ගේ තිබු අත්තනෝමතික ක්‍රියා කලාපයන්වල ප්‍රතිඵල ලෙසිනි.

විවිධ විරෝධතා උද්ඝෝෂණ මැද මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදි වි හම්බන්තොට අහසින් ගුවන් යානා එහා මෙහා ගමන් කිරීමේදී බොහෝ දෙනෙකුගේ සිත්වලට යම් සහනයක්ද ලැබුණු බව සත්‍යයකි.ඒ අන් කිසිවක් නිසා නොව දැන් ගුවන්තොටුපොළ නිසා ජන ජිවිත සරුවේය යන බලාපොරොත්තුව නිසාවෙනි.එහෙත් සිදු වුයේ වෙනත් දෙයකි.මත්තල ගුවන්තොට ඇරඹුණද එහි රැකියා හෝ බාහිර ආදායම් මාර්ග හිමි වුයේ පිටස්තරයන්ටය.ඉන් ලැබුණු යම් ලාභයක් වි නම් එයද ගියේ විවිධ අයගේ සාක්කුවලටය.මත්තල අවට පිරිසට ලැබුණු රැකියාවක් නොවිය.ජනතා සිහිනයක් බොඳ වී ගියේය.එහි ප්‍රතිඵපලය වුයේ පාලකයන් ජනතා වරම් නැවත නොලබා පරාජය වීමය.

බහුතර ජනතා මනාපයකින් පත් වු වත්මන් යහපාලන ආණ්ඩුවටද මත්තල ගුවන් තොටුපොළේ බරෙන් කර ඇරිය නොහැකි විය.දිනෙන් දින ණය බර ඉහළ යන්නට විය.සිදුවෙන පාඩුව රජයකට දැරිය නොහැකි විය.මත්තල ගුවන්තොටුපොළ ඉදිකිරීම සදහා වැය වු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 252කි.එයින්ද අමරිකානු ඩොලර් මිලියන 190ක් චීනයේ එක්සිම් බැංකුවෙන් ලැබි තිබේ. ඒ සදහා වාර්ෂික සියයට දෙකක පොලියක් ගෙවිය යුතු අතර, එය වසරේ මාර්තු සහ සැප්තැම්බර් මසදී ගෙවිය යුතුව පවතී. මත්තල ගුවන් තොටුපොළේ මෙහෙයුම් ආරම්භ වු 2013 වසරේදි මත්තල ලැබු ආදායම රුපියල් මිලියන 48කි.එම වසරේ වියදම රුපියල් මිලියන 2828කි. 2018 වසරේ මැයි මාසය වන විට පමණක් මත්තල ගුවන්තොටු පොළ රුපියල් මිලියන 14ක ආදායමක් ලබා ඇති නමුත් රුපියල් මිලියන 1,896ක පාඩුවක් සිදුව තිබේ.මේ තුළ මත්තල ගුවන්තොටුපොළ පවතින්නේ කුමන ස්ථානයකද යන්න ලිවිය යුතුම නැත.එසේ නම් කුමක් සිදු කළ යුතුද යන්න තීරණයක් ගැනීම සිදු කළ යුතුම කරුණකි.තව දුරටත් රටේ මහජනතාවගේ කර මතම මෙම බර පැටවිම පාලකයන්ගේද වගකීමක් නොවේ.

විපක්ෂය අද සැම තැනම කියන්නේ මත්තල ඉන්දියාවට විකුණා ඇති බවය.හම්බන්තොට ජනයාද එය එලෙසින්ම පිළිගැනුමට සුදානම් නැත.එහෙත් මෙය කිසිවකුටත් විකුණන්නේ නම් ඊටද එරෙහි වීමට ජනයා පෙළගැසෙනු ඇත.විකිණිම හා බදු දිම යනු හාත් පසින්ම වෙනස් වු ක්‍රියාවන් දෙකක් බව විපක්ෂයේ කෑ කොස්සන් ගසන අයද හොදාකාරවම දනී.එහෙත් ඔවුන්ද බලයට පැමිණීමේ මහත් වු ආශාව නිසා වචන දෙකේ වෙනස පිළිබදව ජනතාව ඉදිරියේ කට නොඅරිනු ඇත.සරළ සිංහලෙන් කිව්වොත් ගමේ පෙට්ටි කඩයක් කරගෙන යන පුද්ගලයෙකුට එම කඩයෙන් කිසිදු ලාභයක් නොමැති නම් එය වසා දමනු ඇත.හැකිනම් වෙනත් අයෙකුට කරගෙන යාම සදහා කඩය කුලී පදනම මත ලබා දෙනු ඇත.මෙය විකිණිමක් ලෙස අර්ථ දක්වන්නේ නැත.මත්තල ගැනද කියන්න තියෙන්නේ එසේය.

ගෙවුණු වසර 05 තුළ විවිධ බාධක මැද මත්තල ගුවන් තොටුපොළේ කටයුතු සිදු කෙරුණි.ගුවන් තොටුපොළකට සාමාන්‍යයෙන් පැමිණෙන්නේ ගුවන් යානා බව කවුරුත් දනී.එය පුවතකට හේතුවක්ද නොවේ.එහෙත් මත්තලට ගුවන් යානයක් පැමිණි සැම අවස්ථාවකදිම වාගේ දෙස් විදෙස් සියළු මාධ්‍ය තුළ එයට ලැබුණේ විශේෂිත තැනකි.ඒ මත්තල ගුවන්තොටුපොළ ආරම්භයේ පටන්ම ආන්දෝලනයකට ලක්ව පැවතිම විය හැකිය.

මත්තල ඇවිද ගිය අපට වියපත් වු අයෙකු මුණ ගැසුනේ මත්තල ගුවන්තොටුපොළ මාර්ගයේ පිහිටි තේ කඩයක් තුළදීය.අපත් එක්ක ඔහු කීවේ මෙවන් කතාවකි.

“මහත්තයෝ මම පදිංචි වෙලා ඉන්නේ මේ උඩ මත්තල ගමේ.ඒ කාලේ මේ පැත්ත හරියට කොළඹ වගෙයි.නිතරම සුපිරි ගණයේ වාහන එහේ මෙහේ ආවගියා.විවිධ වර්ගයේ මිනිස්සු ආවා.කොහොමෙන් කොහොම හරි මත්තල ගුවන් තොටුපොළත් ආරම්භ උණා.ඉතින් අපිත් ගියා මේක බලන්න.ඒ කාලේ හිටිය පාලකයෝ කිව්වා මේකෙන් ගමට හා අපට ලැබෙන වාසි ගැනත්.අපිත් හරි ආසාවෙන් හිටියා අපිට නැතත් අපේ ළමයෙකුටවත් හොද රස්සාවක් කරන්න ලැබේවි කියලා.ඒ දවස්වල මත්තල අහස උඩින් එහෙන් මෙහෙන් ප්ලේන් ගියා.අපිටත් ඇත්තටම ආස හිතුණා.අපි දන්නේ නෑ මේකේ ලාභ තියේද පාඩු තියේද කියලා.

කොහොම හරි ගුවන් තොටුපොළ විවෘත වෙලා මාස දෙක තුන ගතවෙලා යනකොට අපි දැනගත්තා මේකෙන් ගමේ අපිට වැඩක් වෙන්නේ නැ කියලා.මේකේ රස්සා ටිකට ආවේ පිට පළාත්වලින්.ගමේ දෙතුන් දෙනෙකුට හැර අනිත් අයට කම්කරු රස්සාවක් වත් ලැබුණේ නෑ.අපේ දරුවෝ ගුවන් තොටුපොල දිහා බල බලා හූල්ලමින් වෙනත් රැකියා හොයාගෙන ගියා.අපි ජිවත් වුනේ කැලේ කපලා හේන් ගොවිතැන් කරලා.ගුවන්තොටුපොළ ඉදිවිමත් එක්ක අපිට ගොවිකමත් නැති වුණා.හැබැයි ඒ වෙනුවට අපිට සාධාරණයක් කරන බව තමයි එවකට මත්තල ආ ගිය විවිධ බලධාරීන් අපිට කිවුවේ.හැබැයි අදටත් අපිට වෙච්ච දෙයක් නම් නෑ.ගුවන් තොටුපොල නිසා අපිට අපේ ගොවිකම නැති වුණා.ජීවත් වෙන්න කරන්න දෙයක් නැති නිසා අපිත් ගුවන් තොටුපොළ හදනකොට ඒකේ කුළි වැඩටත් ගියා.අද අපිට මොකක්වත් වැඩක් නෑ.ගොවිතැනත් නෑ.කුළි වැඩත් නැ.වෙනවා කිව්ව සංවර්ධනයකුත් නෑ.මන් මේ කියනවට ගිහින් බලන්නකෝ පරණ මත්තල පාර කොහොමද කියලා.මේ ගුවන් තොටුපොළ හදන්න ඔක්කොම බඩු ගෙනාවේ ඒ පාරෙන්.බලන්න අද ඒ පාරේ පයින්වත් යන්න පුළුවන්ද කියලා.කෝ ඉතින් ගුවන් තොටුපොලක් හැදුනම අපිට ලැබෙනවා කිව්ව ආශ්චර්යය.අපි රැවටුණා කියලා නම් අන්තිමේ අපිට තේරුණා.

මත්තලට ගුවන් තොටු පොළක් එපා කියන එන නෙමේ මන් මේ කියන්නේ.කරන දේ හරියට පිළිවෙලට නොකරපු එකේ වන්දිය තමයි අද මේ ජනතාවට ගෙවන්න වෙලා තියෙන්නේ.ඒ විතරක් නෙමෙයි මත්තල කැලේ කපපු නිසා ඒකේ සිටිය වන අලි ටික දැන් ගම්මානවලට වැදිලා.අපි හැමදාම එළිවෙනක්ම් වන අලිත් එක්ක බැට කනවා.මේවා පිළිබදව පාලකයන්ට පෙනුනෙත් නෑ යැයි පැවසිය.

ලුණුගම්වෙහෙර පදිංචි එම්.කේ.රම්බණ්ඩා මහතා අපත් සමග පැවසුවේ මෙවන් අදහසකි.

“ලංකාවට ගුවන් තොටුපොළවල් දෙකක් නම් වැඩි නෑ.හැබැයි නමට විතරක් තිබිලා වැඩක් නෑ.අද මත්තල වහලා දමලා නේ තියෙන්නේ.ලංකාවේ ප්ලේන් ටික විතරයි මත්තලට එන්නේ.අනිත් රට වල අය මත්තලට එන්න කැමති නෑනේ.ඉතින් පාඩු පිට මේ විදියට ගුවන් තොටුපොලක් තියාගෙන අපේ සල්ලි වලින් ඒවායේ ඉන්න අයට පඩි ගෙවනවාට වඩා හොදයි කාට හරි කරගෙන යන්න පුළුවන් කෙනෙකුට දෙන එක.මගේ මතය නම් නමට විතරක් මේ විදියට ගුවන් තොටුපොලක් රටකට වැඩක් නැ කියන එකයි .

සුරියවැව පදිංචි අමිත් වීරසිංහ මහතා මෙසේ පැවසිය.

මේක කාටවත් විකුණනවා නම් ඒක අපරාධයක්.රාජ්‍ය සම්පත් විකුණන්න කාටවත් පුළුවන් කමක් නෑ.මේවා මහජන දේපළයි.මත්තල ගුවන්තොටුපොළ එක එක දේශපාලඥයින්ට ඕන විදිය විකුණන්න නොදීම තමයි කළ යුතු.විකුනන්නේ නැතිව කුමක් හෝ සමාගමක් එක්ක එකතුවෙලා මේක කරගෙන යනවා නම් ඒකෙන් රටට වගේම පළාතේ ඉන්න ඉනතාවටත් සෙක් සැලසෙනවා යැයි පැවසිය.

හම්බන්තොට හා මත්තල ඇවිද ගිය අපට හමු වු බොහෝ දෙනෙකුගේ මතය වුයේ මත්තල ගුවන්තොටුපොළ මෙලෙස වසා දමා තිබිම ජාතික අපරාධයක් බවත්,මෙය මෙලෙස ජාතික ආර්ථිකයට බරක් විමට නොදී කිසියම් පාර්ශවයකගේ සහාය ඇතිව මෙය නගා සිටුවිමට පියවර ගතයුතුය යන මතයය.

සුරියවැව විශේෂ
නුවන් ජයසේකර

නව අදහස දක්වන්න