වසර 52 ක් පෙරහරේ යන වසර 35 ක් හේවිසි ගහන පනික්කියලැගෙදර ගුරුතුමා | දිනමිණ

වසර 52 ක් පෙරහරේ යන වසර 35 ක් හේවිසි ගහන පනික්කියලැගෙදර ගුරුතුමා

අසේල කුරුළුවංශ

කිලෝ මීටර පන්දහසකට වඩා පෙරැහරේ ගිහින් ජනාධිපතිවරු පස් දෙනකු අතින් සම්මාන 30 ක් අරන් තිබෙනවා. පෙරහර සඳහා වැඩසිටින කුටියෙන් පිටතට වැඩම කරවන පෙරහර කරඬුව යළි එහි තැන්පත් කරන තුරු මොන විදිහටවත් හේවිසි පූජාව නතර කරන්න බැහැ.අලි කුලප්පුවක් ආවත්, හේවිසිය නවතා කරඬුව හැර යන්නේ බැහැ.

හේවිසි කණ්ඩායමේ නායකයාට විතරයි දවුලේ සවරම් බඳින්න පුළුවන්.වෙන අය බැන්දොත් එයාගේ අත කපලා බෙල්ලේ බඳින්න තමයි රාජ නියෝගය. මැරෙනකල් පෙරහරේ යන්නයි බලාපොරොත්තුව.දළදා පෙරහරට සම්බන්ධ වෙන්න දක්ෂතාව වගේම, පෙර පිනත් තියෙන්න ඕන

මහනුවර ඇසළ පෙරහැර වීදි සංචාරය කිරීමට ප්‍රථම පෙරහර කරඬුව සුබ නැකතට අනුව දළදා වහන්සේ වැඩ සිටින කුටියෙන් පිටතට වඩමවා ගෙන එනු ලබන්නේ දියවඩන නිලමේතුමන් විසිනි.තේවාව භාර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පෙරහැර කරඬුව දියවඩන නිලමේතුමන් අත තැන්පත් කිරීමෙන් පසු දළදා වහන්සේ වැඩ සිටින කුටියෙන් කරඬුව පිටතට වැඩම කරනු ලබන්නේ සක් හඬ මධ්‍යයේය.ඒ සමඟ දළදා මාලිගාවේ රාජකාරී කරන හේවිසි පරම්පරා හතරේ සාමාජිකයෝ හේවිසිය පටන් ගනිති.කරඬුව වැඩමවාගෙන එද්දී බහිරව බලි නඩය නම් හේවිසි පදය වයන අතර ශබ්ද පූජාව අවසන් වන්නේ කරඬුව වැඩමවන මංගල හස්තිරාජයා මත තිබෙන රන්සිවි ගෙය තුළ කරඬුව තැන්පත් කිරීමෙන් පසුය.ඉන්පසු කරඬුව වැඩම වන ඇතා දළදා මාලිගාවේ ප්‍රධාන වාහල් කඩින් පිටතට පැමිණෙද්දී පටන් ගන්න හේවිසිය අවසන් කෙරෙන්නේ කරඬුව යළි දළදා සමිඳුන් වැඩසිටින කුටියේ තැන්පත් කළාට පසුවය.

හේවිසි කණ්ඩායමකට දවුල,තම්මැට්ටම,හොරණෑව,හක්ගෙඩිය,තාලම්පට හා ගෙජ්ජි වයන ශිල්පීන් අයත්ය.රජ දවස පටන් පැවරුණු රාජකාරී අනුව දළදා මාලිගාවේ තේවා කටයුතුවලට හේවිසි පරම්පරා හතරක සාමාජිකයෝ එක්ව සිටිති.උඩුවෙල,ඉහළ වෙල,මාලගම්මන හා මොළගොඩ යන පරාම්පරා හතරට මෙම රාජකාරී පැවරී තිබේ.දළදා මාලිගා පෙරහැරේ දළ ඇතෙකු පිට මුලින්ම ගමන් ගන්නා පෙරමුණේ රාළට පසුව ගමන් ගන්නේ මේ හේවිසි පරම්පරා හතරේ ශිල්පීන්ය.හේවිසි කණ්ඩායමේ නායකත්වය දරන්නේ මේ පරම්පරා හතරට අයත් දවුල් වාදකයින්ය.පරම්පරා හතරේ නායක පනික්කියන් සිව් දෙනා හේවිසි පන්තියේ මුලින්ම ගමන් කිරීම පෞරාණික සම්ප්‍රදායයි..

මෙම පරම්පරා හතර අතරින් උඩුවෙල පරම්පරාව නියෝජනය කරන ඕතැන්නේ පනික්කියලෑ ගෙදර කරුණාදාස හේවිසි කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම සමාජිකයායි. මහනුවර ඇසළ පෙරහැරේ වසර පනස් දෙකක කාලයක් ඔහු ගමන් කර තිබේ.වසර තිස් පහක් ශ්‍රී දළදා මාලිගාවේ හේවිසි කණ්ඩායමේ උඩුවෙල පරම්පරාවට නායකත්වය දෙන ඔහු දැන් පසු වන්නේ 66 වැනි වියෙහිය...

මගේ මුත්තා තමයි රජකාලේ මේ රාජකාරිය කරලා තියෙන්නේ.රජ්ජුරුවෝ එදා දළදා තේවාව සඳහා නියම කළ රාජකාරියක් තමයි අපි මේ ඉෂ්ඨ කරන්නේ.මගේ මුත්තා කුසුඹා.එයාගේ පුතා මගේ සීයා.එයාගේ නම සරණා.මගේ තාත්තට කලින් රාජකාරිය කළේ තාත්තගේ අයියා එයා රන්කිරා,පස්සේ මගේ තාත්තා ඇබිත්තා රාජකාරී කළා.දැන් මම තමයි උඩුවෙල පරම්පරාව වෙනුවෙන් මාලිගාවේ හේවිසි රාජකාරි කණ්ඩායමේ නායකත්වය දරන්නේ.මම දැන් අවුරුදු 52 ක් පෙරහැරේ යනවා.මුලින්ම 1965 අවුරුද්දේ විෂ්ණු දේවාළ පෙරහැරට තාත්තා එක්ක පන්තේරු ශිල්පියෙක් විදිහට සම්බන්ධ වුණා.එදා පෙරහැර 12 ම ගියාට මට රුපියල් 12.00 ක් හම්බ වුණා.ඒ සල්ලිවලින් රුපියල් 6.00 කට මම ඇඳුම් දාන්න ගත්ත ෂූට් කේස් එක තාමත් ගෙදර තියෙනවා.දළදා මාලිගාවේ පෙරහැරට මම සම්බන්ධ වුණේ 1970 දීයි.ඉස්සරවෙලාම ගැහුවේ තාලම්පොට...කරුණාදාස පවසයි.

තම පරම්පරාවේ උරුමයක් වූ දවුල් වැයුමට එතරම් කැමැත්තක් නොදැක් වූ කරුණාදාස මෙම ශිල්ප ඉගෙනීමට යොමුව ඇත්තේ ඔහුගේ පියා වන ඇබිත්තියාගේ බලකීරීමටය.පියාගේ වියෝවෙන් පසු දළදා මාලිගාවේ උඩුවෙල හේවිසි කණ්ඩායමේ නායකත්වයට පත්වූ කරුණාදාස එම තනතුරට පත්ව ඇත්තේද අහම්බෙනි.1988 අවුරුද්දේ ජනතා විමුක්ති පෙරමුණේ භිෂණ කාලේ.පෙරහැර කරන්න විදිහයක් තිබ්බේ නැහැ.දළදා හමුදුරුවෝ වෙනුවෙන් කරන මේ මංගල්‍යය නවත්වන්න හොඳ නැහැ.මේ හින්දා මාලිගාව ඇතුළේ චාරිත්‍ර කරලා පෙරහැර පැවැත් වූවා.1989 ජූලි 16 වෙනිදා අපේ තාත්තා පෙරහැරට ලෑස්ති වෙනකොට ලෙඩ වුණා.තාත්තා කාටවක් නොකියා ගිහින් අමාරුවට මාලිගාවේ කාමරේ හාන්සි වෙලා.මම ගිහින් කතා කළාම තාත්තා කිව්වා මට ටිකක් අමාරුයි කියලා.මම නිලමේතුමාට ගිහින් කිව්වා.එතුමා ඇවිත් තාත්තව රෝහලට යැව්වා.එදා ඇතුළේ පෙරහැර කළේ මම.ඊට හරියටම අවුරුද්දකට පස්සේ 1990 ජූලි 16 වෙනිදා තාත්තා නැතිවුණා.එදා ඉඳන් මාලිගාවේ තාත්තා කරපු පනික්කි ධූරය දරන්නේ මම.දැන් ගෙවෙන්නේ 28 වෙනි අවුරුද්ද.මාලිගාවේ පරම්පරා හතරේ ප්‍රධාන පනික්කියෝ හතර දෙනෙක් ඉන්නවා.මම ඉන් එක් කෙනෙක්.අපි හතර දෙනා එකතු වෙලා හැමදාම තේවාව කරනවා.පෙරහැරේ ඉස්සරහින් දවුල වාදනය කරමින් යන්නේ අපි හතර දෙනා.ඉස්සරහින්ම යන දවුල්කරුවන්ගේ දවුල්වලට සවරම් හා සවරම් පටි යොදලා තිබෙන්නේ ඒ අය හේවිසි කණ්ඩායමේ නායක පනික්කියන් බව හඳුනා ගන්නයි.මේ නිසා ඒ දවුල් වෙන ඒවාට වඩා කැපී පේනවා.වෙන පනික්කියෝ මේ සවරම දවුලේ බැඳගෙන ගියොත් අත කපලා බෙල්ලේ එල්ලන්න කියලා තමයි ඒ කාලේ රජ්ජුරුවෝ නියෝග කරලා තියෙන්නේ......

දළදා තේවාවේදී මෙන්ම ඇසළ පෙරහැරේදීද කරුණාදසගේ අතින් වැයෙන දවුලේ නාදය අති මනරම්ය.එහි කෙළ පැමිණි ඔහු තාලයට පාද තබමින් දවුල වයන්නේ ඊට දැහැන්ගතවය.....අපි.පෙරහැර කරන්නේ සල්ලි බලාගෙන නොවෙයි.දළදා හාමුදුරුවන් වෙනුවෙන් කරන මේ මංගල්‍යයට දායක වෙන්න අපි පෙර පින් කරලා තිබෙනවා.මේ අවස්ථාව හැමෝටම ලැබෙන්නේ නැහැ.මම දළදා තේවාවට වගේම පෙරහැරේ යනකොට ගහන්නේ මගේ මේ අත් දෙකෙන් හදපු දවුලක්.දැන් ඒකට අවුරුදු 35 ක් විතර වෙනවා.රත්කීරිය කොටයක් කපලා අතින්ම බොක්ක හාරලා මම මේක හැදුවේ තාත්තාගේ ගුරු හරුකම් ලබාගෙනයි.මස් මාළුකාලා,කිළි ගෙවල්වල ගිහින් අපි කවදාවත් පෙරහැරට හරි තේවාවට හරි එන්නේ නැහැ.එහෙම කළොත් විපාක දෙනවා...කරුණාදසගේ කතාවෙන්ම ඔහු මෙම රාජකාරිය සඳහා දක්වන කැපවීම පැහැදිලි වෙයි. මහනුවර ඇසළ පෙරහැර අදද පැවැත්වෙන්නේ පෞරාණික චාරිත්‍ර ගරුකරමිනි.ඊට සම්බන්ධ වන ශිල්පිහුද නිරන්තරව ඒ සඳහා කැපව සිටිති.වලිනඩ සහිත ගමන් මාත්‍රය තමයි පෙරහැර වීදි සංචාරය කරද්දී ගහන්නේ.ඒක වෙනස් කර කර දිගටම ගහනවා.රජ ගෙදර ළඟින් ඇතුළු වුණාට පස්සේ ගහන්නේ හේවිසි පහේ හේවිසිය.එතන ඉඳලා මාත්‍රා ගහන්නේ නහැ.වාහල්කඩ ළඟට ආවම ඒකත් නතර කරනවා.ඊට පස්සේ ගහන්නේ ගෙවැද්දුම් හේවිසිය.පෙරැහර කරඬුව තැන්පත් කරලා ඝාන්ඨාරය නාද කරනකල් ශබ්ද පූජාව පවත්වනවා.කරඬුව පිටතට වැඩම කරලා ආපහු තැන්පත් කරන කල් මොනදේ උනත් හේවිසිය නවත්වන්න බැහැ.ඒක තමයි නියමය.අලියෙක් කුලප්පු වුණත් අපි කරඬුව තනි කරලා යන්නේ නැහැ.එක පාරක් මහ මළුව ළඟ අලියා කුලප්පු වුණා.කරඬුව වඩමවා ගෙන ආපු ඇතා තමයි කුලප්පු වුණේ.අලියා මෙල්ල කරලා කරඬුව වෙනත් ඇතෙකුගේ පිටේ තැන්පත් කරලා තමයි පෙරහැර පටන් ගත්තේ.අපි හේවිසිය නතර කළේ නැහැ....

කරුණාදාස තම රාජකාරිය දේවකාරියක්සේ ඉටු කරන්නෙකි. තමන් නිරත ක්ෂේත්‍රයේ කෙළ පැමිණියෙකු බව සාක්කි සහිතව ඔහු ඔප්පු කර තිබේ. විධායක ජනපතිවරුන් පස් දෙනෙකු අතින් හේ විශිෂ්ටතම දවුල්වාදකයාට හිමි සම්මානය ලබා ඇත.මම ආර්.ප්‍රේමදාස,ඩී.බී විජේතුංග,චන්ද්‍රිකා කුමාරතුංග,මහින්ද රාජපක්ෂ,මෛත්‍රීපාල සිරිසේන යන ජනපතිවරුන් අතින් විශිෂ්ටතම දවුල් වාදකයාට හිමි සම්මානය ලබා ගත්තා.තාත්තාගේ මරණින් පසු 1990 දී තමයි මම පළමු ජනාධිපති සම්මානය ලබා ගත්තේ.මේ වනවිට මම ජනාධිපති සම්මාන විතරක් 30 ක් ලබා ගෙන තිබෙනවා.අපේ පරම්පාරව ඉස්සරහට ගෙනි යන්න දැන් පුතාව දළදා මාලිගාවේ රාජකාරිවලට සම්බන්ධ කර ගත්තා.එයත් හොඳට දවුල ගහනවා.මේ රාජකාරිය අපෙන් පස්සේ ගෙනියන්න කවුරු හරි නොහිටියොත් පරම්පාරවත් එතනින් නැති වෙනවා.මට ඒ බය දැන් නැහැ .....

මම නුවර පෙරහැරේ විතරක් මේ අවුරුදු 52 ට කිලෝ මීටර් 5000 ක් විතර ගිහින් ඇති.කවදාවත් පෙරහැරේදී මහන්සියක් දැනේනනේ නැහැ.දැන් මට අවුරුදු 66 ක් වෙලත් දවුල අතට අරන් පාරට බැස්සම ඇඟට පුදුම ශක්තියක් දැනෙන්නේ.දළදා වහන්සේගේ හාස්කම තමයි මහත්තයෝ මේ...කරුණාදාස කතාව නිමා කළේ එසේ පවසමිනි.


නව අදහස දක්වන්න

Or log in with...