මැති සබයේ මැරවරයෝ | දිනමිණ

මැති සබයේ මැරවරයෝ

විමල් වීරවංශ ඇතුළු මේ කල්ලිය පාර්ලිමේන්තුව තුළ හැසිරෙන්නේ ත්‍රස්තවාදීන්, නැති නම් මැරයන් ආකාරයෙනුයි. කතානායකවරයාට තර්ජනය කිරීම, පුද්ගලික අපහාස කිරීම සමඟ පාර්ලිමේන්තු සභාවාර කඩාකප්පල් කිරීම ඔවුන් මේ විට දෛනික පුරුද්දක්, විලාසිතාවක් කරගෙන තිබෙනවා. ඔවුන් මේ සියලු උත්සාහයන් මගින් අපේක්ෂා කරන්නේ මේ ලිපිය ආරම්භයේදී සඳහන් කළ ආකාරයට පාර්ලිමේන්තුව හා ආණ්ඩුකරණය කඩාකප්පල් කර රට ආරාජිකත්වය කරා තල්ලු කිරීමටයි. එම දේශපාලන අස්ථාවරත්වය තුළ හිට්ලර්ලාට ඔටුණු පැළඳවීමටයි.

ඒකාබද්ධ විපක්ෂයටත් විපක්ෂ නායක ධූරය පිළිබඳ ඉල්ලීම කරන්න තිබුණේ දැන් නොවෙයි. ඒ අයට කලින් මේක කරන්න තිබුණා. ඒකාබද්ධ විපක්ෂයත් පෙරහර ගියාට පස්සේ තමයි හුඟක් දේ කරන්නේ. නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා තමයි මේ අයට විපක්ෂ නායකකම අහිමි වුණේ” මේ ප්‍රකාශය කරන්නේ ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා මහතායි. ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකකමට ඇති අයිතිය ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් සිල්වා මහතා ඉහත සඳහන් ප්‍රකාශය කළා. මේ සමඟ විපක්ෂ නායක විවාදයට එක් වූ ශ්‍රීලනිපයේ ප්‍රබලයෙක් වන හිටපු ඇමැති කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කළේ “ඒකාබද්ධ විපක්ෂයට වැඩපිළිවෙළක් නැති බවයි” ඒ නිසා ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායකත්වය අවශ්‍ය නැති බව කුමාර වෙල්ගම මහතා නොකියා කිව්වා.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය අත්පත් කර ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂ කල්ලිය (රාජපක්ෂ කල්ලිය ලෙස නිවැරදි විය යුතුය) තීරණාත්මකව සටන් නොකරන බව ඉහත සඳහන් ප්‍රකාශවලින් පැහැදිලි වන අතර ආණ්ඩුව ද ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු අවධානයක් යොමු කරන බවක් දැකිය නොහැකියි. මෙහිදී රාජපක්ෂ කල්ලිය සුපුරුදු පරිදි කතානායකවරයාට තර්ජනය කිරීම මගින් විපක්ෂ නායකත්වය අත්පත් කර ගැනීමට තැත් කරද්දී ආණ්ඩුව එය කතානායකවරයාගේ වගකීමක් ලෙස සලකා නිහඬ පිළිවෙතක් අනුගමනය කරන ආකාරය දැකිය හැකියි. මේ තත්ත්වය තුළ අපට පෙනී යන්නේ මෙය හුදු කතානායකවරයාගේ තීරණයක් සම්බන්ධ ගැටලුවක් බවට ඌනනය වී තිබෙන බවයි. එය රාජපක්ෂ කල්ලියේ සේම ආණ්ඩුවේ ප්‍රකාශ තුළින් ද මනාව පැහැදිලි වෙනවා. එහෙත් විපක්ෂ නායකකම සම්බන්ධ මේ අර්බුදය දේශපාලන කාලබෝම්බයක් බව මේ ගැන සියුම්ව අවධානය යොමු කරන විට පැහැදිලි වෙනවා. විශේෂයෙන් ආණ්ඩුව සහ යහපාලන බලවේග ඒ ගැන විශේෂ අවධානයක් යොමු නොකිරීම පුදුමයක් බවයි බොහෝ දෙනෙක්ගේ අදහස වන්නේ.

රාජපක්ෂ කල්ලියේ සාවද්‍ය මතය

ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතාට අනුව විපක්ෂ නායකත්වය අත්පත් කර ගැනීමට පමා වී හෝ උත්සාහ කරන රාජපක්ෂ කල්ලිය විපක්ෂ නායකත්වයට ඇති හිමිකම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ජනප්‍රිය තර්කය වන්නේ “ මීළඟ ආණ්ඩුවේ නායකයා වශයෙන් පත් වනු ඇතැයි අපේක්ෂා කරන පුද්ගලයාට විපක්ෂ නායකත්වය හිමිවීම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමයේ සම්ප්‍රදාය වන නිසා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුගමනය කරන ලංකාවේ ද එය ඒ ආකාරයෙන්ම සිදු විය යුතු බවයි” මේ බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සේම න්‍යායාචාර්යවරුන් වශයෙන් සැලකිය හැකි සියලුම දෙනා ද අඛණ්ඩව අවධාරණය කරන කරුණක්. මේ මතයම පසුගියදා ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා විසින් ද අවධාරණය කළා.

“අපි අනුගමනය කරන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායයි. ඒ සම්ප්‍රදාය අනුව විපක්ෂ නායක කියන්නේ ඊළඟ අග්‍රාමාත්‍යවරයා බවට පත්විය හැකි පුද්ගලයායි. ඒ අනුව මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා වෙන්න පුලුවන් සම්බන්ධන් මහත්තයාටද ? එහෙම නැතිනම් මහින්ද රාජපක්ෂ මහතා හෝ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න වෙනත් නායකයෙකුට ද කියලා තීරණය කර ගන්ඩ මහා දේශපාලන විඥානයක් අවශ්‍ය වෙන්නේ නැහැනේ. එම අර්ථ නිරූපණය අනුව යම්කිසි කණ්ඩායමක් නියෝජනය කරන ඊළඟට අගමැතිවීමට වැඩි සම්භාවිතාවක් තිබෙන පුද්ගලයා කවුද ? ඔහු තමයි විපක්ෂ නායකයා විය යුත්තේ” මේ මනෝහර ද සිල්වා මහතා අවධාරණය කරන්නේ විපක්ෂ නායකත්වය සම්බන්ධයෙන් වන රාජපක්ෂ කල්ලියේ පොදු තර්කයයි.

එහෙත් ප්‍රශ්න වෙන්නේ ලංකාවේ ආණ්ඩුක්‍රමය තුළ රාජ්‍ය නායකයා වශයෙන් සැලකෙන්නේ විධායක ජනාධිපතිවරයා මිස අග්‍රාමාත්‍යවරයා නොවෙයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වන තෙක් 1978 සිට අග්‍රාමාත්‍ය ධූරය හුදු රබර් මුද්‍රාවක් පමණයි. අගමැති රණසිංහ ප්‍රේමදාස මහතාට අනුව “පියන්කමක්” පමණයි. අනෙක් කාරණය වන්නේ ලංකාවේ ආණ්ඩුකරණය තුළ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය හුදු වචනයකින් ඔබ්බට ගමන් නොකරන දෙයක් බවයි. අද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායේ එල්ලී තම පැවැත්ම සහතික කර ගැනීමට තැත් කරන රාජපක්ෂ කල්ලිය තම පාලනය තුළ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායක් ගැන කතා කිරීමටවත් විපක්ෂයට ඉඩ නොදුන්නා පමණක් නොවෙයි. එම සම්ප්‍රදායන් අමු අමුවේ උල්ලංඝනය කළා. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ධූරයෙන් පළවා හැරීමේ අවස්ථාව ඒ සඳහා ප්‍රකට එක් නිදසුනක් පමණයි. මෙවැනි අපකීර්තිමත් ඉතිහාසයක් ඇති රාජපක්ෂ කල්ලිය අද තම පැවැත්ම වෙනුවෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායේ එල්ලීම දේශපාලන ප්‍රහසනයක් මිස වෙන දෙයක් නොවෙයි.

අනෙක් කරුණ වන්නේ ඒකාබද්ධ විපක්ෂය ලෙස නාමකරණය වී සිටින රාජපක්ෂ කල්ලිය විපක්ෂ නායකත්වය ඉල්ලන්නේ අති සාවද්‍ය පදනමක් හා තර්ක මත පදනම් වෙමිනුයි. මේ බව ප්‍රකට දේශපාලන විද්‍යාඥයෙක් වන මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා මහතා පසුගියදා පැහැදිලිව පෙන්වා දුන්නා. “අගමැතිවරයා හැරුණුවිට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක ඊළඟ වැදගත්ම තනතුර බවට පත් වෙන්නේ විපක්ෂ නායක ධූරයයි. කැබිනට් සම්ප්‍රදාය අනුව විපක්ෂ නායකවරයා හඳුන්වන්නේ ඊළඟ අගමැතිවරයා හැටියටයි. පාර්ලිමේන්තු පිළිගත් සම්ප්‍රදාය අනුව විපක්ෂ නායක ධුරය හිමිවන්නේ පාර්ලිමේන්තුවේ ඊළඟ බහුතර ආසන සංඛ්‍යාව දිනාගත් පක්ෂයේ නායකයාටයි. 2015 අගෝස්තු 17දා පැවැති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණ පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා ගත්තා. ඊළඟට වැඩිම ආසන සංඛ්‍යාව දිනා ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නායකත්වය දෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. නමුත් ඔවුන් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව සන්ධාන ආණ්ඩුවක් නිර්මාණය කළා. ඒ තත්ත්වය තුළ එජනිස අයත් වෙන්නේ ආණ්ඩු පක්ෂයට මිස විපක්ෂයට නොවෙයි. ඒ අනුව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වැඩිම ආසන සංඛ්‍යාවකට හිමිකම් කියන දමිළ ජාතික සන්ධානයට විපක්ෂ නායකකම හිමිවුණා. මෙතැනදී ගැටලුව වෙලා තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බෙදිලා යාමයි. ඔවුන් දැන් ඒකාබද්ධ විපක්ෂය කියලා සංවිධාන වෙලා ඉන්නවා. ඉතාම පැහැදිලිව ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිපයෙන් කැඩිලා ගිය කණ්ඩායමක් තමයි මේ ඒකාබද්ධ විපක්ෂය කියන්නේ. ඔවුන් පිළිගත් දේශපාලන පක්ෂයක් නොවෙයි. මේ ඒකාබද්ධ විපක්ෂය යැයි කියා ගන්නා මන්ත්‍රීවරුන් පත් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නායකත්වය දුන් එජනිස මිස වෙනත් දේශපාලන පක්ෂවලින් නොවෙයි. ශ්‍රීලනිපය ආණ්ඩුවක් ලෙස එජාපය සමඟ සන්ධාන ගත වෙලා සිටින නිසා ඔවුන් ද අයත් වෙන්නේ ඒ ගොඩටම තමයි. මොකද ආණ්ඩුවේ නායකයා වන ජනාධිපතිවරයා ශ්‍රීලනිපයේ සභාපතිවරයා, එහෙම නැතිනම් නායකයා. විපක්ෂ නායකකම ඉල්ලන ශ්‍රීලනිපයේ කිසිම කෙනෙක්, අඩු තරමේ මහින්ද රාජපක්ෂ මහතා පවා ශ්‍රීලනිපයෙන් ඉල්ලා අස්වෙලා නැහැ. මෙතැන සිටින කිසිම කිසිවෙක් පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වයවත් අරන් නැහැ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ තිබෙන පුද්ගලික විරසකය නිසා මේ අය වෙනම ගිහින් සංවිධාන වුණාට ඒක පක්ෂයක් නොවෙයි. අඩුම තරමේ මෙතැන පක්ෂ නායකයෙක් පවා නැහැ. දිනේෂ් ගුණවර්ධන මහතා කියන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා පමණයි. මේ තත්ත්වය අනුව මේ අය විපක්ෂ නායකකම ඉල්ලන්නේ සංඛ්‍යාත්මක බලයක් මතයි. සංඛ්‍යාත්මක බලයක් තිබිලා හරියන්නේ නැහැ. පිළිගත්තු රීති, සම්ප්‍රදායන් තිබෙනවා. ඒ නිසා ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න පිරිස පාර්ලිමේන්තුවේ කලබල කළාට ඇති වැඩක් නැහැ. කතානායකවරයා මෙතැනදී කෙළින් ඉන්න ඕනෑ. කතානායකවරයා අතේ තමයි ප්‍රශ්නය අවසාන වශයෙන් රැඳී තිබෙන්නේ. ඒත් පිළිගත්තු පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට අනුව සහ ලෝකයේ පවතින තත්ත්වය අනුව සංඛ්‍යාත්මක පදනම මත පමණක් විපක්ෂ නායකකම දෙන්න පුළුන්කමක් නැහැ. කතානායකවරයාට එහෙම අයිතියකුත් නැහැ”

විපක්ෂ නායකත්වය වැදගත් ඇයි ?

එහෙත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය හා සම්බන්ධ මේ අර්බුදය ආණ්ඩුව හෝ රාජපක්ෂ කල්ලිය සිතන තරම් සරල හෝ නොවැදගත් සිදුවීමක් නොවන බව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන දේශපාලන විශ්ලේෂකයන් අවධාරණය කරනවා. මෙහිදී ඔවුන් පෙන්වා දෙන්නේ රාජපක්ෂ කල්ලිය කතානායක පදවිය ඉල්ලා සිටින්නේ හුදු පාර්ලිමේන්තු සම්ප්‍රදාය මත පදනම් වෙමින් වුවත් යම් ආකාරයකින් ඔවුන්ට කතානායක පදවිය හිමිකර ගැනීමට අවස්ථාවක් උදා වුවහොත් අනපේක්ෂිත දේශපාලන අර්බුද රැසක් උද්ගත විය හැකි බවයි.

මෙහිදී ඔවුන්ගේ විශේෂ අවධානය යොමු කරන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් නිර්මිත නව තත්ත්වයන් යටතේ විපක්ෂ නායකවරයාට හිමිවී ඇති සුවිශේෂ බලතල සහ තත්ත්වය පිළිබඳව ආණ්ඩුව නිසි ඇගයීමක නොසිටින බවයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමට පෙර පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය හුදු තනතුරක් වූවා මිස එයින් එහා ගිය තීරණාත්මක දේශපාලන බලයක් එයට හිමි වුණේ නැහැ. එහෙත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම සමඟ විපක්ෂ නායකවරයාගේ තත්ත්වය තීරණාත්මක තත්ත්වයට පත්ව තිබෙනවා. ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පසුගිය ඉරිදා පුවත්පතකට සඳහන් කර තිබූ ප්‍රකාශයක් උපුටා දැක්වීම මගින් ම වත්මන් තත්ත්වය වටහා ගත හැකියි.

“ඒ කාලේ විපක්ෂ නායක කළේ නිකං උත්සවවලට ගිහින් පීත්ත පටි කපන එකයි. ඒ හැරෙන්න වෙන බලයක් තිබුණේ නැහැ. නමුත් දැන් ඉන්න විපක්ෂ නායකවරයා ව්‍යවස්ථාදායක සභාවේ ඉන්න ප්‍රබලම සාමාජිකයෙක්. අගමැතිවරයා සමඟ එකතු වෙලා විපක්ෂ නායකවරයාට පුළුවන් මේ රටේ තිබෙන ඉහළ ම ධූර සඳහා ඕනෑම අයෙකු පත් කරන්න. ව්‍යවස්ථාදායක සභාවේ ඡන්දය හිමි නව දෙනාගෙන් හත් දෙනෙක් අගමැති හෝ විපක්ෂ නායකගේ හෝ ඔවුන්ගේ නියෝජිතයෝ. මෙතරම් විධායක බලයක් පාවිච්චි කරන ධූරයක් බවට අද විපක්ෂ නායක ධූරය පත් වෙලා තිබෙනවා”

ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා සඳහන් කරන මේ කරුණ ගැන ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සහාය දෙන බලවේගවල අවධානය කොතෙක් දුරට යොමුව තිබෙනවාද ? යන්න කිසිවෙක් දන්නා බවක් දැකිය නොහැකියි. එහෙත් වත්මන් විපක්ෂ නායකවරයාට හිමිව තිබෙන මේ බලතල ගැන රාජපක්ෂ කල්ලිය අසංවේදී යැයි විශ්වාස කළ නොහැකියි. ඔවුන් බ්‍ර්තාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායන් වැනි ඊනියා කතා මගින් මේ උත්සාහ කරන්නේ “ඔටුවා කූඩාරමට රිංගා ගත්තා වැනි ” උපක්‍රමශීලී ප්‍රවේශයක් වෙත යාමට බව කිසිසේත් නොතකා හැරිය නොහැකියි.

ඔටුවා රිංගා ගතහොත් වෙන දේ

යම්කිසි ආකාරයකින් මහින්ද රාජපක්ෂ මහතා හෝ රාජපක්ෂ කල්ලියේ වෙනත් අයෙක් (දිනේෂ් ගුණවර්ධන මහතා හෝ) විපක්ෂ නායකත්වය අත්පත් කර ගතහොත් සිදුවන දේ කුමක්ද ? අගමැතිවරයා සමඟ එක්වී ව්‍යවස්ථා සභාවේ සම අසුන් ගැනීමට නෛතික බලයක් හිමිවීමයි. ව්‍යවස්ථා සභාවේ බලතල අනුව රජයේ ඉහළ තනතුරුවලට පුද්ගලයන් නම් කිරීමේ බලයට සම හවුල්කරුවෙකු වීමට අවස්ථාව උදාවීමයි. ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා කියන ආකාරයට අගවිනිසුරු, පොලිස්පති ඇතුළු රජයේ ඉහළම තනතුරුවලට පුද්ගලයන් පත් කරන ව්‍යවස්ථාදායක සභාවේ බලයට හවුල්වීමට මහින්ද රාජපක්ෂ මහතාට අවස්ථාව ලැබුණහොත් සිදුවිය නොහැක්කේ කුමක්ද ? මහින්ද රාජපක්ෂ මහතාගේ පැටිකිරිය අනුව ඒ ගැන පහසු චිත්‍රයක් මවාගත හැකියි.

17 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කළ ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් නොකරමින් එම ස්වාධීන කොමිෂන් සභා කඩාකප්පල් කළ ඉතිහාසයක් මහින්ද රාජපක්ෂ මහතාට තිබෙනවා. එමෙන්ම 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා සියල්ල අහෝසි කරමින් තමන්ගේ අභිමතය පරිදි රජයේ ඉහළ තනතුරු සඳහා පුද්ගලයන් පත් කිරීමේ කුප්‍රකට ඉතිහාසයක් මහින්ද රාජපක්ෂ මහතාට තිබෙනවා. කොටින්ම මහින්ද රාජපක්ෂ මහතා යනු නිර්දේශපාලනීකරණය හෝ යහපාලනය ගැන කිසිඳු ආකාරයක ගරුත්වයක් නැති පාලකයෙක් බව ඔහු තම දශක පාලනය මගින් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඔප්පු කර තිබෙනවා.

මේ තත්ත්වය තුළ අප අවධාරණය කරන්නේ විපක්ෂ නායකත්වය සම්බන්ධ සිදුවීම හුදු කතානායකවරයාගේ ප්‍රශ්නයක්, ඔහුගේ කැමැත්ත අකමැත්ත මත සිදුවන හුදකලා සිදුවීමක් වශයෙන් ඌණනය කිරීම ආණ්ඩුව අතින් කිසිසේත් සිදු නොවිය යුතු බවයි. රාජ්‍ය හා යහපාලනය කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් වන රාජපක්ෂ කල්ලියේ සැලසුම් හා න්‍යාය පත්‍ර ගැන මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. මන්ද අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා දැමීමෙන් සිදුවන යහපත් නැති නිසයි.

දෙකොණ පත්තු වෙන විලක්කුව

විපක්ෂ නායක පදවිය සම්බන්ධයෙන් වන ඉහත සඳහන් අවධාරණය සමඟ අප අපගේ අවධානය තවත් පැත්තක් වෙත යොමු කළ යුතුයි. ඒ අර්බුදය සමඟ ක්‍රමයෙන් මෝදු වන රාජපක්ෂ කල්ලියේ බල අරගලය සහ ඔවුන්ගේ මැර සංස්කෘතිය ගැනයි.

මෙහිදී ඉතාම පැහැදිලිව රාජපක්ෂ පවුලෙන් පිට කිසිවෙකුට විපක්ෂ නායක පදවිය ලබාදීමට රාජපක්ෂ පවුල සූදානම් වනු ඇතැයි විශ්වාස කළ නොහැකියි. විපක්ෂ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාටම හිමිවිය යුතු ඔවුන් වෙතින් දැඩිව අවධාරණය වෙන්නේ රාජපක්ෂ පවුලෙන් බැහැර ආණ්ඩු බලයක් ගැන ඔවුන්ට සිතා ගැනීමටවත් නොහැකි නිසයි. මේ තත්ත්වය තුළ දිනේෂ් ගුණවර්ධන මහතා වැනි ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෝ තවදුරටත් දඩමීමුන් වෙනවා මිස, රාජපක්ෂ පෙරහරේ කොට අඳින අලින් වෙනවා මිස ඊට එහා තැනකට යනු ඇතැයි විශ්වාස කළ නොහැකියි.

ඒත් ප්‍රශ්නය වන්නේ ඒකාබද්ධ විපක්ෂ කල්ලියේ “මීළඟ ආණ්ඩුවේ නායකයා” තර්කය අනුව නම් මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට පවා නොහැකියි. ඒ නිසා “විපක්ෂ නායකයා යනු ඊළඟ ආණ්ඩුවේ නායකයා” යන්න හුදු ප්‍රවාදයක් පමණයි. අනෙක් අතට ලංකා දේශපාලනයේ පසුගිය කාලය පුරා අපට එවැනි තත්ත්වයක් දැකීමට පවා නොහැකි වුණා. ඒ නිසා රාජපක්ෂ පවුල් ව්‍යාපෘතියක් පමණක් වන ඒකාබද්ධ කල්ලියේ විපක්ෂ නායක ඝෝෂාව දේශපාලන අවස්ථාවාදයේ ප්‍රකාශනයක් මිස ඉන් එහා දෙයක් නොවෙයි. පොහොට්ටු පක්ෂයේ නායක මහාචාර්ය ජී.එල් පීරිස් මහතා වැන්නන් විපක්ෂ නායකත්වය අත්පත් කර ගැනීමේ අරගලයේ ප්‍රකාශකයන් වීම තුළම අපට එම අරගලයේ ව්‍යාජත්වය මනාව වටහා ගත හැකියි.

මේ සිදුවීම් ජාලය සමඟ යළි යළිත් සිදුවන රාජපක්ෂ කල්ලියේ, ඒකාබද්ධ කල්ලියේ දේශපාලන ත්‍රස්තවාදය, එසේ නැතිනම් මැර දේශපාලනය ගැන සමාජයේ වැඩි අවධානයක් යොමු විය යුතුයි. මහාචාර්ය සොයිසා මහතා ද සඳහන් කරන ආකාරයට පාර්ලිමේන්තුව තුළ රණ්ඩු කිරීම මගින් මේ කිසිවක් දිනා ගත නොහැකියි. ඒත් එවැනි තත්ත්වයක් තිබියදී පවා විමල් වීරවංශ ඇතුළු මේ කල්ලිය පාර්ලිමේන්තුව තුළ හැසිරෙන්නේ ත්‍රස්තවාදීන්, නැති නම් මැරයන් ආකාරයෙනුයි. කතානායකවරයාට තර්ජනය කිරීම, පුද්ගලික අපහාස කිරීම සමඟ පාර්ලිමේන්තු සභාවාර කඩාකප්පල් කිරීම ඔවුන් මේ විට දෛනික පුරුද්දක්, විලාසිතාවක් කරගෙන තිබෙනවා. ඔවුන් මේ සියලු උත්සාහයන් මගින් අපේක්ෂා කරන්නේ මේ ලිපිය ආරම්භයේදී සඳහන් කළ ආකාරයට පාර්ලිමේන්තුව හා ආණ්ඩුකරණය කඩාකප්පල් කර රට ආරාජිකත්වය කරා තල්ලු කිරීමටයි. එම දේශපාලන අස්ථාවරත්වය තුළ හිට්ලර්ලාට ඔටුණු පැළඳවීමටයි.

පාර්ලිමේන්තුවේ ගරුත්වය හා ප්‍රජාතන්ත්‍රවාදයේ ජීව ගුණය කෙළසන රාජපක්ෂ කල්ලියේ මේ ත්‍රස්තවාදයට වහාම නැවතීමේ තිත තැබිය යුතුයි. මන්ද මේ කල්ලිය මේ අපයෝජනය කරමින් සිටින්නේ මේ රටේ ජනතාව මහත් කැපකිරීමක් කර දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් මිස රාජපක්ෂ කල්ලිය විසින් දිනා දුන් අයිතියක් නොවෙයි. ඒ වගේම කුමනාකාරයේ දේශපාලන උපායකින් හෝ විපක්ෂ නායකත්වය අත්පත් කර ගැනීමට රාජපක්ෂ කල්ලියට කිසිඳු ආකාරයක අවස්ථාවක් ලබා නොදිය යුතුයි. ඒ වත්මන් විපක්ෂ නායකත්වය හුදු තනතුරක් පමණක් නොව යහපාලනයේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම සුරකින බලකණුවක් බවට පත්ව තිබෙන නිසයි. යහපාලනය හෝ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිසිඳු ගරුත්වයක් නැති හිට්ලර් පන්නයේ කල්ලියකගේ අතට එය පත් වුවහොත් සිදුවන විනාශය සුළුපටු නොවන බව අප සියලු දෙනාම අවබෝධ කර ගත යුතුයි.

භාතිය බරුකන්ද


නව අදහස දක්වන්න