වර්ජකයන් මට්ටු කරනු! | දිනමිණ

වර්ජකයන් මට්ටු කරනු!

දුම්රිය වර්ජනය තව ම නිමාවකට පත් වී නැත. පෙරේදා දුම්රිය අටක් ධාවනය වූ බව ද, ඊයේ දුම්රිය දහයක් ධාවනය වූ බව ද වාර්තා වී ඇත. දිනකට දුම්රිය වාර දෙසිය ගණනක් ධාවනය වන රටක; දුම්රිය අටක් - දහයක් ධාවනය වීමෙන් පලක් වන්නේ නැත. වෘත්තීය සමිති කැත්තට පොල්ල සේ සිටිමින් පඩි වැඩි කරනතුරු වර්ජනය ගෙන - යන බව කියා සිටිති. වැටුප් විසමතාව නිරවුල් කිරීම සඳහා විද්‍යාත්මක හා සාධාරණ ක්‍රමවේදයක් සකස් කරන බව ද; ඒ සඳහා මාස තුනක කාලයක් යන බව ද ආණ්ඩුව කියා සිටී. ආණ්ඩුවේ ඉල්ලීම වන්නේ වර්ජනය අතහැර සේවයට පැමිණ පසුව සාකච්ඡා කිරීම දැනට ඇති හොඳම ක්‍රියාමාර්ගය ‍බවය.

අප ඊයේ ද සඳහන් කළ පරිදි වෘත්තීය සමිති පසුවන්නේ මස් රාත්තල ම ඉල්ලා සිටින ෂයිලොක් න්‍යායයේ ය. මගී ජනතාවගේ පීඩනය ඔවුන් සැලැකිල්ලට ගන්නේ නැත. ආණ්ඩුවේ ඉල්ලීම් හා විසැඳුම් ක්‍රියාමාර්ග ද ඔවුන්ගේ සැලැකිල්ලට ලක්වන්නේ නැත. වෘත්තීය සමිති පසුවන්නේ තම බලය පිළිබඳ අධි තක්සේරුවක යැයි කියන්නට පුළුවන. ආණ්ඩුවට රිදවීමේ වුවමනාවක් මේ වෘත්තීය සමිතිවලට ඇති බව ද පෙනී යයි. දේශපාලන විචාරකයන් කීපදෙනෙකු එය පෙන්වා දී තිබිණි. වර්ජනවලින් ආණ්ඩුවට රිදවන්නට කිසිවකු උත්සාහ කරත් ද? එය නිරර්ථක ක්‍රියාවක් බව ද; මේවායින් රිදෙන්නේ ජනතාවට යැයි ද ජනාධිපතිවරයා පැහැදිලි කර දුන්නේ ය.

මේ දිනවල උසස් පෙළ විභාගය පැවැත්වෙයි. දුම්රියෙන් ගොස් විභාග ලියන බොහෝ පිරිසක් ‍රටේ සිටිති. ඒ සියලුදෙනාම අමාරුවේ ය. කොළඹ ඇතුළු තවත් ප්‍රධාන නගරවල කාර්යාල, වෙළෙඳසල්, කර්මාන්තශාලා ආදියෙහි සේවයෙහි නියුක්ත බොහෝ දෙනා කෝච්චියෙන් වැඩට එති. පෙරළා කෝච්චියෙන් ම වැඩ නිමවා ගෙදර යති. මේ සියලු දෙනා ම අමාරුවේ වැටී සිටිති. සමහර සේවකයකු ළඟ ඇත්තේ දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය හා කෑම පාර්සලය පමණි. වෘත්තීය සමිති පළිගන්නේ අතිශය අහිංසක, දුප්පත් සේවක පිරිසකගෙන් ය. දුම්රිය වර්ජනයෙන් මගී ජනතාව බලවත් සේ කෝපයට පත් වී ඇති අතර කුමන හෝ මොහොතක එය පුපුරා යා හැකි ය.

අතීත රාජ්‍ය සේවයේ බොහෝ වැඩ වර්ජන සාර්ථක වූයේ ප්‍රධාන කරුණු දෙකක් නිසා යැයි සිතන්නට පුළුවන. ඉන් එක කරුණක් වන්නේ එදා වැඩවර්ජනවලට දැක්මක්, වැඩපිළිවෙළක් හා න්‍යායක් තිබීම ය. අනෙක් කරුණ වන්නේ එදා වැඩ වර්ජනවලට මහජන සහයෝගය ද අඩු - වැඩි වශයෙන් ලැබීම ය. ඉන් පැහැදිලි වන්නේ එදා රාජ්‍ය සේවයේ වැඩ වර්ජන යුක්ති සහගත හා සාධාරණ ඒවා වූ බව ය. එහෙත් අද වර්ජනවල යුක්ති සහගත බවක් නැත. ඒවාට දැක්මක් හා වැඩපිළිවෙළක් හෝ න්‍යායක් ඇති බව ද පෙනෙන්නට නැත. මේ වර්ජනවලට මහජන සහයෝගයක් කිසිසේත් ම ලැබෙන්නේ නැත. මහජනයාගේ විවේචනවලින් ඒ බව හොඳ හැටි පැහැදිලි වෙයි.

එක්තරා මහජන මතයකට අනුව කියැවෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව මුළුමනින්ම පෞද්ගලිකකරණය කළ යුතු බව ය. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිසා මගී ජනතාව විඳින හිරිහැරය එයින් ප්‍රකාශ වෙයි. පෞද්ගලික අංශය තුළ මෙබඳු වැඩ වර්ජනවලට ඉඩක් නැත. එහි සේවාව ද කාර්යක්ෂම ය. තව මහජන මතයකින් කියැවෙන්නේ අයුක්තිසහගත වැඩ වර්ජන සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව ය. එය සත්‍යයෙකි. දැන් පවතින වැඩ වර්ජනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි ය. ප්‍රවාහන අමාත්‍යවරයා පවා පෙන්වා දුන්නේ පූර්ව දැනුම්දීමකින් තොරව සිදුකරන වැඩ වර්ජන සදාචාරයට විරුද්ධ බව ය. කොයි අතින් බැලුව ද දුම්රිය වැඩ වර්ජනය සාධාරණ වන්නේ නැත.

දුම්රිය රියැදුරන්ගේ හා දුම්රිය නියාමකවරුන්ගේ මාසික වැටුප් විස්තර ජනමාධ්‍ය මඟින් ප්‍රකාශයට පත්කර තිබිණි. හැම කෙනකුම රුපියල් ලක්ෂ දෙකකට අධික මාසික වැටුපක් ලබන බව එම විස්තරවලින් පැහැදිලි වෙයි. රුපියල් ලක්ෂ දෙකක මාසික වැටුපක් යනු කෙනකුට මාසිකව ලැබෙන සතුටුදායක ආදායමකි. ඉහත තනතුරු සඳහා නියමිත තවත් වරප්‍රසාද ගණනාවක් ඇති බව ද සිහිපත් කළ යුතු ය. මෙබඳු ඉහළ වැටුපක් ලබන අය තවදුරටත් වැඩි පඩි ඉල්ලා සිටීම අනුමත කළ හැක්කේ කාට ද? මහජනයා මේ වර්ජනයට එරෙහිව ප්‍රබල හඬක් නංවන්නේ සාධාරණ හේතු මත බව පෙනී යයි. කෝච්චියෙන් වැඩට එන ඇතමකුගේ මාසික වැටුප රුපියල් විසිදහසකට වැඩි වන්නේ නැත.

මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ දුම්රිය රියැදුරු හා නියාමක පඩි වැඩි කළහොත් එය රජයේ වෛද්‍යවරුන්ගේ වැටුප ද ඉක්මවා යන බව ය. එලෙස ම ඉල්ලා සිටින වැටුප් තල ඇති කළහොත් රාජ්‍ය සේවයේ තවත් පන්ති තිස් ගණනක වැටුප් විසමතාවක් ඇතිවන බව ද අමාත්‍යාංශය පෙන්වා දෙයි. රාජ්‍ය සේවය තුළ තහවුරු වී ඇති වෘත්තීය සමිති පසුවන්නේ වර්ජනයකට අවශ්‍ය හේතු - සාධක නිරීක්ෂණය කරමින් ය. ඒ අනුව දුම්රිය සේවයට වැටුප් වැඩිවීමක් සිදු කළා නම්; රාජ්‍ය සේවය මුළුමනින් ම අකර්මණ්‍ය වීමට ඉඩ තිබිණි. ආණ්ඩුව ගෙන ඇති තීරණය බුද්ධිමත් ය. ඒ අනුව රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම හා විසමතා අහෝසි කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවක් පත් කෙරේ. එම කමිටුව මාස තුනක් ඇතුළත සිය යෝජනා ඉදිරිපත් කළ යුතු ය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති මේ විසැඳුම් පිළිගන්නවා වෙනුවට; වර්ජනය තවත් දැඩි කර ඇති බවක් පෙනෙන්නට තිබේ. ඊයේ වන විට දුම්රිය පාලක කළමනාකරුවන් ද ලෙඩ නිවාඩු දමා වර්ජනයට එක් වී තිබේ. හෙට වන විට දුම්රිය සේවයේ තවත් අංශ වර්ජනයට එක්වීමට බැරි නැත. මේ අතර දුම්රිය ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට යයි. එසේ වුවහොත් දුම්රිය සේවකයන්ට හිතුවක්කාරී ලෙස ක්‍රියා කිරීමට අපහසු වනු ඇත. 1980 ජූලි වර්ජනයේ දී ද ඇතැම් වෘත්තීය සමිති ක්‍රියාත්මක වී ඇත්තේ හිතුවක්කාරී ලෙස ය. එහෙත් හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා ඉදිරිපිට දණ නමන්නට ඇතැම් වෘත්තීය සමිතිවලට සිදු විය. රටකට එබඳු පාලනයක් ද අවශ්‍ය වේ. රටේ වෘත්තීය සමිති අද පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගන්නා බව ඉතා පැහැදිලි ය.

මේ වර්ජන නැවැත්වීම සඳහා වෘත්තීය සමිති යම් ආකාරයකින් මට්ටු කළ යුතුය. එසේ නොවුණහොත් අදත්, හෙටත්, අනිද්දාත් වර්ජන පවතිනු ඇත. එය මහජනයාට පීඩාවක් වන්නා සේ ම ආණ්ඩුවේ ඉදිරි ගමනට ද විශාල බාධාවකි.

 


නව අදහස දක්වන්න

Or log in with...