ප්‍රේමදාස පිටියත් පිරිසුදු කරමු | දිනමිණ

ප්‍රේමදාස පිටියත් පිරිසුදු කරමු

ප්‍රින්ස් ගුණසේකර

නිමාවට පත් වූ ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා තෙවැනි හා සිවුවැනි එක්දින තරග නිමා වීමෙන් අනතුරුව පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලොවටම ආදර්ශයක් ලබා දෙමින් දෙස් විදෙස් මාධ්‍යවේදීන් ඇතුළු බොහෝ දෙනකුගේ ප්‍රසාදය දිනා ගත්තා සේම හෙට (12) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් එක්දින තරගයේදීත් ක්‍රීඩා ලෝලීන් එම සත් ක්‍රියාවේ නියැලෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ක්‍රීඩා ලෝලීන්ගේ මේ යහපත් හැසිරීම දකුණු අප්‍රිකාවට එරෙහිව පිටියට පිවිසෙන ශ්‍රී ලංකා පිලට ද යම් ගෞරවයක් බව විස්තර විචාරකයන්ගේ අදහස වේ.

තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 3-1ක් ලෙස දැනටමත් ජයගෙන සිටින දකුණු අප්‍රිකාව හමුවේ පිටියට පිවිසෙන ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු පිරිවර කොළඹ අවට නරඹන්නන්ට ආශ්වාද ජනක තරගයක් ලබා දෙනු ඇතැයි විශ්වාසයවී තිබේ. මේ තරගය ජයගෙන ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය තරග 3-2ක් ලෙස ගෞරවාන්විතව සමාප්ත කර ගැනීමට උත්සහ කරන අතර එයට දකුණු අප්‍රිකාව ප්‍රබල අභියෝගයක් එල්ල කරනු නොඅනුමානය.

නිමාවට පත්වූ තරග හතරේදීම දකුණු අප්‍රිකාව සෑම අංශයකින්ම ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටි අතර ඔවුන් පල්ලේකැලේදී පරාජයවූ අවසන් එක්දින තරගයේදී ද හොඳ සටනක් දීමට පසුබට නොවුණි. එම සිවුවැනි තරගයේදී ශ්‍රී ලංකාව ඩකවර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කළ අතර ලක්මාල් හා තිසර පිළිවෙළින් කඩුලු 3ක් හා 2ක් බිඳ හෙලා තර්ජනයක් ගෙනදීම ජයග්‍රහණය පහසු කරවිය. තිසර පන්දු 45කදී නොදැවී ලබාගත් ලකුණු 51 මෙන්ම පන්දු 34කදී හයේ 5ක් හා හතරේ 4ක් එල්ල කරමින් ලකුණු 65ක් ලැබූ දසුන් ශානක හා හයේ 2ක් හා හතරේ 6ක් එල්ල කොට ලකුණු 51ක් වාර්තා කළ කුසල් පෙරේරා පිතිකරණ අංශයෙන් දස්කම් දැක්වීම ශ්‍රී ලංකාවට වාසිදායක විය.

ආර්. ප්‍රේමදාස පිටියේදී දකුණු අප්‍රිකාවට එතරම් යහපත් ප්‍රතිඵල ඉතිහාසයේ අත්වී නොමැතිවීම විශේෂත්වයකි. දකුණු අප්‍රිකාව ප්‍රේමදාස පිටියේදී එක්දින තරග 9කට සහභාගීවී එයින් 7ක්ම පරාජයට පත්ව සිටී. තරග දෙකකින් දකුණු අප්‍රිකාව ජයගත් බව ප්‍රේමදාස පිටියේ වාර්තා පොත්වල සඳහන් වේ. ශ්‍රී ලංකාව සමග අවසන්වරට එක්දින තරගයකට දකුණු අප්‍රිකාව සහභාගී වූයේ 2014දී වන අතර එහිදී දකුණු අප්‍රිකාවට ලකුණු 75ක ජයක් හිමි විය.

එදින ශතකයක් වාර්තා කරමින් තරගයේ වීරයා සම්මානය දිනාගත් හෂීම් අම්ලා මෙවර තරගාවලියේදීද ලකුණු අතර සිටින පිතිකරුවෙකු බැවින් ඔහු ඉක්මණින් දවා ගැනීම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ඉලක්කය විය යුතුය. අම්ලා මේ තරගාවලියේදී තරග 4කදී අර්ධ ශතකයක් සමග ලකුණු 161ක් ලබා සිටින අතර ජේ. පී. ඩුමිනි තරග 4කදී අර්ධ ශතක 2ක් සමග ලකුණු 215ක් ගෙන 71. 66ක ලකුණු සාමාන්‍යයක් රදවා සිටී.

ශ්‍රී ලංකා පිල හා දකුණු අප්‍රිකා පිල පල්ලේකැලේ සිට ඊයේ කොළඹට පැමිණ පුහුණුවීම් ආරම්භ කළ අතර අවසන් එක්දින තරගයට සහභාගීවන කණ්ඩායම් හෙට තරගයට සුළු වේලාවකට පෙර නම් කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවේ.

නව අදහස දක්වන්න