ආසියා යොවුන් රග්බි තරග බිමේ ශ්‍රී ලංකා පිල අපරාජිතව ඉදිරියට | දිනමිණ

ආසියා යොවුන් රග්බි තරග බිමේ ශ්‍රී ලංකා පිල අපරාජිතව ඉදිරියට

ෆවුස් මොහොමඩ්

ආසියානු අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු දිනය වූ ඊයේ ශ්‍රී ලංකා පිල සහභාගි වූ තරග 2ම ජය ගැනීමට සමත්විය. හොංකොං හී කිංග්ස් පාක් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙන් තරග වදින නවීන් හේනකංකානම්ගේ නායකත්වය දරන ශ්‍රී ලංකා පිල පළමු තරගයේදී ලකුණු 26-14කින් චීනය පරාජය කළ අතර දෙවැනි තරගයෙන් චීන තායිපේ පිලට එරෙහිව ලකුණු 38-15ක ජයක් වාර්තා කළේය.මේ ජයග්‍රහණ ද්විත්වයත් සමග අද පැවැත්වෙන කුසලාන වටයේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා පිල සමත්විය.

චීනයට එරෙහි පළමු තරගයේදී දිනුක් අමරසිංහ උත්සාහක දිනුම් දෙකක් තැබූ අතර නායක හේනකංකානම්ගේ සහ තුලේබ් හසන් උත්සාහක දිනුම බැගින් වාර්තා කළහ. උත්සාහක දිනුම් 3ක් ගෝල බවට පත් කිරීමට හරිත් බණ්ඩාර සමත්විය.

දෙවැනි තරගයේදී ජනිඳු ඩිල්ෂාන් උත්සාහක දිනුම් 2ක් වාර්තා කළ අතර ගැමුණු චේතිය, දිනුක් අමරසිංහ, රැන්ඩි සිල්වා සහ තුලේබ් හසන් උත්සාහක දිනුම බැගින් තැබීමට සමත්වූහ. හරිත් බණ්ඩාර උත්සාහක දිනුම් 3ක් ගෝල බවට පත් කළ අතර චතුර සෙනෙවිරත්න එක් උත්සාහක දිනුමක් ගෝල බවට පත් කළේය.

ශ්‍රී ලංකා පිල සහභාගි වන මූලික වටයේ අවසන් තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 7.30ට පැවැත්වෙයි.

 

නව අදහස දක්වන්න