දරුවන් 9 දෙනකුගේ කුසගිනි නිවන්න පොල් කඩන තාත්තා | දිනමිණ

දරුවන් 9 දෙනකුගේ කුසගිනි නිවන්න පොල් කඩන තාත්තා

පොල් කඩා දරුවන් නව දෙනෙකු සහ ආදරණීය බිරිය ජීවත් කරන අපූරු පියකු ගලේවෙල යටිගල්පොත්ත ප්‍රදේශයේ දී අපට හමු විණි. ගලේවෙල දඹගස්හේන යටිගල්පොත්ත යන ලිපිනයේ පදිංචිව සිටින ප්‍රියන්ත වීරක්කොඩි ( 37) මහතා සහ ගයානි නිරෝෂනි දසනායක (37) යුවළට දරුවන් දස දෙනෙකි. එයින් එක් දරුවකු හදිසියේ මියගිය බව ඔවුහු කියති. දැනට නිවසේ පාසල් යන වයසේ දරුවන් අට දෙනෙකු සිටින අතර එක් දියණියක් වෙනත් ප්‍රදේශයක ළමා නිවාසයක දිවි ගෙවන බව එම මවුපියෝ පවසති. එසේ ළමා නිවාසයක ඇය නවතා තබන්නේ නවදෙනකු එකට සිටීම සුදුසු නොවන නිසා බව කියති . ප්‍රියන්ත වීරක්කොඩි මහතා මේ දරුවන් ජීවත් කරනු ලබන්නේ පොල් කඩන රැකියාවෙනි. අඩුපාඩුකම්වලින් අනූන මේ පවුලේ උදවිය දිනකට එක් වේලක් ආහාර ගනිමින් දරුවන් පෝෂණය කරති. එහෙත් මේ නිවසේ සතුට පිරී ඉතිරී ඇති බව මේ මවුපියෝ පවසති.

වැඩිමහලු පුතාට වයස අවුරුදු 13කි .බාලම දියණියට වයස අවුරුදු හතරකි. දරුවන් සියලු දෙනාම පාසල් සහ පෙරපාසල් යන්නේ දැඩි අපහසුතා මධ්‍යයේය . එමෙන්ම දියණියන්ට සහ මවට අඩුම තරමේ කනේ කරාබුවක්වත් නොමැත. ප්‍රියන්ත මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගේ බිරිය කඩවත ප්‍රදේශයේ පදිංචිකාරියක වූ අතර දෙදෙනාගේ ආදර සම්බන්ධතාවයකින් ඇරඹි යුගදිවිය තැන තැන නිවෙස්වල රැඳී සිටිමින් දිවි ගෙවා තිබේ. පසුව ගලේවෙල ප්‍රදේශයේ ස්ථානයකට පැමිණ බිරිය ඉතිරි කරගත් මුදල් කොටසකින් කොටසක් ගෙවා කුඩා ඉඩම් කැබැල්ලක් ඔවුන්ටම කියා ලබාගෙන ඇත. එහි ඉඩම ලබා ගන්නා විට අඩක් නිමවූ නිවෙසක් සහ පැරැණි දිරාපත් වූ නිවෙසක් තිබී ඇත. ඔවුන් එම නිවසේ දැනට ජීවත් වෙති. ප්‍රදේශයේ කොහේ හෝ ඇවිද යමින් පොල් ගස් නැග එයින් ලැබෙන ආදායමෙන් මේ දරුපවුල ජීවත් කරන වීරක්කොඩි අනේක දුක් විඳින පියෙකි . ඔහුගේ දෑත්වල සහ දෙපාවල ඇත්තේ පොල් ගස්වලින් මැදුණු රළු වූ අත් පා වීම සුවිශේෂී වූ දසුනකි. හෙතෙම මෙසේ කීය

මට ළමයි දහ දෙනෙක් හිටිය . ඒ එක්කෙනෙක් නැතිවුණා. මම රස්සාවක් හැටියට කරන්නේ පොල් කඩන එක. මොකද වෙනත් රස්සාවකට කරන්න ගියාම දවසේම එන්න හම්බවෙන්නෑ. වරුවක් විතර තමයි රස්සාව කරන්න පුළුවන් වෙන්නේ. මගේ නෝනට අසනීපයි. දරුවන් බලාගන්න, එයාලට කන්න උයලා දෙන්න, නාවන්න, අවශ්‍ය නිසා ගොඩක් දුරට පොල් ටිකක් කඩලා හොයාගන්න මුදලින් දවසට එක වේලක් හරි දරුවන්ව ජීවත් කරවනවා. අපි දෙන්නා හරිම අවබෝධයෙන් වැඩ කරනවා. ඒ වගේම අපි දෙන්නා හරිම ආදරෙන් දරුවොත් එක්ක ඉන්නේ බොහෝම සතුටෙන්. මං මගේ නෝනට පණටත් වඩා ආදරෙයි. මොකද මගේ එකම බලාපොරොත්තුව තිබුණේ දරුවෝ දහදෙනෙක් මෙලොවට බිහි කරන්න. ඒකට එයා උදව් කළා. අද එයා අසනීප වුණේ ඒ නිසයි. නෝනගේ පැත්තේ ඥාතීන් අපේ පැත්තෙන් ඥාතීන් කිසිම කෙනෙක් අපිට උදව් කරන්නේ නැහැ. අපි දෙන්නගෙ උත්සාහයෙන් තමයි අපි දෙන්නා ජීවත් වෙන්නේ. ඉන්න ගෙයක් වත් තිබුණේ නැහැ. අපේ නෝනා එකතුකර ගත්ත මුදල් මම කොහොම හරි පොල් කඩලා මගේ දරු පවුල ආරක්ෂා කරනවා කියලා බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. කවුරුහරි මගේ දරුවන්ට ඉගෙන ගන්න ඇඳුම් පැළඳුම් ටිකක් පොත්පත් ටිකක් දුන්නොත් මට හොඳටම ඇති .එක වේලක් ඇර වේලක් හරි මම දරුවොන්ට කන්න බොන්න දෙන්න පුළුවන් මගේ එකම බලාපොරොත්තුව මේ දරුවෝ නම දෙනාම හොඳ පුරවැසියන් බවට පත් කරලා හොඳට උගන්නගන්න ඊට පස්සේ මං දන්නවා මේ සමාජයේ එයාලා යමක් කරාවි කියලා.

මේ දරුවන් දස දෙනා මෙලොවට බිහිකළ මව වූ දයානි නිරෝෂණී -

ඇත්තටම අපි දෙන්නා ගොඩක් ආදරෙන් ජීවත් වෙනවා. මහත්තයගෙ එකම බලාපොරොත්තු වුණේ ගෙවල් හදන්න නෙමෙයි. ඉඩම් ගන්නත් නෙවෙයි. කොහොමහරි දරුවෝ දහදෙනෙක් හදලා ජීවත් වෙමු කියල තමයි කිව්වෙ. මමත් ඒකට කැමැති වුණා. ඇත්තටම අපි දවසට එක වේලක් වගේ තමයි කන්නේ අපේ දරුවනුත් පුරුදු වෙලා ඉන්නවා ඒකට. මේ අය ඔක්කෝටම සපත්තු ගන්න බෑ. රෙදි පෙරදි ගන්නත් බෑ. මහත්තයා පොල් කඩන්න ගියාම ඒ ගෙවල්වලින් අයින් කරන දරුවන්ගේ ඇදුම් අරගෙන එනවා. අපේ දරුවො හිතන්නෙ ඒව අලුත් ඒවා කියල. මම හෝදලා මැදලා එ අයට අන්දනවා. අවුරුදුවලට වගේ පොලට ගිහිල්ලා පරණ රෙදි ගොඩවල්වලින් රුපියල් පනහට, සීයට තියෙන ඇඳුම් අරගෙන තමයි අන්දවන්නේ. අපිට ලොකුම ගැටලුව බවට පත්වෙලා තියෙන්නේ දරුවන්ට උගන්නගන්න මුදල් නැතිකම එයාලා ඔක්කොමලා හොඳට ඉගෙන ගන්න දක්ෂයි. සමහර දවස්වලට බඩගින්නෙ ඉන්න නිසා ඉස්කෝලෙ යවන්නෙ නෑ. ඉස්කෝලෙන් කියන දේවල් ගෙනියන්න බැරි උනහම ඉස්කෝලෙ යන්නේ නැහැ . ඒ නිසා තමයි අපිට ලොකුම දුකක් දැනෙන්නේ. වේලක් ඇර වේලක් හරි කන්න දෙන්න පුලුවන්. ඒත් මේ තරගකාරී ඉගෙනුම් රටාව නිසා ඒ අයට අධ්‍යාපනයට අවශ්‍ය මුදල් ලබා දෙන්න විදිහක් නැහැ .දරුවන්ගේ අධ්‍යාපනයට කවුරුහරි උදවු කරනවා නම් ලොකු දෙයක්. ඒ වගේම තමයි මගේ දුවලා තුන්දෙනාට කණ විදලා තියනවා. තවමත් කරාබුවක් ඒ අය දැකලා නෑ. දාලත් නෑ ඉතින් කන අතගගා ඉන්න වෙලාවට මම පැත්තකට වෙලා අඬනවා. මහත්තයට කියන්නෙත් නෑ එයාට දුක හිතෙයි කියලා ඒත් ඇත්ත හැමදාමත් හංගගෙන ඉන්න බැහැ.

අපේ ජීවිත ගොඩක් අමාරුවෙන් තමයි ගොඩනගා ගන්නේ කොහොම හරි දරුවෝ නමදෙනා ලොකු මහත් වෙන කොට මේ ප්‍රශ්න ඇරිලා යයි කියලා අපි විශ්වාස කරනවා. හැබැයි ලොකු මහත් කරගන්න තමයි තියෙන අපහසුතාව. මොකද පුංචි දරුවන්ට අගහිඟකම් වැඩි වුණාම ඒ අය වෙනත් මාර්ගවල යයි කියලා මට ලොකු බයක් තියෙනවා. ඒ හැර මට වෙන බයක් නම් නැහැ මගේ බාගෙට හදපු ගේ වැඩ ඉවර කරගන්න තිබ්බනං ඇති මොකද දුවලා වැඩිවියට පත් වුණහම ඒ අයට ඉන්න තැනක් නැති නිසා.

මේ කුඩා දරුවන්ට කුමන හෝ ආධාරයක් උපකාරයක් කිරීමට යම් කිසි කෙනෙකු ඉදිරිපත් වන්නේ නම් එය මහඟු පිනක් වෙයි.

සිගිරිය විශේෂ


නව අදහස දක්වන්න

Or log in with...