උ/පෙළ දරුවන් ගැන සිතා සාකච්ඡාවෙන් ප්‍රශ්නය විසඳමු | දිනමිණ

උ/පෙළ දරුවන් ගැන සිතා සාකච්ඡාවෙන් ප්‍රශ්නය විසඳමු

සමන්මලී ප්‍රියශාන්ති

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ ගමනාගමන පහසුකම් පිළිබඳ සලකා බලා වෘත්තීය ක්‍රියාමාර්ග නවතා සාකච්ඡා මට්ටමෙන් ප්‍රශ්නය විසඳා ගැනීමට සහාය දක්වන්නැයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩවර්ජනයේ නිරත දුම්රිය සේවකයන්ගෙන් ඉල්ලීමක් කරයි. දුම්රිය සේවකයන්ගේ වෘත්තීය ඉල්ලීම් අමාත්‍ය මණ්ඩලය විසින් කිසිසේත් ප්‍රතික්ෂේප කර නොමැති බවත්, මේ සම්බන්ධව අමාත්‍ය මණ්ඩලය දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන බැවින් ඊට යම් කාලයක් ගත වන බව පවසන ඇමැතිවරයා, එම නිසා අසාධාරණ ලෙස වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු නොවන ලෙස ද ඉල්ලීමක් කරයි.

වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමේ දී ජනතාව අපහසුතාවට පත් නොවන පරිදි ක්‍රියා කළ යුතු බව අවධාරණය කරන ඇමැතිවරයා, දැනුම්දීමකින් තොරව ආරම්භ කළ දුම්රිය වැඩවර්ජනය හෙළා දකින බව ද කියයි.

මේ අතර වැඩවර්ජනය හේතුවෙන් අපහසුතාවට පත් ජනතාව වෙනුවෙන් ඊයේ (10) කාර්යාල වෙලාවන් හි දී දුම්රිය 10ක් ගමන් කරවීමට කටයුතු යොදා තිබිණි. ඊයේ (10) සවස වන විට දුම්රිය ධාවනයේ වර්ධනයක් කර ගැනීමට බලාපොරොත්තු වන බව දුම්රිය අතිරේක සමාන්‍යාධිකාරී ආචාර්ය විජය සමරසිංහ මහතා පවසයි.

හලාවත දුම්රිය මාර්ගයේ දුම්රිය දෙකක් ඊයේ (10) ධාවනයට යොදවා තිබුණු අතර මහනුවර, මහව, රඹුක්කන, මාතර, ගාල්ල, අනුරාධපුර සහ අවිස්සාවේල්ල සිට එක් දුම්රිය බැගින් ද ධාවනයේ යොදවා තිබේ.


නව අදහස දක්වන්න

Or log in with...