අවස්ථාව දෙනවානම් දුම්රිය දුවන්න සූදානම් | දිනමිණ

අවස්ථාව දෙනවානම් දුම්රිය දුවන්න සූදානම්

අනුර ප්‍රේමලාල්

දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලකයන් අවස්ථාව ලබාදෙනවා නම් දුම්රිය ධාවනය කිරීමට තමන් සූදානම් බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරයි. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක් වූ එම සන්ධානයේ සම කැඳවුම්කරු එස්. පී. විතානගේ මහතා, දැන් ක්‍රියාත්මක වැඩවර්ජනයට සම්බන්ධව කටයුතු කරන්නේ දුම්රිය ධාවනයට සෘජුවම සම්බන්ධ වෘත්තීය සමිති හතරක් පමණයි.

රියැදුරන්, ස්ථානාධිපතිවරු, නියාමක හා අධික්ෂණ කළමනාකරුවන් යන ශ්‍රේණිවල වෘත්තීය සමිති පමණයි මීට සම්බන්ධවී සිටින්නේ. වර්ජනයට සම්බන්ධ නැති වෘත්තීය සමිති ගණනාවක් තියෙනවා. වැටුප් විසමතාවක් නිසා මේ ශ්‍රේණිවල අය මීට කිහිප වරක්ම වර්ජන සිදුකළා. එහිදී එක් අවස්ථාවක ජනාධිපතිවරයා සමඟ සිදුකළ සාකච්ඡාවක ගත් තීන්දුවක් අනුව සරත් අමුණුගම කමිටුව පත් කෙරුණා. එම කමිටුව පැවරූ කාර්ය නොවේ සිදුකළේ.

අපිට තිබෙන ගැටලුව වන්නේ මේ වර්ජනයේ නිරතවන සහෝදරවරුන් ඒ අයගේ ප්‍රශ්නය ගැන විතරයි කතා කරන්නේ සමස්තයක් ලෙස දුම්රිය දෙපාර්මේන්තුවේ අනෙකුත් සේවකයන්ගේ වැටුප් ගැන කතා කරන්නේ නැහැ. ඒ නිසා සේවකයන් අතර මතභේදයක් ඇති වෙනවා. ආණ්ඩුවටත් ඕනේ ඒ දෙය කරගන්නයි. ඒ නිසා වැඩවර්ජනයේ යෙදී සිටින සහෝදරවරු කල්පනාකාරී විය යුතුයි. දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලික කිරීමේ ක්‍රියාවලියට වර්ජනය රුකුලක් වෙනවා. මේ නිසා ජනතාව කැමැත්ත පළ කරනවා දුම්රිය පෞද්ගලික කරන්න ඕනේ කියලා. ඒ නිසා අපි සියලු දෙනා ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. ජාවාරම්කාරයන් මේවා ගන්න සූදානම්වී සිටින නිසා මේ වර්ජන පසු පස්සේ සිටින්නේ ජාවාරම්කාරයන් කිවුවොත් නිවැරැදියි.

සන්ධානයේ සම කැඳවුම්කරු දුම්රිය සේවක සංගමයේ සභාපති ඩී. එම්. ඩී. අබේරත්න මහතා-

ඉකුත් දා (08) බදාදා ආරම්භ කළ වැඩවර්ජනය ගැන අපි කනගාටු වෙනවා. ඕනෑම වෘත්තීය සමිතියකට වර්ජනය කිරීමේ අයිතිය තියෙනවා. නමුත් මේය කිසිදු පෙර දැන්වීමකින් තොරව ආරම්භ කිරීම ගැන අපි වෘත්තීය සමිති ලෙස ජනතාවගෙන් සමාව අයදිනවා. එදා සිට අපි වර්ජනය කළේ මගී ජනතාව වෙනුවෙන්. මෙහි දී ඔවුන්ට ගමනාගමන පහසුව කලින් ඇති කරගන්න දැනුම්දීමක් සිදු කළේ නැති එක ගැන කනගාටුයි.

ආණ්ඩුව දැනගන්න ඕනේ වැටුප් ගැටලු විසඳන්න ජාතික වැටුප් කොමිසමක් පත් කර තිබෙද්දී එය පැත්ත තබා එම බලය කැබිනට් මණ්ඩලයට ගැනීම හොඳ වැඩක් නොවේ. ඒ නිසා මේ වැඩවර්ජනයට ආණ්ඩුව වගකිව යුතුයි. වැටුප් කොමිසමක් පත් කරලා රුපියල් ලක්ෂ ගණන් වැටුප් ගෙවලා එම නිලධාරීන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ සීතල කාමරවලට වෙලා සිටිනවා. ඇමැති අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ නිර්දේශයන් මේ වැටුප් ගැටලු විසඳන්න නොවේ එහි නිර්දේශ වූයේ දුම්රිය දෙපාර්තමේන්තුවට පාලක මණ්ඩලයක් පත් කොට ක්‍රමක්‍රමයෙන් මෙය පුද්ගලික අංශයට ලබාදීමයි.

වත්මන් දුම්රිය රියැදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ මහතා කුමාර වෙල්ගම මහතාගේ ඥාති පුත්‍රයෙක් වන බව මෙහි දී ප්‍රකාශ වූ අතර, ඒ නිසා වෙනත් දේශපාලන බලපෑමක් මීට ඇත්ද යන්න සැක බව ද කියැවිණි.

මේ අවස්ථාවට දුම්රිය රියැදුරු සහායක සංගමයේ සභාපති ධනුෂ්ක පෙරේරා, දුම්රිය එන්ජින් රියැදුරු (සන්ටින්) සංගමයේ සභාපති කේ. ඒ. ප්‍රේමකුමාර, ලිපිකරු සංගමයේ සභාපති කේ. ජී. පී. ජී. මහානාම, ස්ථාන සහායක සංගමයේ ජී.කේ. සුමිත්නන්ද යන වෘත්තීය සමිතිවල නියෝජිතයන් මෙහි දී අදහස් දැක්වූහ.

නව අදහස දක්වන්න