බෙල්ලන්විල රන්දෝලි පෙරහැර අද | දිනමිණ

බෙල්ලන්විල රන්දෝලි පෙරහැර අද

සුභාෂිණී සේනානායක

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන ඇසළ මහා පෙරහැරේ අවසන් රන්දෝලි මහා පෙරහැර අද (11) පැවැත්වෙයි.

ඇසළ පෙරහැර නැරැඹීමට පැමිණෙන බැතිමතුන් තමන් පැමිණෙන පුද්ගලික වාහන ඈත ප්‍රදේශවල නවත්වා පාගමනින් විහාරස්ථාන භූමියට පැමිණෙන්නේ නම් අවසන් මහා පෙරහැර සංවිධාන කරගැනීමට පිටුවහලක් බව බෙල්ලන්විල රජමහා විහාරාධිපති ‍මහාචාර්ය බෙල්ලන්විල සෝමරතන හිමියෝ පවසති.

මෙවර අවසන් මහා පෙරහැර ප්‍රමාදයකින් තොරව පැවැත්වීමට ඇසළ පෙරහැර කමිටුව තීරණය කර ඇති බව පවසන නාහිමියෝ රාත්‍රි 8ත් 8.30ත් අතර පෙරහැර පිටත් කිරීමට සියලු සූදානම් කර ඇතැයි ද කියා සිටියේය.

ඇසළ මහා පෙරහැර හේතුවෙන් බොරලැස්ගමුව ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ද පෙරහැර ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1500ක් පමණ යොදවා ඇතැයි ද පොලිසිය කියා සිටී. එම විහාරස්ථානයේ පාවඩ පෙරහැර ඉකුත් (09) දා රාත්‍රී පැවැති අතර, ඊයේ (10) රන්සිවිලි පෙරහැර පැවැත්වුණි.

අනිද්දා (12) පෙරවරු කාලයේ දී දිය කැපීමේ පෙරහැර පැවැත්වෙන අතර, බොරලැස්ගමුව තොටුපළේ දී දියකැපීමේ මංගල්‍ය සිදු කිරීමෙන් අනතුරුව දේව දානය පිරිනමා සන්ධ්‍යා කාලයේ දී පෙරහැර මංගල්‍යය සාර්ථක කරගැනීමට සහාය දුන් සැමගේ ඇස්වහ කටවහ අපල උපද්‍රව දුරු කරන ආශිර්වාද කරන ගරා යක් ශාන්ති කර්මය සිදු කිරීමට නියමිතය.

අද (11) රාත්‍රී රන්දෝලි මහා පෙරහැර පැවැත්වෙන කාලය තුළ පොලිසිය විසින් දක්වා ඇති විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිස් මූලස්ථානය රථ වාහන රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

නව අදහස දක්වන්න