මහනුවර ඇසළ පෙරහරට අවශ්‍ය සියලු සහාය රජය ලබාදෙනවා | දිනමිණ

මහනුවර ඇසළ පෙරහරට අවශ්‍ය සියලු සහාය රජය ලබාදෙනවා

ජයසිරි මුණසිංහ

ඓතිහාසික මහනුවර ඇසළ මහා පෙරහර මංගල්‍යය ඉතාම සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය සියලු සහාය ලබාදීමට රජය පියවර ගන්නා බව මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කෙළේය.

මහනුවර ඇසළ පෙරහරේ අවසන් ‍රන්දෝලි පෙරහර මේ මස 25 වැනිදා රාත්‍රියේ මහනුවර වීථි සංචාරය කරන බවත්, එම අවස්ථාව නැරඹීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන සම්භාවනීයන් විශාල පිරිසක් සහභාගිවන බවද ලසන්ත අලගියවන්න මහතා කීය.

මහනුවර ඇසළ මහා පෙරහර ශ්‍රී ලාංකික අපට පමණක් නොව ලොව පුරා වෙසෙන විශාල ජනතාවකගේ සිත්ගත් පෙරහර මංගල්‍යයක් වන බව ද නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කෙළේය.

කොළඹ 05, නාරාහේන්පිට පිහිටි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (10) දහවල් පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා එසේ කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලසන්ත අලගියවන්න මහතා, මේ මහනුවර ඇසළ මහා පෙරහර මංගල්‍ය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට රජය සෑම සහ‍යෝගයක්ම ලබාදෙනවා. පෙරහර මංගල්‍යයට එක්වන සැමගේ ආරක්ෂාව, සෞඛ්‍ය ආරක්ෂණය, ප්‍රවාහන පහසුකම් ඇතුළු සියලු සේවා ප්‍රමාණවත් හා ගුණාත්මකව ලබාදීමට සියලු කටයුතු සූදානම්කොට තිබෙනවා. මේ පෙරහර මුළු ලෝකයාම දැකබලා ගැනීමට කැමති එකක්. ඒ නිසා මේ අතිඋත්කර්ෂවත්, අලංකෘත පෙරහර රට ලෝකයට ගෙනයෑමට මාධ්‍ය ආයතන කටයුතු කළ යුතුයි. අපේ රටේ සියලුම ජනමාධ්‍ය ආයතන තමන්ගේ යුතුකමක්, ජාතික වගකීමක් ඉටුකිරීමක් ලෙස සිතා මේ කාර්යය සිදු කරනවා. ඒවාගේම ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපැයීමට ශ්‍රී දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලය සූදානම් යැයි ද ලසන්ත අලගියවන්න මහතා කීය.

නව අදහස දක්වන්න