මලේගොඩ නන්ද නාහිමිගේ ශාසනික සේවාව බෞද්ධ සැමට ආදර්ශයක් | දිනමිණ

මලේගොඩ නන්ද නාහිමිගේ ශාසනික සේවාව බෞද්ධ සැමට ආදර්ශයක්

වසර 62ක පැවිදි දිවියේ දී මා කළ විශාල ශාසනික සේවාවත් බරපතළම පින්කමත් බෝසත් මවුපිය සෙවණ ඉදිකිරීමයි 
- මලේගොඩ නන්ද නාහිමි

මලේගොඩ නන්ද නාහිමිගේ ‍ශාසනික මෙහෙවර බෞද්ධ සැමට ඉමහත් ආදර්ශයක් යැයි සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා කුල දරුවන් සසුනට දායාද කළ සැදැහැවත් මවුපියන්ගේ රැකවරණය පිණිස ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ඉදිකළ 'බෝසත් මවුපිය සෙවණ' මධ්‍යස්ථානය ස්ථානාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පයාගල දී විවෘත කිරීමෙන් පසු පැවැති උත්සවය අමතා ඇමැතිවරයා පසුගිය 8දා මෙසේ පැවසීය.

පයාගල මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති මලේගොඩ නන්ද නාහිමියන්ගේ සංකල්පයකට අනුව මෙම 'බෝසත් මවුපිය සෙවන' මධ්‍යස්ථානය ඉදිකෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා මෙසේ ද කීය.

'මාතා පිතූ උපට්ඨානං' කියලා මංගල කාරණාවක් තිබෙනවා. එම මංගල කාරණයට අනුව තමයි මලේගොඩ නන්ද හිමියන් මාපියන් රැකබලා ගැනීම සඳහා මෙම 'බෝසත් මවුපිය සෙවන' මධ්‍යස්ථානය ස්ථාපිත කළේ නොයෙකුත් ආගමික වැඩසටහන් සිදුකරමින් ජනතාවට විශාල සේවාවක් මෙම විහාරස්ථානය මඟින් ඉටු කරනවා. සුනාමි ඛේදවාචකයේ දී ජනතාව වෙනුවෙන් අද්විතීය සේවාවක් ඉටු කළා. සුනාමියෙන් පීඩාවට පත් වූ කතෝලික ජනතාවට රැකවරණය ලබා දුන්නේ මලේගොඩ විහාරස්ථානයයි. ජාති, ආගම්, කුල භේදයෙන් තොරව ජනතාවට සේවය කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිර්මල බුදුදහම ඉදිරියට ගෙන යාම සඳහා මලේගොඩ නන්ද හිමියන් කටයුතු කරනවා. මම සෑම මැතිවරණයකදීම මෙම විහාරස්ථානයට පැමිණ නාහිමියන් හමු වී ආශීර්වාද ලබාගන්නවා. උන්වහන්සේ එහිදී මැතිවරණ ප්‍රතිඵලත් කියනවා. හොඳ සංඝ පීතෘවරයාණන් වහන්සේ කෙනෙක්. සහෝදර සහෝදරියන් පවා මිනීමරා ගන්නා යුගයක මෙම මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා ඉඩම පරිත්‍යාග කළ පිරිසට අපි ස්තූති කළ යුතුයි. වර්තමානයේ තිබෙන නඩුවලින් සියයට 95ක් ඉඩම් නඩු. සියයට 65 ක් ඉඩම් නිසා මිනීමරාගත්තු නඩු. එවැනි තත්ත්වයක් තුළ ශාසනයට ඉඩමක් පූජා කිරීම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්.'

අද නඩුවලින් 88% ක්ම ඉඩම් නඩු. 65% ක් ඉඩම් නිසා සිදුවූ මිනීමැරුම්වලට අදාළ නඩු. බිම් අඟලට සහෝදරයා පවා මරා දමන යුගයක කෝටි ප්‍රකෝටි ගණනක් වටිනා දේපළක් සසුනට පූජා කිරීම ගැන මම පරිත්‍යාගශීලීන්ට ස්තූති කරනවා.

සුනාමිය ආ වේලාවේ මලේගොඩ නන්ද නාහිමියන් 3000 කට අධික පිරිසකට එහි නවාතැන් සලසා දුන්නා. ඉන් වැඩි හරිය කතෝලික අය. ඒ අයට ඉරිදා දේව මෙහෙය විහාරස්ථානයේදීම පැවැත්වීමට ඉඩකඩ සලසා දුන්නා. උන්වහන්සේ කටයුතු කළේ කිසිදු භේදයකින් තොරවයි. සමහරු මා සමඟ කීවේ 'නන්ද හාමුදුරුවෝ අපේ පැත්තේ නොවෙයි' කියලයි. මම එවිට උත්තර දුන්නේ උන්වහන්සේ බුදුහාමුදුරුවන්ගේ පැත්තේ කියලයි.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී මහා සංඝ සභාවේ මහනායක ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමි -

පොඩි හාමුදුරුවරු සිවුරු හැරල යනවා වැඩියි. ටිකක් හොයා බලන්න කියලා හාමුදුරුවරු මට කීවා. මගේ හිතට ඒක ටිකක් කාවැදුණා. හැමදෙනාම දුන් උත්තරය වූයේ දෙමාපියන්ට සළකන්න කෙනෙකු නැහැ කියලයි. ඒ නිසා ගෙදර යනවා කියලයි. මා මේ බව නන්ද හාමුදුරුවන්ට කීවා. ඒ ගැන උන්වහන්සේ ක්‍රියාත්මක වුණා.

මේ පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂූන් ගැන වැඩි වැඩියෙන් සිතිය යුතු යුගයක්. අප ර‍ටේ පිරිවෙන් අධ්‍යාපනයෙන් මෙරටට පමණක් නොව පෙරදිග රටවලට පවා උගතුන් බිහිකළ යුගයක් තිබුණා. දැන් එහෙම කියන්න පුළුවන්කමක් නැහැ. එහෙත් එම අසීරු හා දුෂ්කර කාර්යය කළ යුතු වෙනවා.

බෙන්තර වලල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක මලේගොඩ නන්ද නාහිමි -වසර 62ක් වූ මගේ පැවිදි දිවියේ මා විශාල ශාසනික හා ආගමික මෙහෙවර රැසක් ඉටුකර තිබෙනවා. ඒ අතරින් මා සිදුකළ බරපතළම පින්කම මෙයයි.

අප මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා රටට බිහිකළ ආදරණීය අම්මලා, තාත්තලා වෙනු‍වෙන් අපි ඔවුනට දෙන වටිනාකම මොකක්ද? දරුවකු පැවිදි කළ විට පරම්පරා ගණනාවකට ලෝකෝත්තර සම්පත්තිය ලැබෙන බව කියනවා. එහෙත් ලෞකික වශයෙන් ඒ අයට සිදුව තිබෙන්නේ කුමක්ද? රටවැසියනට බෞද්ධයිනට ඒ පිළිබඳව හැඟීමක් නැහැ.

තරුණ භික්ෂූන් වහන්සේලා උපැවිදි වෙනවා. ඊට හේතු වශයෙන් කියනුයේ තම මාපියන් බලාගන්නට කෙනෙකු නැහැ කියායි. එම දෙමාපියන්ට රැකවරණය ලබාදෙන තැනක් ඉදිකිරීමට මට අවශ්‍ය වුණා. එම අදහස අනුව ඥාණා ද සිල්වා මැතිනියත්, දුව හා බෑණත් මේ වටිනා භූමිය ලබාදීමට කැමැති වුණා. මා පටන් ගත් වැඩක් අවසන් කරනතුරු මගේ හිත නිදහස් වන්නේ නැහැ. මගේ පැවිදි දිවිය තුළ මා කිසිවක් දායකයින්ගෙන් ඉල්ලා නැහැ.

හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා‍ මේ කටයුත්තට උදව් කළා. අපේ තවත් දායකයින්ගේ සහායෙන් වසරක් තුළ මෙම ඉදිකිරීම් අවසන් කිරීමට හැකි වුණා.

වැඩක් පටන් ගත්තාම මම අරයට මෙයාට නියෝග කරමින් ඉන්නේ නැහැ. මමත් වැඩ කරනවා. මා ඉහළම ධනය ලෙස සතුට ලබනවා.

මා රාජාසන කතාවේ ඉඳලම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයගෙ කතා අහනවා. එතුමා කොලු කාලේ ට්‍රක් එකකට බෙල්ල තියාගෙන හිටි බවත් කීවා. මම ඒකෙ අනිත් පැත්ත.

බණ්ඩාරනායක මහත්තයා වෙනුවෙන් පිංකමක් කරන්න කට්ටියක් කතා කරගෙන ආවා. මමයි පිංකම කරන්නේ පුළුවන් නම් තාප්පෙ හදල දෙන්න කියල මම කිව්වා. අදවනතුරු හැදුණු තාප්පයක් නැහැ. ඩඩ්ලි සේනානායක මහත්තයා වෙනුවෙන් ඒ වගේ පිංකමක් කරන්න කියන්න කට්ටියක් ආවා. මම ඒකමත් කලින් විධියටම කීවා. තාම ආවේ නැහැ. මේ අය කල්පනා කළේ පොල්තෙල් ටිකක් ගෙනල්ල දීලා මාව කෑගස්සවල මාව එක එක පැත්තට දාගන්න. මාව එක එක පැත්තට තල්ලු කරන්න කාටවත් බැහැ.

මෙහිදී ශාසනයට දරුවන් පූජා කළ මාපියන් වෙනුවෙන් වතුර පෙරණ යන්ත්‍ර 60 ක් පරිත්‍යාග කිරීම ද ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරිණි. බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ කළුතර ප්‍රාදේශීය මධ්‍යස්ථානය ද මෙහිදී විවෘත කෙරිණි.

අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා, බස්නාහිර පළාත් සභාවේ මැති ඇමැතිවරුන්, ප්‍රාදේශීය සභා සහ නගර සභා නියෝජිතයන්, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

බේරුවල විශේෂ සහ කළුතර මධ්‍යම සමූහ

නව අදහස දක්වන්න