ඉන්දුනීසියාවට තවත් ප්‍රබල භූ කම්පනයක් | දිනමිණ

ඉන්දුනීසියාවට තවත් ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයිනේ පසුගියදා ඇති වූ භූ කම්පනයෙන් විපතට පත් වූවන් සෙවීමේ කටයුතු අවසන් වීමටත් පෙර තවත් ප්‍රබල කම්පනයක් සිදු විය. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව මැග්නිටියුඩ් 5.9 ක් ලෙස මේ කම්පනය සටහන්වී ඇති අතර, ඒ හේතුවෙන් ගොඩනැගිලි කීපයක් ද කඩා වැටී ඇති බව වාර්තාවේ.

එම භූ කම්පනය යෙන් විපතට පත්වූවන් සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මක අතර සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් සොයා කැණීම් සිදුකරමින් සිටියි.

ඉරිදා සිදුවූ භූ කම්පනය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 131ක් ලෙස නිල වාර්තාවල සඳහන් වන නමුත්, එරට මාධ්‍ය වාර්තා කරන අන්දමට එය 347ක් පමණ වේ.

පුද්ගලයන් 1,400 ක් ඉක්මවා තුවාල ලබා ඇති බවත් 156,000 ක් පමණ පිරිසක් අවතැන්වී ඇති බවත් රජය පවසයි.

ජාතික ආපදා මධ්‍යස්ථානයට අනුව, වඩාත් තොරතුරු ලැබීම සමඟ සහ අනතුරට පත්වූ තවත් පුද්ගලයන් හමුවීමත් සමඟ ඉහත සංඛ්‍යා ඉහළ යාමේ හැකියාවක් ඇත.

අලුතෙන් ඇතිවූ භූ කම්පනය දිවයිනේ වයඹ දිග වෙරළ ආසන්නයේ සිදුවූ අතර, ඒ හේතුවෙන් කලබලවූ පිරිස් නගරයේ මාවත් දිගේ දුවන්නට වූහ.

මැග්නිටියුඩ් 6.2 ක් ලෙස ඉන්දුනීසියානු කාලගුණ විද්‍යා කාර්යාංශය සඳහන් කරන මේ භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර නැත.

නමුත්, ඉරිදා ඇතිවූ විශාල භූ චලනයෙන් අනතුරුව සිදුවූ කම්පන මාලාවේ බලවත්ම කම්පනය මෙය බව සැලකේ.

නව අදහස දක්වන්න