නිකොලොස් මදුරෝට ගුවනින් ආ ‘තෑග්ග’ | දිනමිණ

නිකොලොස් මදුරෝට ගුවනින් ආ ‘තෑග්ග’

ධම්මික සෙනෙවිරත්න

ජනාධිපති මදුරෝ ප්‍රහාරය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හඳුන්වා තිබේ. මරණය දෑස් ඉදිරිපිට දිස්වුවද ඉන් තමා අධෛර්යයට පත් නොවනු ඇතැයි ඔහු පවසයි. ‘මේ ප්‍රහාරයේ අරමුණ ජනාධිපති ඝාතනය පමණක් නෙවෙයි. මේ රට ඝාතනය කිරීම, අපේක්ෂාවන් ඝාතනය කිරීම, සාමයේ ආලෝකය ඝාතනය කිරීම’ යනුවෙන් ජනාධිපති මදුරෝ ප්‍රකාශ කර තිබේ. බොලිවේරියානු විප්ලවය ආපසු හැරවීමට දරන කුමන්ත්‍රණකාරි ප්‍රයත්නවල හැරවුමක් ලෙස මේ ප්‍රහාරය හැඳින්විය හැකි බව ඔහුගේ අදහසය. යළිත් මෙවැනි ප්‍රහාරයකට ඉඩ නොතබන බවට ඔහු අවධාරණය කර තිබේ. එමෙන්ම දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද සඳහන් කර ඇත.

වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ ඩ්‍රෝන ප්‍රහාරයකින් අනූනවයෙන් දිවි ගලවා ගැනීමට සමත්විය. කැරකස් නුවර පැවැති හමුදාවේ 81 වැනි සංවත්සර උත්සවය අමතමින් සිටියදී ජනාධිපති මදුරෝ ඉලක්ක කළ එම ප්‍රහාරය සිදුවිණි. දේශනය අතරතුර ඔහු එක්වරම අහස දෙස බලන අයුරු දිස් වූ අතර ඒ සමඟම සොල්දාදුවන් ඒ මේ අත දුවයන අයුරු දැකගත හැකි විය. ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් වහා ඔහු ආවරණය කරමින් ආරක්ෂාව සලසනුද දිස්විණි. ප්‍රහාරයෙන් කිසිවකුටත් ජීවිත හානි සිදු නොවූ නමුත් සොල්දාදුවන් 7 දෙනකු තුවාල ලබා සිටින බව වාර්තා විය.

ඝාතන ප්‍රයත්නයෙන් දිවි ගලවා ගැනීමෙන් පසු ජනාධිපති මදුරෝ කියා සිටියේ එය ප්‍රාතිහාර්යයක් බවය. ප්‍රහාරය සිදුවන විට ජනාධිපති බිරිඳ සිලියා ෆ්ලෝරස්ද ඔහු අසල සිටියාය.

මාධ්‍ය වාර්තා කරන පරිදි ප්‍රහාරය දියත් කර ඇත්තේ කණ්ඩායමක් විසිනි. පුපුරන ද්‍රව්‍ය පිරවූ ඩ්‍රෝන යාත්‍රා 2 ක් මඟින් පහරදී ජනාධිපතිවරයා ඝාතනය කිරීම සැලසුම වී තිබේ. එහෙත්, එම යාත්‍රා ජනාධිපතිවරයා අසලට ළඟාවීමට පෙර බිම හෙළීමට ආරක්ෂක අංශ සමත් විය. එම යාත්‍රා පුපුරා ගියේ ජනාධිපතිවරයා සමීපයේමය. පළමුව විශාල පිපුරුම් හඬක් ඇසුණු අතර තත්පර ගණනකින් දෙවැනි පිපුරුම් හඬද ඇසිණි.

සැක කළ අය

ප්‍රහාරය දක්ෂිණාංශික කුමන්ත්‍රණයක් බව කියා සිටි ජනාධිපති මදුරෝ එය පිටුපස කොලොම්බියා ජනාධිපති හුආන් මැනුවෙල් සැන්ටොස් සිටින බවට විවෘතවම චෝදනා කළේය. කොලොම්බියා ජනාධිපතිවරයා මදුරෝගේ එදිරිවාදියෙකි. කොලොම්බියා රජය මේ චෝදනාව ප්‍රතික්ෂේප කළේ පදනමක් නැති එකක් බව කියමිනි. ප්‍රහාරයෙන් පසු කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර විපක්ෂ ප්‍රබලයකු වන ජුලියෝ බර්ගොස් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබේ. තවත් විපක්ෂ මන්ත්‍රීවරයකු වන හුආස් රික්සන්ද අත්අඩංගුවේ පසුවේ.

පසුගිය ජනාධිපතිවරණයෙන් නැවතත් ජයගැනීමට මදුරෝ සමත්වූයේ ඔහු බලයෙන් පහකිරීමට දියත්වූ කුමන්ත්‍රණ හා විරෝධතා පරාජය කරමිනි. මැතිවරණ පරාජයෙන් පසු දෙවැනි වරටත් විපක්ෂය අසාර්ථක වූ බව වෙනිසියුලා ජනමාධ්‍ය ඇමැති රොඩ්‍රිග්වෙස් ප්‍රකාශ කර තිබේ.

‘සොල්දාදුවන්’ ලෙස තමන් හඳුන්වා ගන්නා කණ්ඩායමක් ප්‍රහාරයේ වගකීම භාරගන්නා බව සමාජමාධ්‍ය ඔස්සේ දක්වා ඇත. මෙය අසාර්ථක වුවද මෙවැනිම ප්‍රහාර යළි එල්ල විය හැකිබව ඉන් අනතුරු ඇඟවීමක්ද කරයි.

ඉකුත් වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණයට එල්ලවූ හෙළිකොප්ටර ප්‍රහාරයද ජනාධිපතිවරයා ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හඳුන්වා තිබිණි. එම ප්‍රහාරය සිදුවී වසරකි. ග්‍රෙනේඩ් ප්‍රහාරයක් ලෙස එය හඳුනාගෙන තිබේ.

මදුරෝගේ පාලනයට එරෙහිව විරෝධතාවලට අවතීර්ණව සිටින විපක්ෂය ඔහු ආර්ථිකය අවපාතයට ගෙන ගොස් ඇති බව සහ මානව හිමිකම් උල්ලංඝනය කරමින් ඇතැයි ද ප්‍රජාතන්ත්‍ර විරෝධිව ක්‍රියාකරමින් සිටින්නේ යැයි ද චෝදනා කරති. ‘ආර්ථික යුද්ධයකට’ මුහුණදීමට සිදුව ඇති බව ජනාධිපතිවරයා ද පිළිගනී. විපක්ෂයට අමෙරිකාවේ සහාය ලැබෙන බව ද ඔහු කියා සිටී.

ආර්ථික අර්බුදය

වෙනිසියුලාව තෙල් සම්පතින් පොහොසත් රාජ්‍යයක් වුවද ඔවුන්ට හිස එසවීමට ඉඩ නොදෙන පරිද්දෙන් සතුරෝ ක්‍රියාත්මකව සිටිති. ඔවුන් චෝදනා කරන්නේ ආර්ථිකය නඟාසිටුවිය නොහැක්කේ දුෂණය නිසාය යනුවෙනි. පසුගිය මාස කිහිපය තුළ සිදුවූ උද්ඝෝෂණ හා විරෝධතා මධ්‍යයේ දසදහස් සංඛ්‍යාත වෙනිසියුලානුවන් පිරිසක් අසල්වැසි කොලොම්බියාවට රැකවරණ පතා ගොස් ඇතැයි ද මාධ්‍ය වාර්තාවල දැක්වේ. අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග ලැබී ඇති ජුලියෝ බර්ගොස්ද කොලොම්බියාවේ ජීවත් ‍විය. ට්විටර් පණිවිඩයක් මඟින් බර්ගොස් ප්‍රකාශ කර ඇත්තේ තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බවය. මේ සිද්ධිය මඟින් රට ආර්ථික අර්බුදය යටපත් කිරීමට මදුරෝ වෑයම් කරන බවට ඔහු චෝදනාවක් ද නඟා තිබිණි. එමෙන්ම, විපක්ෂය මර්දනය කිරීමට වෑයම් කරන බවද විපක්ෂය කියා සිටී.

ජනාධිපති ඝාතන ප්‍රයත්නය පිළිබඳ පරීක්ෂණ සිදුකරන ආරක්ෂක අංශ ඊට විසිදෙනකු පමණ සම්බන්ධ බව හඳුනාගෙන ඇතැයි පවසා තිබේ. රූපවාහිනිය ඔස්සේ දෙපැයකට ආසන්න කාලයක් ජනාධිපතිවරයා කළ දේශනයේදී අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය අයගේ නම සහ තොරතුරු ඇතුළත් පෝස්ටර් ද ප්‍රදර්ශනය කර ඇත. ඉන් ඇතැමෙක් අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ජීවත්වන්නන් බව පැවසෙන අතර මෙහිදී ජනාධිපති ට්‍රම්ප් ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් තමා විශ්වාසයෙන් බලා සිටින බවද ජනාධිපති මදුරෝ පවසා තිබේ. කිසියම් තැනැත්තකු තමන්ට බාරදෙන ලෙසට වෙනිසියුලාව ඉල්ලීමක් කර ඇති බවත් අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙතෙක් තහවුරු කර නොමැත.

ප්‍රහාරයේ අරමුණ

ජනාධිපති මදුරෝ ප්‍රහාරය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හඳුන්වා තිබේ. මරණය දෑස් ඉදිරිපිට දිස්වුවද ඉන් තමා අධෛර්යයට පත් නොවනු ඇතැයි ඔහු පවසයි.

‘මේ ප්‍රහාරයේ අරමුණ ජනාධිපති ඝාතනය පමණක් නෙවෙයි. මේ රට ඝාතනය කිරීම, අපේක්ෂාවන් ඝාතනය කිරීම, සාමයේ ආලෝකය ඝාතනය කිරීම’ යනුවෙන් ජනාධිපති මදුරෝ ප්‍රකාශ කර තිබේ.

බොලිවේරියානු විප්ලවය ආපසු හැරවීමට දරන කුමන්ත්‍රණකාරි ප්‍රයත්නවල හැරවුමක් ලෙස මේ ප්‍රහාරය හැඳින්විය හැකි බව ඔහුගේ අදහසය. යළිත් මෙවැනි ප්‍රහාරයකට ඉඩ නොතබන බවට ඔහු අවධාරණය කර තිබේ. එමෙන්ම දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද සඳහන් කර ඇත.

වෙනිසියුලා ජනාධිපතිවරයා ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය කිරීමට දැරූ ප්‍රයත්නයත් සමඟ එවැනි ප්‍රහාර පිළිබඳ සැලකිල්ලෙන් පසුවීම ගැන සෙසු රටවලද අවධානය යොමුවී තිබේ. 2018 වසරේදී කුඩා ඩ්‍රෝන යාත්‍රාවක් ධවල මන්දිරයට ආසන්නයේදී අනතුරට පත්විය. එය විභේදයට ගුවන්ගත කළ එකකි. වෙනිසියුලා සිදුවීම අමෙරිකාවේද දැඩි අවධානයට ලක්ව ඇති බව පෙනෙන්නට තිබේ. ඩ්‍රෝන භාවිතය පිළිබඳ නව නීති, රීති පවා ඇතැම්විට හඳුන්වාදීමට ඉඩ ඇත.

නිකොලස් මදුරෝ වෙනිසියුලාවේ ජනාධිපති ධුරයට පත්වූයේ 2013 වසරේදී, ලතින් අමෙරිකාවේ ප්‍රබල නායකයකු ලෙස මතු වූ ජනාධිපති හියුගෝ චාවේස්ගේ අභාවයත් සමඟය. 1962 දී උපත ලැබූ මදුරෝ මුල්පෙළේ කම්කරු නායකයකුගේ පුත්‍රයෙකි. ඔහු වැඩ කරන පංතියට අයත් අයෙකි. දේශපාලනයට ඔහුගේ නැඹුරුවක් ඇතිවූයේ ශිෂ්‍ය අවදියේමය. මදුරෝ උපාධි ලබා නැත. ඔහු වෘත්තිය ආරම්භ කළේ බස් රියැදුරකු ලෙස බව සඳහන් වේ. ඒ අතරතුර ඔහු වෘත්තීය සංගම් ව්‍යාපාරයට නැඹුරු විය. මදුරෝ චාවේස් පළමු හමුව සිදුවන්නේ 1993 දීය. එවක් පටන් බොලිවේරියානු ව්‍යාපාරයේ කේන්ද්‍රීය චරිතයක් බවට නිකොලස් මදුරෝ පත්විය. 1997 දී, Òපස්වැනි ජනරජයÓ නම් ව්‍යාපාරය බිහිකිරීමට මුල් වූ ඔහු 1998 දී ජනාධිපති චාවේස් විශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයක් ලබන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්විය. 1999 දී එරට නව ව්‍යවස්ථාව රැගෙන ඒමේ ක්‍රියාවලියේදී ද ඔහු ප්‍රබල ලෙස දායකත්වය දැක්වීය. ජාතික සභාවේ දෙවැනි ප්‍රධානියා ‍බවට පත්ව 2000 වසරේදී එහි ප්‍රධානියා ලෙසට ද පත්විය. 2006 වසරේදී විදේශ අමාත්‍ය ධුරය ඔහුට ලබාදීමට ද ජනාධිපති චාවේස් පියවර ගත්තේය.

ඡන්ද ජය

චාවේස්ගේ අභාවයෙන් පසු 2013 මාර්තු මස භාරකාර නායකයා ලෙස පත්වූ මදුරෝ අප්‍රේල් මස පැවැති මැතිවරණයෙන් එරට නායකත්වයට පත්වූයේ විශාල තරඟයක් දෙමින් හය වසරක ධුර කාලයකටය. ඉකුත් මැයි මාසයේදී ඔහු දෙවන වරටත් බලයට පත්වූයේ විශාල ඡන්ද ප්‍රතිශතයක් ලබමිනි. බලයට පත්වීමෙන් පසු සිදුකළ ඇතැම් ව්‍යවස්ථාමය වෙනස්කම් මඟින් ඔහු සිය බලය වැඩිකරගෙන ඇති බවට එරට විපක්ෂය හා බටහිර රටවල් චෝදනා නැඟීය. කෙසේ වුවද, ජනාධිපති මදුරෝ සහ ඔහුගේ එක්සත් සමාජවාදී පක්ෂය (PSUV) සමඟ විශාල ජනබලයක් තිබේ. මදුරෝගේ ආධාරකරුවන් කියා සිටින්නේ, තවත් කුමන්ත්‍රණයකින් රට රැකගැනීමට හැකිවීම සතුටක් බවය.

වෙනිසියුලාවේ උද්ගතව ඇති ආර්ථීක පීඩනයට වගකිවයුත්තේ මදුරෝ ඇතුළු පාලක පක්ෂය බවට විපක්ෂය, බටහිර රටවල් ද අමෙරිකාව ද පවසති. එහෙත්, වෙනිසියුලා ජනතාව ප්‍රකාශ කරන්නේ ගැටලු ඇතිවී තිබෙන්නේ ආණ්ඩුව නිසා නොව අමෙරිකාව ද ඇතුළු අධිරාජ්‍යවාදී බලවේග නිසා බවය.

හියුගෝ චාවේස් පිළිකාවක් වැලඳී මරණයට පත්වුවද ඔහු හදිසියේ අසනීප වීම සැකසහිත බවට ද මත පළවී තිබේ. ලතින් අමෙරිකාවේ සමාජවාදී නායකයන් කිහිපදෙනකුම එලෙස අසනීප වීම ගැන චාවේස් පවා සැක පහළ කර තිබිණි. තමන්ට හැසිරවීමට නොහැකි නායකයන් දේශපාලන කරළියෙන් පමණක් නොව ලෝකයෙන් ද තුරන් කිරීමට ප්‍රතිගාමී බලවේග සහ අධිරාජ්‍යවාදී බලවතුන් ක්‍රියාකර ඇති අයුරු ඉතිහාසයට එක්වී තිබේ.

මදු‍රෝ ඝාතන ප්‍රශ්නය ද එම පරිච්ඡේදයට එකතුවන සිදුවීමක් ද?


නව අදහස දක්වන්න

Or log in with...