ගිවිසුමට කමිටුවක්! | දිනමිණ

ගිවිසුමට කමිටුවක්!

ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් ආර්ථික ගිවිසුම තරම් සංවාදයට හා විවේචනයට ලක් වූ වෙනත් ගිවිසුමක් නැත. මෙය දේශපාලන කරුණු මත විවේචනයට ලක්වෙයි. ආර්ථික කරුණු මතද විවේචනයට ලක්වෙයි. දේශපාලන පක්ෂ, සංවිධාන හා වෘත්තීය සමිති ද වරින්වර මෙය විවේචනයට ලක් කරති. එක විවේචනයකින් කියැවෙන්නේ ගිවිසුම ඔස්සේ රට පාවා දී ඇති බව ය. තව විවේචනයකින් කියැවෙන්නේ මේ මඟින් අපේ වෘත්තිකයන් හා දේශීය කර්මාන්ත අඩපණ වන බව ය. තවත් විවේචනයකින් කියැවෙන්නේ උක්ත ගිවිසුම නිසා අපේ සම්පත් කොල්ලකෑමේ අවස්ථාව සිංගප්පූරුවට හිමිවන බව ය. මේවා පිළිබඳ ඇත්ත සාමාන්‍ය ජනතාව දන්නේ නැත.

කුමන ආණ්ඩුවක් වුව; කුමන පාලකයකු වුව රටේ සම්පත් විකිණීමට කැමැති වෙතැ’යි සිතිය නො හැකි ය. ආර්ථික ගිවිසුම්වල අරමුණ වන්නේ ආයෝජකයන් ගෙන්වා ගැනීම, නව නිෂ්පාදන ඇති කිරීම හා වෙළෙඳ පොළ පුළුල් කරගැනීම වැනි ඉලක්කයන් ය. කිසිදු ආර්ථික ගිවිසුමක් සියයට සියයක් වාසිසහගත වන්නේ නැත. කිසිදු ගිවිසුමක් සියයට සියයක් අවාසිසහගත වන්නේ ද නැත. එහි ප්‍රතිඵලය මැනගත හැක්කේ එකිනෙක රටවල් ගිවිසුම යටතේ ක්‍රියාත්මක වන ආකාරයට අනුව ය. ද්විපාර්ශ්වික ආර්ථික ගිවිසුමක් ක්‍රියාත්මක වනවිට පාර්ශ්ව දෙක අතර ආර්ථික තරගයක් ද ඇතිවිය හැකි ය. ආර්ථික නියමයන්ට අනුව එය හොඳ තත්ත්වයකි.

ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරිපත් වන ඇතැම් විවේචන සාධාරණ යැයි සිතිය නො හැකි ය. ඒවා හුදු දේශපාලන ප්‍රවාද ලෙස සැලැකිය හැකි ය. එහෙත් රට පුරා සිදුවන අහිතකර ප්‍රචාරණය පහසුවෙන් මඟහැර යා නො හැකි ය. ‍ෙම් තත්ත්වය මත ගිවිසුම සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. මීට සමපාත වන අදහසක් අගමැතිවරයා ද ඉදිරිපත් කර තිබේ. ඉන් කියැවෙන්නේ ගිවිසුම රටට අහිතකර නැතත්; ජනතාවට ඇත්ත දැනගැනීම සඳහා මේ ගැන අධ්‍යයනයක් කිරීම සුදුසු බව ය. එලෙසම රටට අහිතකර දේවල් ඇතොත්; ඒවා ගැන නැවත සලකා බැලීමක් කළ හැකි බව ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා ඇත.

විශේෂඥ කමිටුව සඳහා පත්කර ඇත්තේ ස්වාධීන ආර්ථික විශේෂඥයන් කණ්ඩායමකි. කමිටුවට විශේෂඥයන් පස්දෙනකු අයත් වේ. එහි සභාපතිත්වය දරන්නේ කීර්තිමත් ආර්ථික විශේෂඥයකු වන මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා ය. සෙසු සාමාජිකයන් අතර ආර්ථික විද්‍යා විෂයය පිළිබඳ මහාචාර්යවරියක, මහාචාර්යවරයකු හා ආචාර්යවරයකු ද මහ බැංකුවේ ආර්ථික විශේෂඥයකු ද සිටිති. මේ කමිටුවට විශේෂ කාර්යයන් කිහිපයක් පැවැරී ඇත. එක; ගිවිසුම රටට හා ජනතාවට අහිතකර ද යන්න සොයා බැලීම ය. දෙක; අපේ වෙළෙඳ ප්‍රතිපත්තිය කෙසේ සකස්විය යුතුදැ’යි යෝජනා ඉදිරිපත් කිරීම ය. තුන; මේ මඟින් දේශීය කර්මාන්තවලට හා වෘත්තීය ක්ෂේත්‍රවලට හානියක් සිදුවන්නේද යන්න සොයා බැලීම ය.

මහජනයාගේ දිගුකාලීන අත්දැකීමට අනුව කමිටු ගැන ඒ හැටි විශ්වාසයක් සමාජය තුළ නැත. ඒවායෙහි නිර්දේශ ලැබීමට බොහෝ කාලයක් ගත වන බව ද, නිර්දේශ ලැබුණ ද ඒවා ක්‍රියාත්මක නො වන බව ද ජනතාවගේ පිළිගැනීම වී තිබේ. එහෙත් වත්මන් ආණ්ඩුව හා ජනාධිපතිවරයා පත් කළ බොහොමයක් කමිටු ඊට වඩා වෙනස් ය. ඒවායෙහි ප්‍රතිඵල ඇස්මානයේ දක්නට ලැබිණි. මේ කමිටුව ද සිය නිර්දේශ මාස දෙකක් ඇතුළත භාරදිය යුතු ය. ඒ හැරෙන්නට වරින් වර අතුරු වාර්තා ඉදිරිපත් කළ යුතු ය. විශේෂඥ කමිටුව වෙනුවෙන් වැය කරන මුදල අපතේ යන්නක් නොවන බව එයින් පැහැදිලි වෙයි. ඒ හැරත් විශේෂඥ කමිටුවේ පුද්ගලයන් ගැන විශ්වාසයක් ද තැබිය හැකි ය.

සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් ආර්ථික ගිවිසුමට අත්සන් තබා ඇත්තේ පසුගිය ජනවාරි 23 දා ය. ඊට කැබිනට් අනුමැතිය ලැබී තිබිණි. තවදුරටත් එය දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වී තිබිණි. රටේ නායකයන්ගේ හා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව අස්සන් තබන ලද මේ ගිවිසුම හොර ගිවිසුමක් ලෙස හැඳින්වීම වැරැදි ය. මෙබඳු විවේචන නිසා අන්තර්ජාතික වශයෙන් රට අපකීර්තියට පත්වීමටත් පුළුවන. සිංගප්පූරුව කුඩා රටක් වන්නේ වුව ලෝක ආර්ථිකය අතින් ගෙන බලනවිට එය සුපිරි රාජ්‍යයෙකි. සිංගප්පූරුවට මේ ගිවිසුම නැතැ’යි විශාල පාඩුවක් සිදුවන්නේ නැත. පාඩුවක් වෙතොත් අපට ම පමණී.

ලෝක ආර්ථිකය හා එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ හොඳ වැටහීමක් අපේ බොහෝ දෙනෙකුට නැත. දේශපාලකයන්ගෙන් වැඩි දෙනෙකුට ද එම වැටහීම නැතිකම කනගාටුවට කාරණයකි. දේශපාලකයන් එසේ වනවිට; ජනතාවගේ තත්ත්වය තවත් දුර්වල විය හැකි ය. ලෝකයේ කිසිදු රාජ්‍යයක් හුදෙකලාව තම ආර්ථික ප්‍රතිපත්ති තීන්දු කරන්නේ නැත. අද පවතින්නේ ලිබරල් හෙවත් නිදහස් ආර්ථික ක්‍රියාවලියකි. එහි දී ආර්ථික තරගය, සම්පත් බෙදාගැනීම, ආයෝජන හුවමාරුව, තාක්ෂණ හුවමාරුව ආදිය පිළිගැනීමට සිදුවේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කියා සිටින්නේ අපේ රටට පැමිණ ඕනෑම දෙයක් නිෂ්පාදනය කරන්න! ඒවා ලෝකයේ ඕනෑ ම තැනකට අලෙවි කරන්න! යන්න ය. ඉන්දියාවේ වෙළෙඳ පොළ විවෘත ය. එලෙසම ඉන්දියාව ලෝක වෙළෙඳ පොළට තරගයක් දීමට ද සූදානම් ය.

ඉන්දියාව අමෙරිකාව සමඟ ගිවිසුම් අස්සන් කර තිබේ. චීනය ද අමෙරිකාව සමඟ ගිවිසුම් අස්සන් කර තිබේ. මේවා අතර ආරවුල් ඇතිවන අවස්ථා ද නැත්තේ නො වේ. එහෙත් එම ආරවුල් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට එම රටවල් සමත් වී ඇත. ප්‍රධාන හේතුව මේවා විද්වත් මට්ටමින් සාකච්ඡා කෙරෙන බැවින් ආරවුල් විසඳා ගැනීම පහසු වීම ය. අපේ රටේ විද්වත් සංවාද වෙනුවට ඇත්තේ ගැලරිය පිනවන ගැටුම් ය. නැතහොත් ජනතාව ගොනාට අන්දවන ප්‍රෝඩාවන් ය. මේවා පසුපස ඇත්තේ ලාභ දේශපාලනය බව අමුතුවෙන් කිව යුතු ‍නැත. ලාභ දේශපාලනය නිසා රටත්; රටේ ජනතාවත් හොඳ හැටි බැට කා තිබේ. දැන්වත් මේ ක්‍රමය නැවැත්විය හැකි නම් එය ඉතා වැදගත් ය.

මේ ගිවිසුමේ අඩුපාඩු තිබෙන්නට පුළුවන. එහෙත් සිංගප්පූරු ගිවිසුම යනු අපට ලැබුණු මහඟු ආර්ථික අවස්ථාවකි. මෙය ඉවත දමන්නේ ද නැතහොත් අඩුපාඩු සකස් කොට ක්‍රියාත්මක කරන්නේ ද යන්න තීන්දු කළ යුත්තේ පාලකයන් ය.


නව අදහස දක්වන්න

Or log in with...