වෙළෙඳ සේවා වොලිබෝල් සැප්. 1දා සිට ඇරැඹේ | දිනමිණ

වෙළෙඳ සේවා වොලිබෝල් සැප්. 1දා සිට ඇරැඹේ

වොලිබෝල් ක්‍රීඩාව වෙළෙඳ සේවා ආයතන තුළ ප්‍රචලිත කිරීම අරමුණු ඇතිව සංවිධාන කරන වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලිය මෙවරත් කණ්ඩායම් 100කට අධික සහභාගීත්වයක් ඉක්මවා පැවැත්වීමට සූදානම් වෙයි.

වසර 5ක විරාමයකින් අනතුරුව වර්ෂ 2012 දී කණ්ඩායම් 50ක සහභාගීත්වයෙන් නැවතත් ඇරඹුණු මේ තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ අඛණ්ඩ 7 වැනි වරටය. කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයටම විවෘත වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලියේ මූලික තරග මහරගම තරුණ සේවා සභා පිටියේදී සැප්තැම්බර් මස 1 සහ 2 යන දෙදින පැවැත්වෙන අතර, එහි අවසන් මහා තරග නොවැම්බර් මස 10 සහ 11 දෙදින මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මේ සඳහා සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන් නියෝජනය කරනු ලබන සමාගමේ අවම වශයෙන් අවසන් මාස 3ක කාලයක් සේවය කර තිබිය යුතුවේ.

තරගාවලිය සඳහා අයැදුම්පත් භාරගැනීම අගොස්තු 20 වැනිදා දක්වා සිදුවේ. ජයග්‍රාහකයන්ට රුපියල් මිලියන 1.5කට අධික මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ. ශූරයන් සහ අනුශූරයන් මෙන්ම ඒ ඒ කාණ්ඩවල කාන්තා සහ පිරිමි දෙඅංශයේම දක්‍ෂතම ක්‍රීඩකයා, දක්‍ෂතම පන්දු සකසන්නා, දක්‍ෂතම ප්‍රහාරකයා සඳහාද පිරිනැමෙන ශූරතා කුසලානවලට අමතරව තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව වෙනුවෙන් මෙවරත් යතුරු පැදිය බැගින් ත්‍යාග ලෙසින් හිමි කෙරේ.

තරගාවලිය පිළිබඳ වැඩි විස්තර දුරකථන අංක 0710682682 (චන්දන) 0776485456 (බුද්ධි) ඇමතීමෙන් හෝ ලියුම් කවරයේ වම්පස ඉහළ ‘වෙළෙඳ සේවා වොලිබෝල් 2018’ යනුවෙන් සඳහන් කොට වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය නො. 33, ටොරින්ටන් පෙදෙස කොළඹ 07 යන ලිපිනයට තැපෑලෙන්ද එවිය හැක.

නව අදහස දක්වන්න