මවට නඩත්තු ගෙවන්න දියණියට නියෝග | දිනමිණ

මවට නඩත්තු ගෙවන්න දියණියට නියෝග

හැදූ වැඩූ තම වයෝවෘද්ධ මව නොසලකා හරින ලදැයි කරන ලද පැමිණිල්ලකට අනුව ගෙවීමට නියම කරන ලද නඩත්තු මුදලක් ගෙවීම පැහැර හරින ලද දියණියකට වහාම එම මුදල හිඟ මුදල්ද සමග ගෙවන්නැයිහොරණ මහේස්ත්‍රාත් ඩී. එම්. ජේ. දිසානායක මහතා නියෝග කළේය.

හොරණ පානදුර පාරේ පදිංචි 72 හැවිරිදි මලලගේ ඉන්ද්‍රානි නමැත්තිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙසේ නඩත්තු මුදල් ගෙවීමට නියෝග කරනු ලැබුවේ ඇගේ දියණියටයි .

තම ස්වාමිපුරුෂා මියයන විට තුන් හැවිරිදි වියේ සිටි දියණිය විවිධ අසීරුතා මැද යහපත් ලෙස හදා වඩා ගත් බවත් මේ වනවිට වයෝවෘද්ධව සිටින තමාව නොසලකා හැර ඇති බවත් මව විසින් පළමුව මේ පැමිණිල්ල කර තිබුණේ වැඩිහිටි තැනැත්තන් සඳහා වූ නඩත්තු මණ්ඩලයටය.

එය විභාග කළ නඩත්තු මණ්ඩලය මාසිකව රුපියල් 15,000 බැගින් මවට ගෙවන ලෙස නියෝග කර තිබිණි.

එහෙත් දිගින් දිගටම එය ගෙවීම පැහැර හැරීම නිසා හොරණ පොලිසිය විසින් මෙම නඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර තිබිණි.

වැඩිහිටි තැනැත්තන් සඳහා වූ නඩත්තු මණ්ඩලයේ නියෝග කඩ කිරීම වරදක් බව සඳහන් කළ මහේස්ත්‍රාත්තුමා මාසිකව නියමිත නඩත්තු මුදල ගෙවන ලෙසත් , 2017 සැප්තැම්බර් මාසයේ සිට පවතින හිඟ මුදලද ගෙවන ලෙසත් නියෝග කළේය.

නන්දසේන උඩුගම - හඳපාන්ගොඩ සමුහ

නව අදහස දක්වන්න