තානාපති සේවය ! | දිනමිණ

තානාපති සේවය !

රටවල් දහයක් සඳහා නව තානාපතිවරුන් පත්කර යැවීමට ජනාධිපතිවරයා පියවරගෙන තිබේ. එම රටවල් වන්නේ රුසියාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, බ්‍රසීලය, වියට්නාමය, කැනඩාව, ස්වීඩනය, පාකිස්තානය, පෝලන්තය හා ස්වීඩනය යි. මේ සෑම රාජ්‍යයක් ම ශ්‍රී ලංකාව සමඟ ඉතා හොඳින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වන මිත්‍ර රටවල් ලෙස හැඳින්වීම නිවැරැදි ය. එහි අර්ථය වන්නේ අන්තර්ජාතික සබඳතා, ලෝක ප්‍රවණතා හා ශ්‍රී ලංකාවේ උරුමය ගැන ද මනා වැටහීමක් ඇති පුද්ගල චරිත මේ සේවය සඳහා යොදාගත යුතු බව ය.

රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස දේශපාලන විචාරකයකු වන ආචාර්ය දයාන් ජයතිලක මහතා පත්කර තිබේ. නව දේශපාලන හා ආර්ථීක ප්‍රවේශයක් ලබා සිටින දියුණු රාජ්‍යයක් වන රුසියාව සමඟ කටයුතු කිරීමට උචිත චරිතයක් හැටියට දයාන් ජයතිලක මහතා හැඳින්විය හැකි ය. ශ්‍රී ලංකාවේ අසල්වැසියා ලෙස ද දකුණු ආසියාවේ ප්‍රමුඛ රාජ්‍යය ලෙස ද හැඳින්විය හැකි ඉන්දියාවේ නව මහ කොමසාරිස්වරයා වන්නේ හිටපු ජනාධිපති ලේකම්වරයකු වන ඔස්ටින් ප්‍රනාන්දු මහතා ය. ඔහු සතු පරිපාලන අත්දැකීම් හා දේශපාලන දැනුම ගෙන බලන විට ඉන්දියාව සමඟ කටයුතු කිරීමට සුදුසු ම චරිතයක් ලෙස හැඳින්විය හැකි ය.

තානාපති සේවය යනු ඉතා බරපතළ වගකීම් සහිත වෘත්තියකි. රටක් නියෝජනය කරමින් එම රාජ්‍යයේ දේශපාලන - ආර්ථික කටයුතු සම්බන්ධීකරණය කිරීමටත්, රටේ ගෞරවය ආරක්ෂා කිරීමටත් තානාපතිවරයාට සිදුවනු ඇත. කලකට පෙර විදෙස් සේවය සඳහා යොදාගත් සියලු දෙනා විශේෂ විභාගයකින් සමත් වූවෝ වූහ. එහෙත් පසු කාලයකදී රටේ පිළිගත් හා කීර්තිමත් චරිතවලට තානාපති සේවය විවෘත විය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය ගුණපාල මලලසේකර, මහාචාර්ය ජේ. බී. දිසානායක වැනි මහ පඬිවරු තානාපතිවරුන් ලෙස සේවය කළහ.

තානාපති සේවය දැඩි ලෙස විවේචනයට ලක්වන්නට වූයේ ද, විවිධ රටවලින් ආන්දෝලනාත්මක සිදුවීම් වාර්තා වන්නට වූයේ ද දේශපාලන හිතවත්කම් මත නුසුදුසු පුද්ගලයන් අදාළ තනතුරු සඳහා පත්කර යැවීම නිසා ය. රුසියාවේ හිටපු තානාපතිවරයකුට මිනිස් ඝාතනයක් පිළිබඳ චෝදනාවක් තිබේ. එම පුද්ගලයාට ම අවි ජාවාරමක් පිළිබඳ බරපතළ චෝදනාවක් ද තිබේ. ජාත්‍යන්තර පොලිසිය ඔහු සොයයි. ශ්‍රී ලංකාවේ අධිකරණය මඟින් නිකුත් කළ වරෙන්තුවක් ද ඔහුට තිබේ. මේ පුද්ගලයා අතුරුදහන් වී ඇතැ’යි කියන්නට පුළුවන. ඔහු මැදපෙරදිග රාජ්‍යයක හිරගෙදරක සිටින බව ද කියති.

පසුගිය කාලය පුරාවට ම දේශපාලනය විසින් තානාපති සේවය දූෂ්‍ය කරනු ලැබ ඇතැ’යි කීම ඉතා නිවැරැදිය. පාලකයන් තම අන්තේවාසිකයන්ට තානාපති තනතුරු ලබා දී ඇත්තේ පිටරටකට ගොස් හොඳින් කා - බී විනෝද වීමට යැයි සිතන්නට පුළුවන. මේ අනුව කිසිදු සුදුසුකමක් නැති පුද්ගලයන්ට ඉතා දියුණු රටවල තානාපතිකම් ලබා දී තිබිණි. මේ අය පාලකයන් එම රටවලට එන විට හොඳින් සංග්‍රහකොට පසුව තමන්ගේ වැඩක් බලාගෙන දිවි ගෙවූහ. මැදපෙරදිග රටවල තානාපති සේවයට ගිය සමහරු ගෘහ සේවය සඳහා ජාවාරම් ඇති කළහ. තව සමහරු ස්ත්‍රී දූෂණ ආදියට සම්බන්ධ වූහ.

රටවල් ගණනාවක තානාපති සේවය ගැන යළි සලකා බලන්නට වත්මන් ආණ්ඩුවට සිදු විය. ඇතැම් තානාපතිවරුන් වහා ම සිය රටට ගෙන්වා ගැනීමට ද ආණ්ඩුවට සිදු විය. මේවා මෙලෙස සිදුවූයේ නුසුදුසු පුද්ගලයන් විදේශ සේවය සඳහා පත්කර යැවීම නිසා ය. ආණ්ඩුවක දේශපාලනය වෙනුවෙන් පෙනී සිටියත්; නැතත් රට වෙනුවෙන් පෙනී සිටීමේ වගකීම තානාපතිවරයකුට තිබිය යුතු ය. එසේ රට වෙනුවෙන් පෙනී සිටීමට නම්; ඔහු දැක්මක් ඇති පුද්ගලයකු විය යුතු ය. තානාපති සේවයට විශේෂ වරප්‍රසාද හිමිවන අතර ඒවා භුක්ති විඳීමට පමණක් පුද්ගලයන් පත්කර යැවීම ජාතික අපරාධයකි.

තානාපති සේවයේ නව පත්වීම් දෙස බලන විට සතුටු විය හැකි තත්ත්වයක් පවතී. රටවල් දහය සඳහා ම සුදුස්සන් පත් වී ඇතැ’යි කියන්නට පුළුවන. නෝර්වේ රාජ්‍යයේ නව තානාපතිනිය ලෙස පත් වී ඇත්තේ මහාචාරිනී අරූෂා කුරේ ය. තානාපති සේවයේ කාන්තා නියෝජනය අඩුවන අතර මෙවර පත්වීම්වලදී කාන්තා නියෝජන දෙකකට අවස්ථාව ලබා දී ඇත. එය විශේෂත්වයකි. පාකිස්තානය අපේ අසල්වැසි ඉස්ලාම් රාජ්‍යයක් වන අතර එහි නව මහ කොමසාරිස්වරයා වන්නේ නූර්දීන් මොහොමඩ් ෂහීඩ් මහතා ය. බැලූ බැල්මට ම පෙනී යන්නේ මේවා සුදුසු හා සාධාරණ පත්වීම් බව ය. එහෙත් මේ තානාපතිවරුන් වෙත පැවරී ඇති වගකීම ඉතා සංකීර්ණ බව ඔවුන් වටහාගත යුතුව තිබේ.

‍ලෝකය තුළ අලුත් ප්‍රවණතා ගණනාවක් දකින්නට ලැබේ. දේශපාලන වශයෙන් ගත් කල සන්ධානගත ආණ්ඩු බිහිවෙයි. ආර්ථික වයෙන් ගත් කල වෙළෙඳ පොළ තව - තවත් විවෘත වෙයි. කලාපීය වශයෙන් නැවත ලෝක ආර්ථිකය කේන්ද්‍රගත වෙයි. මානව සංවර්ධනය, මානව හිමිකම් ආදී ක්ෂේත්‍ර තුළ නව සංකල්ප හා නව න්‍යාය පත්‍ර බිහිවෙයි. මේවා පිළිබඳ අවබෝධයකින් යුතුව විදෙස් සේවය තුළ රාජකාරි කරන්නට සිදු වේ. පසුගිය කාලය තුළ තානාපති සේවයට ගිය අයගෙන් වැඩිදෙනා මේවා පිළිබඳ අවබෝධයකින් සිටි බවක් පෙනෙන්නට නැත. මේ නිසා ජාත්‍යන්තරයෙන් අපට ලැබෙන්නට තිබූ සහයෝගය නො ලැබුණු බව ද රහසක් නො‍වේ.

පසුගිය කාලය පුරාවට ම අපේ තානාපති සේවය ගැටලුකාරී ස්වභාවයක් ගත්තේ ය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු‍ සංවාද ඇතිවූ අවස්ථා ද තිබේ. ජනාධිපතිවරයා නව පත්වීම් ලබාදෙමින් කියා සිටියේ රටේ ගෞරවය ආරක්ෂා කිරීම තානාපතිවරුන්ගේ මූලික වගකීම බවය. නව පත්වීම් ලද තානාපතිවරුන්ට මෙන් ම මහ කොමසාරිස්වරුන්ට ද සිය අභියෝග ජයගැනීමට අවස්ථාව තිබේ. කළ යුත්තේ තමන් ගැන නො ව; රට හා රටේ අනාගතය ගැන කල්පනා කිරීම ය.

 

නව අදහස දක්වන්න